සිසිර ගමගේ

සිසිර ගමගේ මහතා අනිත් කොන ගැන මෙසේ කියයි !

හැම වෘත්තියේතිකයෙක්ම ඒ අයගේ වෘත්තියමය ඉල්ලීම් දිනා ගැනීම සඳහා වර්ජනය කරනවා. විදුලිබල මණ්ඩලය වර්ජනය කලාම අපි අඳුරේ. ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය එහෙම කලාම අපි පිපාසෙ විතරක් නෙමෙයි පිස්සුත් හැදෙනවා. දුම්රිය/බස්රිය එහෙම කලාම අපි පයින්.ඔය ඔක්කොමත් හරි අර ලෝකෙන්ම උතුම් රැකියාව/සේවයව කරන දොස්තර මහත්වරු වර්ජනය කරන්න ගිය නිසා අපි නම් හිටියේ බොහොම ලොකු හිත් වේදනාවකින්.
ඒ අයගේ ඉල්ලීම් සාධාරණ ද අසාධාරණද කියන එක ගැනවත් අපේ අය අවධානය යොමු කලේ නැත්තේ එතරම්ම ඒක අපිට දැනුන නිසයි.
මම මේ පූර්විකාව ලිව්වේ ඊයේ පෙරේදා මා කියවූ වෛද්‍ය බෝධිනී සමරතුංග මත්මියගේ " අනිත් කොන ' නම් වූ නිර්මාණය කියවීමෙන් හිතට ආ අදහස් බිඳක් අකුරු කිරීමට ප්‍රවේශයක් වශයෙනි.
වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ මෙවන් අත්දැකීම් සමුදායක් ලෙසින් වූ නිර්මාණයක් මා කලින් කියවා තිබුනේ හෙද නිලධාරිනි පුෂ්පා රම්ලානි සොයිසා මත්මිය විසින් ඉරිදා ලක්බිම පුවත් පතට යොමු කල" හෙදියකගේ දිනපොතින් " නමැති තීරු ලිපියක් මගිනි. එය හෙදියකගේ අත් දැකීම් වූ අතර මෙය වෛද්‍යවරියක්ගේ අත්දැකීම් පමණක් නොව කිසියම් ආකාරයක සමාජ විවරනයක්ද වෙනවා

"අනිත් කොන " වෛද්‍ය බෝධිනිගේ පම්පොරියක් ද යන්න කියත හැකි ස්වභාවයක් මේ නිර්මාණය තුල තියෙනවාද යන්න මම නිරීක්ෂණය කලේ නැහැයි කියනවා නම් එය බොරුවකි.ඒත් එහෙම කිරීම ගැන නම් මට දැන් ඇති වන්නේ ලැජ්ජාවකි.
මානව හිතවාදී බව කවියෙකු සතු විය යුතු මහඟු ගුණාංගයක් බව ප්‍රකට කරුණකි. (මෙය බෝධිනිගේ කාව්‍ය නිර්මාණයක් නොවුවද) ඇය කිවිඳියකි. ඒ කිවිඳිය සතු මානව හිතවාදී බව සහ වෛද්‍යවරියක් වශයෙන් නිරායාසයෙන්ම පිහිටිය යුතු වූ මානව හිතවාදී බවද ' අනිත් කොන ' නිර්මාණය පුරාම ඉතිරී පැතිරී ගොස් තිබියදී එය කෙසේ නම් බෝධිනිගේ ස්වයං චරිතාපදාන වර්ණනාවක් වන්නේද?
නිර්මාණයක් වෙනුවෙන් සියට සියයක් තම අත්දැකීම් පාදක කර ගැනීම නිසා' අ
නිත් කොන ' රසික අප තුල ඇතිකරනුයේ මහත් සතුටකි. එවන් සතුටක් පරිකල්පනය කර ලියන මෙවැන්නකින් ලැබිය හැකිද යන්න මට නම් සැකයකි.
" අනිත් කොන " නිර්මාණය මා සතුටට පත් කල විශේෂ කාරණාව වූයේ බෝධිනිගේ බස හැසිරවීමය. කොතරම් මනබඳින සුළු වුවද, ඉතා සංවේදී වුවද කිසියම් සිදුවීමක්, පුවතක් රසික හද බැඳ ගන්නා ආකාරයට ඉදිරිපත් කිරීමට නිර්මාණ කරු අසමත් වන්නේ නම් එය සාර්ථක වන්නේ නැත.
පූර්ණ වශයෙන් එකිනෙකට යා නොවූ විවිධ සිද්ධි දාමයන් 38 කින් " අනිත් කොන " සමන්විත වුවද එය නවකතාවක් ලෙසින් එක හුස්මට කියවාගෙන යා හැකි වීම අගය කල යුතුය.
මෙය බෝධිනිගේ කුළුඳුල් නිර්මාණයක් වුවද ලිවීමේ පරිනත බවක් පෙන්වීමට ඇය සමත් වන්නේ බ්ලොග් සටහනක් වශයෙන් මෙය ලියා තැබූ නිසා සහ නිරන්තර අන්තර් ජාලය/මුහුණු පොත හා වූ සබැඳියාව නිසා විය යුතුය.ඇගේ නිසග හැකියාවද අපට කිසිසේත් අමතක කල හැකි නොවේ.
ඇතැම් සිද්ධීන් විස්තර කිරීමෙදී බෝධිනී අපට සරල ලෙස වෛද්‍ය විද්‍යාව හ ගැට ගැසුණු රෝගී තත්වයන් හ ඖශධ පිළිබඳව දැනුවත් භාවයක් ලබා දෙයි.එය අගය කල යුතුය.
ශ්‍රී ලංකාවේ වෛද්‍යවෘත්තිකයින් නිදහස් අධ්‍යාපනය තුලින් බිහිවෙනවා යන්න පිළිබඳව විවාදයක් නැතුවා විය හැකිය. නමුත් ඒ සඳහා ඔවුන්ගේ කැපවීම අන් කවර වෘත්තියකට වඩා බලවත් බව කිව යුතුය. අන් වෘත්තියකදී වන වැරදීම් මුදලින් තක්සේරු කල හැකිය. ඒත් වෛද්‍ය වෘත්තියේදී වන වැරදීම් යනු එසේ මුදලින් තක්සේරු කල හැකි ඒවා නොවේ.
වරද කොතැනකදැයි නිශ්චිතවම කිව නොහැකි වුවද, කොතරම් සේවයක් කලද වෛද්‍ය වෘත්තිකයන් කෙරෙහි ජනතා ආකල්පය එතරම් සුභ දායක නොවේ.එවන් පසු බිමක බෝධිනිගේ " අනිත් කොන " එවන් ආකල්පයන් සුභවාදී බවට හැරවීමේ මෙවලමක් නොවේදැයි මට සිතේ. අනේ මෙහෙමත් දොස්තර නෝනලා ඉන්නවාදැයි ' අනිත්‍ කොන' කියවන පාටක සිත් තුල හැගීමක් ඇති වැන්නේ නිරායාසනි.
මෙම නිර්මාණය සඳහා බොහෝ දෙනා ඇයව දිරිමත් කරන්න ඇති.
ඒත් මෙය ලිව්වේ බෝධිනිය.
ලියන්න පාදක වූයේ වෛය්ද්‍ය වරියක් වශයෙන් ඇය ලැබූ අත්දැකීම්ය.
ඒත් සමස්ත වෛය්ද්‍ය වෘත්තියේ කටුක අත් දැකීම් සමග වෛද්‍ය වෘත්තිකයන්ගේ සාධනීය බවම පමණක් ඉස්මතු කිරීමට ඇය උත්සහ දරා ඇත. මා එය වැරදියයි කියන්නේ නැත.
මෙහා කොනට සාපේක්ෂව ඔවුන්" අනිත් කොන " තුල අත්විඳි අනෙක වූ දුක්ඛ දෝමනස්සයන් හමුවේ කෙසේ නම් එසේ වැරදියයි කියන්නද?
මෙය bodhini ලිව්වත්, bodhini කිසි විටෙකත් මේ නිර්මාණය බෝධිනිගේ කර ගත්තේ නැත. එය සනාත කිරීමට .bodhini " අනිත් කොනේ " ඇගේ පෙර වදනේ සටහන් කර ඇති අවසන් වාක්‍ය ම ප්‍රමාණවත්ය. මගේ සටහනද එම අවසන් වාක්යේන්ම නිම කරමි.
" ......ඉතින් ඔබ මේ කියවන වෙද හදක කතන්දර සැබවින්ම
""" අප වෘත්තීය ජීවිතයේ """" පැති කඩක් පෙන්වනවා ඇති."(උපුටා ගැනීම අවසන්)
මෙවැන්නක් මා ලිවුවානම් ලියවෙන්නේ """ මාගේ වෘත්තීය ජීවිතයේ """ කියාය.
අගෙයි bodhini අගෙයි.
ඔබ සාර්ථකයි.
මේ ' අනිත් කොන ' ශ්‍රී ලංකාවේ අනිත් කොනේ ජනතාවට කියවීමට ලැබෙන්නේ නම් ඔවුන්
" අනේ දොස්තර නෝනලා පව්" කියා නොකියන්නේද?

1 comment:

  1. I too apprecited Bodini's Lyrics published in her Blog even while she was a Medical Student. Now she shares the life as a Doctor and her posts on Dengu is very informative. Her language is very pleasant and poetic
    I wish her bright future

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !