Monday, August 21, 2017

සයිබර් සල්ලාපය සහ Book Lunatics !


බුක් ලූනටික්ස්, මේ වචනයම මට ගෙන ආවේ කුතුහලයක්.



කතුවරු දහ දෙනෙක් ? මට ඒක තවත් පුදුමයක්. ඒ පුදුමය දැක බලාගන්න මම 13 ඉරිදා, මහවැලි කේන්ද්‍රයට ගියෙමි.
මුහුණු පොතේ දැක පුරුදු බුක් ලූනටික් සංසදයේ සොයුරු සොයුරියන්, සිනාමුසු මුහුණින් සිටි අතර, අන්තර්ජාලයේ පොත් සාප්පුව, ග්‍රන්ථ grantha.lk හි, මා අවුරුදු 10 කට කළින් හඳුනාගත් බ්ලොග් සහෘද, දසුන් සමීර වීරසිංහ, තනෝජා නංගී, නවීන් ශ්‍රීමාල් මල්ලි සහ බොහෝ දෙනෙකගේ හිනා මුහුණු මග හැර ඇතුලට යා ගත නොහැකි විය.
ඇතුල් වෙන විටම ලැබුනේ, පොත් රැඳි ත්‍යාගයකි. එයද grantha.lk මගිනි.

කාලවේලාව ගැන ගැටළුවක් පැවති මට, සවස දෙකෙන් පසු සමුගෙන යන්නට සිදු වූ නිසා සවන් දෙන්නට හැකි වුනේ, පූජ්‍ය බටූවන්ගල හිමි, කත්‍යානා අමරසිංහ මහත්මිය, වෛද්‍ය සුසීත රුවන් මහත්මයා සහ සහන් කසීර වික්‍රමසිංහ මහත්මයා යන ලේඛක ලේඛිකාවන්ගේ හරවත් දෙසුම් වලට පමණි.







පොතක් කියවන්න වෙහෙසෙන්න ඕනෙම ද ?

මෙහිදී ඇන්ටි නවල් යන ශානරය යටතේ ලියැවෙන වෛද්‍ය සුසීත රුවන් ගේ නවකතා ගැන අපූරුම දෙසුමක් අසන්නට ලැබුනා. ඇත්තම කීවොත්, ඔහුගේ මාරායණය පොත, මම ද කියවන්නට රැගෙන, අතර මැද දෙතුන් විට අත් හැර දැමූවෙමි. ඒ එය ලියැවී ඇති ක්‍රමය නිසා ය. එහිදී ඔහු කීවේ කියවන්නට යම් කිසි වෙහෙසක් දරා කියවිය යුතු, හිතනන්ට සහ ගලපාගනන්ට වෙහෙසිය යුතු මේ ලියන ක්‍රමය ලෝකයේ ප්‍රචලිත බවත්, ඒ ගැන පරීක්ෂණ කරමින් ලියූ බවත් ය. මේ ක්‍රමය කොයි තරම් හොඳින් ඔබ ග්‍රහණය කරගෙන තිබෙනවා ද කියතොත්, අප රෝහලේ පුස්තකාලයට පොත් ගන්නට යන කණ්ඩායමට මම ද සහභාගි වන අතර ගිය වර පොත් ගන්නා විට, මාරායණය ගනිද්දී එතැන කෙනෙක් පැවසුවේ, " ඒ ඩොක්ටර්ගේ කළින් පොත බැලුවම මේකනම් හරි නෑ " කියලයි. ඇයි ඇහුවම කීවේත්, හරි පැටලිලි විදිහට ලියලා තියෙන්නේ, කියලයි. මගේ පුද්ගලික හැඟීම නම්, කියවන්නා වෙහෙසට පත් නොකළ යුතුයි කියලයි. ඒත් පර් යේෂන සඳහා එවැනි ක්‍රමයක් අත් හදා බැලීම නරකම නැත. anti- novel හී ලක්ෂනයක් ලෙස රේඛිය ආකාරයේ කතාව ගලායාමක් නැතිව, සිදුවීම් දාමයක එක එක අවස්ථා සංසිද්ධිඑක පෙළට නොව විටින් විට ලියා තැබෙන බව පැවසේ. එය වැටහෙන්නේ දැන් ය. ඒ ඔබේ කතාවට සවන් දීමෙන් පසු, ඔබේ මාරායණය නවකතාව යළි සිහිගන්වාගැනීමෙනි.
ඒත් මම නම් කැමති රේඛීය (linear) ආකාරයෙන් ගලා යන කතන්දර වලටමයි.

බස් වල දෙකයි පණහට විකිණෙන ළමා සාහිත්‍යය.

කත්‍යානා මහත්මිය විවිධ වූ අංශ රැසකින්ම විවිධ තේමා රැගත් පොත් ලියූ දක්ෂ ලේඛිකාවකි. නිලි වැස්ස තුලින් අප හිත් තුල නොමැකෙන ආකාරයේ කතා පුවතක් සම්පින්ඩනය කළ, වණ්ණ දාසී තුලින් සමාජයේ නොපෙනෙන කටුක යථාර්තයක් විග්‍රහ කරමින් අප සසල කළ අයුරු මට මතක් වේ.

එනමුත් කතාබහේදී වඩා වැඩියෙන් කතා වුනේ ළමා සාහිත්‍යකරනය ගැන ය.

ළමා පොත් ගැන අදහස් දැක්වූ ප්‍රවීන ලේඛිකා කත්‍යානා අමරසිංහ මහත්මිය, අද පවතින, ළමා කතා රැල්ල, සහ එයින් දරුවන්ට සිදු විය හැකි හානිය ගැන පැවසූවා. මෙහිදී ලලිතා ජයවර්ධන මහත්මිය, බස් රථ වල නගින වෙළෙන්දෝ, අඳෝනා නගමින් ඔවුන්ගේ දුක කියා පොත් පහක් පමණ සුළු මුදලකට විකුණනවා යැයි ද, ඒවා ඇයද මිලදී ගෙන අසරණ පවුල් වල දරුවන්ට ලබා දෙන බව ද එය කොයි තරම් හානි දායක ද කියා විස්තර කළා. ඇත්තෙන්ම ඒවායේ ප්‍රමිතියේ බාලකම සහ ගුණාත්මක යමක් නොමැති බව මම ද එක පාරක් එවැනිම පොත් පහක් අනුකම්පාවට මිලදී ගත් පසු අත් විඳ ඇත්තෙමි. මෙහිදී වගකිව යුතු පිරිසක් විසින් සමාජයේ මේ ගැන කතිකාවක් ඇති කර, දරුවන්ගේ මනසට මෙවැනි හානි දායක කතා වලින් සිදු විය හැකි අගතිය කොයි තරම් දැයි පෙන්වා දී , ළමා සාහිත්‍ය පොත පත මුද්‍රණයේදී කුමක් හෝ ප්‍රමිතියක් අනුගමනය කිරීමට යම් කිසි ක්‍රමවේදයක් සකස් කළ යුතු යැයි මට සිතේ.


කාටුන් බැලීම හොඳ නෑ !

මම දැඩිව විමතියට පත් වුන කරුණක් ඇහෙන්නේ ඔය අතර තුරේ දී. සභාව මෙහෙයවූ නිවේදකයා තමන්ගේ මතය වැඩි විස්තර සහිතව ඉදිරිපත් කළ අතර, ඔහු එක විටම, කාටූන් බැලිම හොඳයි වගේ මතයක් කියන්නට වුනා.
එතැන කතා බහ පොත් ගැන නිසාත්, විවාද කිරීම නුවමනා නිසාත් මා ඒ ගැන එතැන කියන්නට නොගියේ කතාබහේ තිබූ අරමුණු වලින් පිට යෑම ඔස්සේ ඒ වනවිටත් කාලය වේලා ගතවෙමින් තිබුණු නිසා ය.
ළමයින්ට ටීවී, ෆෝන්, අයි පෑඩ් වැනි දේ නොදිය යුතුයි යන්න දැන් පිළිගත් මතයයි.

ළමා පරපුර තමයි මතු දාක වැඩිහිටියන් ලෙස සමාජය බාර ගන්න ඉන්නේ. ඔවුන් පොත් පත් ආභාෂයෙන් ඈත් වෙලා සෞන්දර්‍යාත්මක චින්තනයන්ගෙන් ඈත්වෙලා ස්ක්‍රීන් එකක් ඉස්සරහ ගාල නොවිය යුතුයි කියලා වෛද්‍ය විද්‍යාත්මක හේතුත් සමග පැහැදිලි කළ පර්යේෂන ඕනෑ තරම් අන්තර්ජාලය තුලින් හමුවේ .

නිර්මාණකරනයේ යෙදෙන්න පරිකල්පන ශක්තිය (Imagination) කියන දේ අවශ්‍යයි. අන්න ඒ පරිකල්පන ශක්තිය කෙනෙක් තුල ඇතිවෙන්නේ , කුඩා කළ සිටම තියුණු වූ, හැඩගැස්වීමට ලක් වූ නොයෙක්, සමාජීය සෞන්දර්යාත්මක දෙයින් පෝෂණය වූ මනසක් තුලින්.

අද බටහිර රටවල විද්‍යාඥයින් පර්යේෂන මගින් ඔප්පු කර පෙන්වා තිබෙනවා, තිර ඉදිරියේ ගාල් වන දරුවන්ගේ මානසික වර්ධනය අඩාල වෙනවා කියන එක.

බටහිර රටවල වෛද්‍යවරු උපදෙස් දෙනවා. screen time එක අඩු කරන්න ය කියලා, බහ තෝරන වියේ දරුවන්ට මෙන්ම , කුඩා දරුවන්ට, කාටූන් සහ වීඩියෝ ගේම් වැනි දෑ නොදෙන්න කියලා.

ඇත්තටම ඒක හරි , මොකද, දරුවෙක්ට පොතක් කියවීම තුලින්, කතන්දරයක් කීම තුලින්, ලැබෙන විඳීම සහ සංවේදනා , තිරයක් මත කාටූන් එකකින් හෝ චිත්‍රපටයකින් ලැබෙන්නේ නැතිව යනවා. ඒක වෙන්නේ මෙහෙමයි. අපේ මොළේ කියන්නේ බොහොම සංකීර්ණ දෙයක්. නිරන්තරයෙන් ඉගෙනීමට සහ මතක තබා ගැනීමට ලක්වෙනවා. සමාජයේ අසන දකින දේවල් වලින් පෝෂනය වෙනවා. පොතක් කියෙව්වම, ඒ අකුරු ඔස්සේ දරුවා හිතේ කතාව හදා ගන්නවා, දරුවෙක්ගේ හිතේ චිත්ත රූප මැවෙනවා, ඒ අකුරු ඔස්සේ මොළය තුල රූප මවාගෙන කතාව කියවනවා.

ස්ක්‍රීන් එකක් ඉස්සරහ ඉඳගෙන කවුරු හරි රූප මවලා දෙන කතාවක් බලද්දී ඒ දේ සිද්ධ වෙන්නෙ නෑ. ඉතින් පරිකල්පන ශක්තියට කිසිම හොඳක් ඒකෙන් වෙන්නෙ නෑ.

අපි පොඩි කාලේ උනත්, අපි උත්සහ කළේම මිදුලේ කැලේ දුව පැන සෙල්ලම් කරන්න නමුත් අද දරුවන් ගෙවල් තුල ගාල් වෙනවා. තිරයක් ඉදිරියේ ඉඳගෙන කිසිඳු හැල හොලමන් නැතිව පසු වෙනවා. මෙයින් ඇත්තටම ළමා මනසේ දියුණුවට යමක් සිදුවෙන්නේ නෑ. කායික වර්ධනයටත් එය බාධාවක්.
එනිසා බුක් ලූනටික් සංසදයේ ඉන්නා පිරිස වගේ, පොත් කියවන්නට,පොත් වලට ආදරය කරන්නට හැකි පිරිසක් අප රටට අවශ්‍යයි. එනිසා පොත් කියවන්න අපේ මතු පරපුරට අපි හුරු පුරුදු කළ යුතු යැයි මට සිතේ.

එමගින් පරිකල්පන ශක්තිය දියුණුවෙනවා මෙන්ම, බොහොම හර්දයාංගම සොඳුරු මිනිසුන් එවිට අප සමාජයට බිහි වෙනු ඇත. අනෙකා ගැන සංවේදී වෙන, මිනිස් හැඟීම් පෝෂණය කරන්නට පොත් වලට මහා ලොකු දෙයක් කරන්න පුළුවනි. අද විවිද වූ ක්ෂේත්‍රවල රැකියාව කළත්, සාහිත්‍යයට කලාවට බොහෝ සෙයින් ආදරය කරන මෙවැනි පිරිසක් එකතු වෙන්නේත්, අපට කුඩා කළ සිට ලැබුනු ඒ දායාද නිසා කියලයි මට සිතෙන්නේ.

කොලමකින් කරන්න පුළුවන් මොනවා ද ?

ආච්චිගේ කොලම නමින් , ලියූ ෆේස් බුක් ලියැවීම්, පොත් වෙද්දි, මම, සහන් කසීර නම් රචකයා හඳුනා ගත්තෙමි. ඔහුටම අනන්‍ය වූ, ඔහුගේම හිතවතුන් අලලා වචනයෙන් දමාගසනා උත්ප්‍රාස උපහාස රැගත් ලියැවිම් බොහෝ ප්‍රසිද්ධ ය. නමුත් ෆේස් බුක් ලියැවීම් වලින් ඔබ්බට ගොස් මා දකින්නේ, අවුරුදු ගණනාවක් පුරා අප වෙත, විවිද වූ විශේෂාංග රැගත් පුවත් පත් ලිපි, ලියන සහන් කසීර වික්‍රමසිංහ නම්, දක්ෂ පුවත්පත් රචකයා ය.

ඔහු එදින කළ කතා බහ ගැන මට ඇත්තේ විස්මය දනවන සතුටක්. විටෙක ප්‍රහසනය උත්ප්‍රාසය කැටි කර රචනයේ යෙදෙන සහන් කසීර ඒ ලියැවීම් ඔස්සේ සමාජයේ නොයෙකුත් ප්‍රශ්න සහ ගැටලු සහිත තැන් ලියන්නේ කොහොමදැයි කීවේ, තීරු ලිපි ලිවීම අපි හිතන තරම් සරල නොවන බව පැහැදිලි කරමින් ය..
අන්තර්ජාලය නොමැති අප හැදී වැඩුණු ඒ කාලයේ, අප බොහෝ දෙනෙක් පරිශීලනය කළ, මනහර , නවයුගය, සමුදුර වැනි පුවත් පත් සඟරා ගැන අප මතකය අවධි කරමින්, ඔහු එකල තිබූ සඟරා ගැන පැවසුවේ, මා අසලම හිඳගෙන සිටිය ද, මට ද හඳුනාගත නොහැකි වූ, ප්‍රවීණ මාධ්‍යවේදී, කුමාර සිරිවර්ධන, මහතා පෙන්වමිනි. නමින් පමණක් දැන සිටි ඒ මහතා එහි සිටින බව මා දැනගත්තේද එවිට ය.

වචන 400 යන මැයෙන්, සත්හඬ පුවත් පතේ පළවන තීරු ලිපි ආශ්‍රයෙන් නිදසුන් විදහා පාමින්, එය කෙතරම් වාග් සංයමයකින් හසුරුවාගත යුතු මාධ්‍යයක් දැයි, ඔහු පැහැදිලි කළේය. එය, සාරවත් මාධ්‍යකරණය යනු කුමක් දැයි වඩා හොඳින් අපට මතක් කර දුන් කතාවක් විය.

කලින් ගිය නිසා මග හැරුණු මතක




එදින වඩා සාරවත් දේශන රැසක් පැවතිය ද, කාලය සමග වෙහෙසකර ගමනක යෙදෙන කවදාවත් නිවාඩුවක් නැතිව වැඩ කරන ඉස්පිරිතාල සේවයේ යෙදෙන අප වැන්නවුන්ට රැඳී සිටීම අපහසු විය.

කතා බහ අතර තුර ලද විරාමයේ දී, මා සිත් ගත් ලේඛක දිලීප ජයකොඩි මහතා හමුවීම ද, කත්‍යානා අමරතුංග මහත්මිය හා මා ලියූ පොතේ ගුණ දොස් කතා බස් කිරීමද මා ලද භාග්‍යයක් සේ සලකමි.

මිහිර සිරිතිලක සහ කුමාර තිරිමාදුර, යන දක්ෂයින් දෙපෙළ විසින් ඉදිරිපත් කරන ලද ඒ නාට්‍ය අංගය ඇත්තෙන්ම විශිෂ්ට ය ! සාහිත්‍යය ගිලගෙන ඇති ප්‍රකාශන අධිකාරිය ගැන අඳුරු තැන් ප්‍රහසනය කැටි කොට අප වෙත දමා ගැසූ අයුරු කදිමය. දැසින් කඳුළු පනින තුරු සිනහ වූ අතර , එහි කටුක යථාර්තය පසක් වී අපේ රටේ පොත් කර්මාන්තයේ ඉදිරිය ගැන දුකක් ද ජනිත විය.

වෛද්‍ය අධ්‍යාපනය ලබන කාලයේම ක්ෂණික නූඩල්ස් වැනි කෑම වල අතුරු ආබාධ , දරුණු කම ගැන දැනගත් නිසා, ඒවාට තිත තැබුවෙමි. අද වන විට, ක්‍රිකට් විරුවන් යොදාගෙන පවා ඒවා ප්‍රචාරනය කිරීමක් ද, කුඩා දරුවන්ට පවා ගිල්ලවන්නට හැදීමක් ද දකින්න ට ලැබේ. මට ගෝචර නොවූ සයිබර් සල්ලාපයේ මා දුටු එකම එක අවුල එය විය. මට ගෝචර නොවන නිසා ලියා තබමි. ප්ලාස්ටික් ඉවත දමන වතුර බෝතල් ද නොදුන්නේ නම් හොඳයි. මා නම් ගෙදරින් වතුර ගෙන යමි. එදිනද බෝතලයක් රැගෙන ආවෙමි. සමාජය වනසන ව්‍යසන බොහෝ ය. ඉන් ටික ටික වත් බේරී සිටීම පහසු මග ය. මේ ලියන්නේ පණ්ඩිතකමකට නොවේ. සමාජය මදක් හෝ වෙනස් කරනන්ට ය.

සමස්ථයක් ලෙස ගත් කළ, මා අත් විඳි දුටු දෑ බොහෝ සොඳුරු ය. හිතවත් ලේඛක ලේඛිකා හමුව බොහෝ සුන්දර මතක ඉතිරි කර ඇත. මා ලියූ පශ්චාත් යුධ සමයේ වන්නියේ දෙවැනි මෙහෙයුමේ කතා පොතද කවි පොතද ගෙනැවිත් මගේ සමරු අත්සන ගත් සහෘදයන් ස්තූති පූර්වකව සිහිපත් කරමි. නැවත බුක් ලූනටික් හමුවක දී , මීට වඩා කල් වේලා වෙන්කරගෙන රැඳෙන්නට අදිටන් කර ගනිමි.

මේ හමුව සංවිධානය කළ සියල්ලන්ටම බොහෝ ස්තූතිය පිරිනමමි. !

ජායාරූප : booklunatics face book group https://web.facebook.com/groups/BOOKLUNATICS

Friday, August 18, 2017

මම උතුරු කොන සැබෑ ප්‍රශ්න ගැන දොඩමළු වීමි. - ceylon today article

පසු ගිය සති අන්තය බොහෝ අවිවේකී වුනා. නමුත් වාසනාවට මේ ටිකේම වාට්ටුව අර පිරී ඉතිරී ගිය ඩෙංගු කතාවලින් නිදහස් වුනා. අපි බොහොම නිදහසේ වැඩ කරගත්තා.
ඔය අතර ceylon today පුවත්පතේ, විශේෂාංගයක් වන book worm හි පැෂන් ෆෘට් නමින් ලේඛකයන්ගේ සහ ඔවුන්ගේ පොත් ගැන දොඩමළු වන ෂෙනාල් රාජකරුණානායක , ග්‍රන්ථ මගින් මා ලියූ අනිත් කොන, බ්ලොග් බුක් හෙවත්  blook එක අරගෙන කියවා තිබුනා.

සති අන්තයේම මේ ගැන ලියන්නට ඕනෑ අක්කා ! කියමින් ඔහු මා හා දොඩමළු වුනා.

"දන්නවද, මට ඔබ ගැන කවි ලියන අක්කා කෙනෙක් කීවා. එයා කීවා ඒ කාලේ ඔයා උතුරේ ඉඳන් ඒවා ලියද්දී ඔවුන්ට ඔබ සහ පිරිස ගැන ඇතිවුනේ වීරයන් වගේ හැඟීමක් කියලා" ඔහු මා ගැන අසා තිබුණු අන්දම හෙළි කළා.

" මම දැඩිව සසල වුන තැන, අර කකුලක් නැති අම්මා කෙනෙක් දරුවා ප්‍රසූත කරන්න ගිහින්. බොරු කකුල ගලවලා ඔබලාට දිගු කරන තැන. මට ඒක චිත්ත රූප වලින් මැවෙන තරම් මේ කතාව මා සසල කළා. අනිත්කොන කියන්නේ මට පුදුමාකාර ලෙස හිත හිරි වැටෙන , ඇතැම් විට හී ගඩු පිපෙන, අප නොදන්නාම පැත්තක මනසින් සංචාරයක කරමින් සංවේදනා විඳපු පොතක්" ඔහු කීවේය.

මගේ දෙනෙත් තෙත් විය. ජීවිතේ මා ගත කළ දුෂ්කරම එහෙත් සොඳුරුම අවදියක මට මගේ සංවේදනා බෙදා ගන්න තිබුනේ අනවර්ථ නමකින් ලියූ මේ බ්ලොග් පිටුව යි.
එහි සිට එදිනෙදා ලියූ කතා කියවමින් මා උත්කර්ෂයට නැංවූයේ බ්ලොග් කියවන සහ ලියන සහෝදර සහෝදරියන් පිරිසයි. මුහුණු පොතේ මා මේවා බෙදාගත්තේම නැත.
 කාලෙකට කළින් පොත කියවමින් දුම් රියේ යන ගමන් රංජිත් කුමාර සමරකෝන් අයියා, මෙවැනිම වූ කතාවක් ලියා තිබුනා මුහුණු පොතේ.

මම මගේ ලියැවීම් වලට සාධාරණයක් ඉටු කළෙමි. යථාකාරී තථාවාදී බව මුසු කළෙමි.
එනිසා ඒවා ජීවයෙන් පිරී තිබුනි.

සංහිඳියාව යනු වැඩමුළු හෝ දේශන නොවේ. මිනිසුන් අතර සංහිඳියාව ඇති කරන්න පුළුවන් සැවොම මෙසේ පුරුදු වුනොත් පමණකැයි මට සිතේ "තමන්ට අනුන් සලකන්න ඕනෑ කෙසේද එසේම මමත් අනුන් කෙරෙහි ක්‍රියාත්මක වෙමි"
ගෞරවය ඕනෑ නම් ගෞරවාන්විතව හැසිරිය යුතුයි. දයා කරුණාව අවශ්‍ය නම් තමන්ද දයාබරිත කාරුණික කෙනෙක් විය යුතුයි. තමන් ලෝකයේ දකින්න ඕනෑ හොඳ තමන්ම විය යුතුයි. එවිටයි සැබෑ සංහිඳියාව හෝ සාමය ඇති වන්නේ.

අද අනිත් කොන දොඩමළු වී ඇත. උතුරේ ප්‍රශ්නය, ඇයි මේ තරම් නොවිසඳෙන්නේ කියන දේ ගැන අනිත් කොන දොඩමළු වී ඇත. ඔහු ඇසූ ප්‍රශ්න, සාහිත්‍යය හෝ බ්ලොග් ගැන නොවේ. පණ ගැහෙන මිනිස් හදවත් වලින් යුතු වන්නියේ සැබෑ සංහිඳියාව, පුනුරුත්ථාපනය ගැන, සන්නිවේදනයේ දුර්වලතා ගැන සහ අපට කළ හැක්කේ කුමක් ද වැනි බොහොම කාලීන ප්‍රශ්න.

මම මෙන්න මෙතැන ලින්ක් එක දමන්නම් , කියවන්න කැමති අයට කියවිය හැකියි.

A gifted healer of our time , Bodhini Samarathunga
By Shenal Rajakarunanayake
She knits unheard stories through the threads of heart-felt words. Her writing conciliates the readers with indispensable love for humanity and emancipates the perennial barriers which are barricading the truth. Her stories are heart wrenching and often make you dewy eyed, yet it never stops your urge to read through. She weaves the reality of the society through her stories with a unique touch of compassion bringing the readers to an astonishment. She cures the scars of 30 years of civil war through her gifted healing therapy while mixing her heart sutra with others. Basically it isn't merely a book which stimulates your mind, yet a road map which drives you all around to see the unseen and address the unaddressed. Truly, "Anith Kona" (The Other End) is a story which unfolds how strangers became family in an unknown environment, undoubtedly everybody must read.
read the interview from the link below.

ඒ වගේම පත්තර කොළමට පින්තූරයක් අවශ්‍ය වන විට , ඒක අරන් දුන් නිෂානි සම්පත් දේශිකා මිස් ව අමතක කළ නොහැක. ගෙන්දගම් පුරවරයේ , ළමා වාට්ටුවක නොයෙක් සංවේදනා අතර ඉන්නා කළ දොඩමළුවෙන්නට සහෝදරත්වයෙන් සලකන්නට සිටින ලෙංගතුම මිතුරියකි ඈ. වාට්ටුවේ තැන තැන මා හිඳුවා " ඩොක්ටර් එළිය මදි , ඔය පුටුව හරි නෑ, මෙහෙම හැරෙන්න ඔහොම හිනා වෙන්න" යැයි කියමින් මගේ පින්තූර අරගෙන දුන්නේ ඈ ය.

මේ සාකච්ජාව සිංහලයට හරවන්න යැයි වෛද්‍ය විනීතා පෙරේරා මහත්මිය පැවසුවා. ඇය කියන්නේ මෙය බහුතරයක් අතර කියවිය යුතු කරුණු රැගත් බොහොම වටිනා එකක් බව ය.

anith kona, අනිත් කොන සහ මනුපුර සක්මන පොත් ගෙදරටම ගෙන්වා ගත හැකි, ග්‍රන්ථ අඩවියේ ලින්ක් එක පහත දැක්වේ. බෙදා නොතිබූ, ගබඩාවක තිබූ පොත් සියල්ල, මා ලබාගෙන ඔවුන් වෙත බාර දුන්නෙමි. වට්ටමක් සහිතව මිලදී ගත හැක. (grantha.lk නිර්මාතෘ අපේ පැරණිම බ්ලොග් රචකයෙක් සහෘදයෙක් වන, දසුන් සමීර වීරසේකර මල්ලී ය. ඔහුව මා දන්නේ 2006/2007 බ්ලොග් ලෝකයට පය ගැසූ දා පටන් ය)

https://grantha.lk/anith-kona-bodhini-samarathunga-thatcher.html

https://grantha.lk/manupura-sakmana-bodhini-samarathunga-thatcher.html

Sunday, August 6, 2017

අනිත්කොනේ මතක සමග තමිලිනී කියැවීමි !

හිත පුරා නැගුණු බොහෝ බරැති සුසුමන් සමග මම, පුරා දින තුනක් තිස්සේ තමිලිනී ජෙයකුමාරන් ලියූ මගේ අරගලය (මේ තියුණු අසිපතක සෙවන යට කෘතියේම නව සංස්කරණයයි එහි තමිලිනීගේ මවගේ සම්මුඛ සාකච්ජාවක් ඇතුලත්කර තිබේ) සහ අලුයම් සිහින, කියැවීමි. තියුණු අසිපතක සෙවන යට කෘතිය පිටවූ කාලයේ මිලදී ගත නොහැකි විය. දැඩි සේ වෘත්තීය ජීවිතයේ කලබලකාරිත්වය හා සටන් වදින අතර තුර ජීවිතයේ සෙසු සංවේදනා හා ගැටෙන්නට සිදු වීම එයට හේතුව යි.

ආයුධ වලින් දිනන්නට හැකි කිසිවක් නොවන බව පසක් කළ ත්‍රස්තවාදී අරගලය නිමාවට පත් වී දැන් වසර හතකටත් වැඩිය. සිදුවුනේ හරියටම හරි දේ ද වැරදි ද යනුවෙන් කොයි තරම් වාද කරත්, සිදු වූ දේ සිදුවී හමාර ය.

පශ්චාත් යුධ සමයේ වන්නියේ සේවය කළ වෛද්‍යවරියක් ලෙස ,මම හැම අතම කරක් ගැසුවෙමි. වාට්ටු තුලට කොටුවී සිටි මට, මනෝවෛද්‍ය ඒකකයේ කණ්ඩායම හා එක්වන්නට පුළුවන් වූයෙන්, ඊට එහා ගිය විශාල වැඩ කොටසකට දායක වීමට හැකි විය. පුලියන්කුලම, මාන්කුලම, කොකාවිල්, ඉරණමඩු , මල්ලාවි, පූනගරී, පරන්තන්, මුලතීව් නැදුන්කර්නි, මේ අප නිතර ආගිය තැන් විය. මැණික්ෆාම්, සෙට්ටිකුලම් ගිය හැටි, මන්නාරමේ ළමා නිවාස වලට ගිය ගමන් හිතේ ඇති කළේ කිව නොහැකි තරම් දුක් ගොඩකි.  ත්‍රස්තවාදය අප්‍රිය කිරීමට මට තවත් හේතු උවමනා නොවී ය.

මා දැක්කේ සුනු විසුනු වූ වන්නියකි. පුරුද්දා පිළියම් කළ නොහැකි ලෙස කැඩී බිඳී ගිය සිත් ඇත්තන් සිටි වන්නියකි. එනමුත් මා එහෙන් එන කාලයේ මා දුටුවේ, ජීවත් වෙන්න හිත හදා ගත් වන්නියකි.

මම පොතේ මතකයන් ඔස්සේ ආ ගිය පරිසරය හා බද්ධ වූ තැන් කියැවීමි.
පැවතුණු කරුම දේශපාලනයේ ඉත්තන් ව, එකම මිනිස් ජාතියක් බෙදී වෙන් වුන තැන් හිඩැස්  හොඳින් දකින්න මේ පොතේ ලියැවිල්ල කදිම ය. තැන් දෙකකට වැටුණු ගිරවුන් දෙන්නා මෙන්, වන්නියේ ඔවුන්ද, දකුනේ අපද ජීවිත වෙනස් කරගෙන තිබුනේ එසේ යැයි මම සිතුවෙමි. ඔබ වැරදි යැයි නොකියන්නේ එහෙයිනි. පවතින තත්වය තුල ඔබට වෙන කරන්නට කිසිවක් නොතිබෙන්නට ඇත. හරි හෝ වැරදි හෝ සියල්ල අද අවසන් ව ඇත.

ඔබ වටහා ගත් සත්‍යය මෙසේ අප අතට පත් කළ එක ගැන, මේ තරමින් හෝ ලියා දැක්වීම ගැන මම ඔබට ස්තූති වන්ත වෙමි.  ඔබ පසු කාලයේ  ජීවිතය වෙනස් කරගත් අන්දම ගැන , එය දරාගත් අන්දම, ඒ දිරිය ශක්තිය පුදුමය කි .
ඔබේ කතාවෙන් පසුතැවීමක් මා නොදකිමි. හුදෙක් ජීවිත යුද්ධයේ අරුමය පමණක් දකිමි. කුඩා කළ සිටම සිංහල බෞද්ධ සංස්කෘතික අක්මුල් දරා , ඒවායෙන් පෝෂණය වී හැදුණු මම ද, එයාකාරම නොවේදැයි මට සිතේ. අප දුටුවේ අපේ පැත්තේ අහිමි වීම් ය. ඔබ දුටුවේ ඔබේ පැත්තේ අහිමිවීම් ය.


වන්නියේ සිය දහස් පිරිසක් අවතැන් කළ, ජීවිත සුනු විසුණු කළ , අපායක් කළ ඒ බිහිසුණු කාලයට නැවත කිසිදිනෙක මේ පිරිස ඇද නොදමන්න යැයි මම සියලු නායකයින්ට පවසමි. මට මුණ ගැසුණු, කතා බස් කළ සියල්ලන්ට ද ඕනෑ නිදහසේ ජීවත් වීම ටයි.

"යුද්ධයක සැබෑ ජයග්‍රාහකයෝ හෝ පරාජිතයෝ නැත" යැයි කියමනක් තිබේ. මා දැක්කේ සිදුවූ ඛේදාන්ත වලට ජයග්‍රාහී ලෙස මුහුණ දුන්, ඒවාට සුබදායක ලෙස මුහුණ දෙන පිරිස්ම නොවේ. ඒත් ඔවුන්ගේ මේ මුහුණ දීම්, ගොඩ නැංවීම් සහ අවබෝධකර ගැනීම් ගැන මට ඇත්තේ මහත් ගෞරවය කි. තමිලිනී ඔවුන්ගේ ක්‍රියා කිසිම ආකාරයක සාධාරණීකරනයක් සිදු නොකළද, මීට වඩා මෙහි කතා බස් කළ යුතු දෑ බොහෝමයක් මට මතකයට නැගේ.
අනිත්කොන ඔස්සේ මා එකළ නොලියූ බොහෝ සංවේදනා ලියා තැබිය යුතු යැයි දැන් මට සිතේ. තමිලිනී අද අප අතර නැති එක විශාල අඩුවකි. එකම කාසියක දෙපැත්තක් මෙන්, කිසිදා හමු නොවුන අප දෙපිරිස දෙපසට වෙන්වී අරගල කෙරුවෙමු. ඔබ උතුරේ සිට, දකුණේ මිනිසුන් හා තරහෙන් වෛරයෙන් සිටි කණ්ඩායමක අරගල කරද්දී අප දකුණේ සිට, දමිළ ත්‍රස්තවාදයට වෛර කෙරුවෝය.

මිනිස් ජීවිත ලක්ෂ ගණනින් අහිමි වූ යුද්ධයක් අවුරුදු තිස් ගණනක් පුරා පැවතිනි. ඔබ සිටි කොටුව ඔබට සාධරණ වූ අතර මා සිටි කොටුව මට සාධාරණ විය. සියල්ල අවසන්ව පුපුරා ගිය වන්නියක, ජීවිත ජීවත් කරවීමේ යුද්ධයට මා මැදි විය. ඔබ වැනි දහස් ගණනකගේ දුක් කඳුළු කෝප වෛරය, අප පිටින් ගලා ගියේ, ඔවුන්ට පෙනෙන්නට හිටි සිංහලයන් අපි වූ හෙයිනි.

පොතේ අවසන් භාගයේ මා ඔබේ දුක්බර මතක කියවමි. බලෙන් ඇද දැමූ යුද්ධයක අපි කොටස් කාරයෝ වීමු. මා උපන්නේ යුද්ධය ඇවිලුණු දේශයක ය. මා හැදී වැඩුනේ යුද බිය හිතේ පොදි ගහගෙන ය. මා හැදී වැඩුනේ ත්‍රස්තවාදය ප්‍රිය නොකළ සමාජයකය. මා හැදී වැඩුණු පරිසරයේ මා දැක්කේ , ත්‍රස්තයින් විසින් විනාශ කරන ලද ජීවිත පමණි.

උතුරු කොනේ දී මා මිනිස් සිතේ අරුමය හා ගනුදෙනු කරමින්  පරිණත වීමි. සානුකම්පිතව මම ඔවුන්ගේ දුක දැරීමි. එනිසා මට උතුරු කොන හර්ද කම්පන දරන්නට පහසු විය. පැරදුන අරගලයක අවසන ඔබට ද සියල්ල අහිමි විය. ඔබට වෙනස් වෙන්නට සිදු විය.

අප පා තැබූයේ සියල්ල විසඳුනු වන්නියකට නොවේ. සිංහල වෛද්‍යවරු යන ලේබලය සමග අප වන්නියට පය තබද්දී,
 "මුන් මෙහෙ ආවේ මොකට දැයි" ප්‍රසිද්ධියේ කියූ අයවලුන්ද,  මට සිහිවේ.
 "සිංහල ම්ලේච්ජ දොස්තරලා ගෙදර පලයව්" කියා ගැසූ පෝස්ටර් මතින් ජීවිත තර්ජන තිබුනත්, රෝහල හැර නොගිය වෛද්‍යවරුන් මට සිහි වේ. 
රැඳවියන් විටින් විට රෝහල් ගත වූ කල, " ආ ඔය ඔයාලගෙ අහවල් වෛද්‍යවරයා අපිව පාවලා දීලා දැන් ලොකු කම් කරන්නේ " යැයි කියන විට, "අහවල් වෛද්‍ය පාලක තැන මේ පැත්තට ටික දවසකට එන එකක් නෑ ඩොක්ටර්" යැයි , සමහර මිස්ලා කිචි කිචි ගෑ අයුරුත් මට මතක් වේ.
කොටි කොළඹ පටවා අත් අඩංගුවට පත් වූ විශේෂඥ වෛද්‍ය තැන, නැවත පැමිණියේ අපි එයින් එන්නට ඔන්න මෙන්න කියා තිබිය දී ය. ඔහු අපට බොහෝ කරදර වෙන ලෙස විටින් විට, අපේ රාජකාරි තැන වෙනස් කරමින්, වාට්ටු වැඩ ගොන්න අතර තුර බාහිර රෝගී අංශයට අපව වැඩ බලන්නට දැමූ හැටි සිහිවේ. එවන් ඉහළ නිළයන් ගේ සිටි මිනිසුන් ඔවුන්ගේ ජාතියේ මලගම ලියා දුන් හැටිත්, ඔවුන් ඉන් පසුව වුව ද " පාවාදී අනෙක් පැත්තට පැන්න" හැටිත් ගැන අත් අඩංගුවේ පසු වූ වන් කියූ කතා අසමින් අප සිටියෙමු. වෛද්‍ය නේවාසිකාගාරයට බෝම්බ අටවන්නට පැමිණ ඒ තැත වැරදී ඊට කළින් බෝම්බය පුපුරා මැරී තිබුණු කොටියා එහිම සේවය කළ වෛද්‍යවරියකගේ සොයුරෙක් විය.
වෙනස් විය යුත්තේ දමිළ වැසියන්ගේ අරගලය යැයි කියමින් තමන්ගේ දේශපාලන අරමුණු ජයගන්න වලිකන මෙවන් අයවලුන් ය.

“ඔය ඩොක්ටර්ට බැන්න ගෑණු කෙනයි එයාගේ මිනිහයි කළේම , එල් ටී ටී ඊ එකට, ළමයි අල්ලන් ගිහින් බාර දෙන එක. ඔය කන ඇහෙන්නෙ නැත්තේ...බෝම්බ නිසා නෙමෙයි. එහෙම ළමෙක් අල්ලන් යනකොට, තාත්තා කෙනෙක් පොල්ලකින් ගහලා ඔළුවට , ඒකයි ඔය “ මගේ මතකයට එන්නේ ඔවුන් ය. (අනිත්කොන - 135 පිටුව, මිත්‍රත්වයේ පාළම)

වාට්ටු වල නිතර ගෙනැවිත් ප්‍රතිකාර කරනා අත් අඩංගුවේ පසුවන කොටින් පෙන්වමින් “සිංහල ගම් වලට පැනලා පෙති පෙති ගහපු උන් “ කියා සුළු සේවකයෙක් කියයි. දැන් ඔවුන් දෙ අත් ලේ මාංචු සමග ඇඳ විට්ටමට සවි කළ දම්වැල් බොහෝමයක පැටලී සිටී.

“ඒ අය කොච්චර එදිරිවාදීකම් කළත් අපි අපේ හොඳකම නැති කරගන්නේ නැතුව ඉමු” මම බොහෝ විට ඔවුන් අස්වසමි.

"එකස් රේ අරන් එනකොට මගේ ෂර්ට් එකේ තිබ්බ රුපියල් පන්සීය අරගෙන ඩොක්ටර්" කියමින් වැසියෙක් බිම හැපේ. ඔහු සතියකටත් වඩා ප්‍රතිකාර ලබන අතර , ඔහු එක්ස්‍රේ ගන්න කැඳවාගෙන ගියේද වාට්ටුවේ සිටි සුළු සේවකයෙකි. දෙදෙනාම දමිළ ය. " ඔය මිනිහා ඔහොමමයි. " කියමින් හෙදිය රණ්ඩුව බේරන්නට දිව යයි. 
අප ඇද වැටුනේ , කොළඹ තරම්ම දූෂණය භීෂණය සහ නොමනා කම් පිරි වන්නියකට ය.


තමන්ගේම මිනිසුන් පලා යද්දී, ඔවුන්ට වෙඩි තියන්න යැයි ඉහළින් දුන් නියෝග හමුවේ. .. අපේම අම්මලා තාත්තලාට වෙඩි තියන්නේ කොහොම දැයි ඔබ විස්සෝප වන අයුරු මම තැනක කියැවීමි.
ඒ වෙඩි මතින් කලපුව තරණය කළ පිරිස් පසුව කියූ කතා මම උතුරු කොන සිට අකුරු කෙරුවෙමි

ඔබ ලියා ඇති දෑ සැබැවි. මේ අහිමී වීම් ඉදිරියේ, හිත හදාගැනීමට නොහැකි වූ බොහෝ දෙනා සිටියා. නමුත් ඔබ ඒ බාධකය ජය ගෙන තිබුනා.

මුහුණ නොබලා ඉවත බැලූ ත්‍රස්තයින්ගේ අත අල්ලා නාඩි බලන්නට, අනින්නට පිහියක් තියන් ඉන්නවා යැයි අනතුරු ඇඟවුවද , අසලටම ගොස් , ඔවුන්ගේ හදවතට කන් දෙන්නට ස්ටෙතස් කෝප් එක තියන්නට, රුධිර පීඩනය මනින්නට පවා හිත දැඩි කරගන්නට මට හැකි විය. 
මල් වත්තේ (පූන් තෝටම්) දරුවන් දැරිවියන් බොහෝ විය, ඔවුන් සියල්ල අතට ආයුධ දී ඔවූන්ට නොතේරෙන යුද්ධයකට ඔවුන්ව ඇද දැමූයේ ත්‍රස්තවාදී නායකත්වය යි. තමිලිනී එහි සිටින කාලය වන විට ඔවුන් සියල්ලන්ම නිදහස ලබා ගොස් සිටියහ. මල් වත්ත නම් දැරූ පූන්තෝට්ටම් සිට, කවි ගී ලියූ පැංචන් පැංචියන්ගේ කවි පොතක් ද අපේ ඒකකයෙන් මුද්‍රණය කළත් එක්ක.

ඒ සිදු කළ සංහාරයන්ට වෛර නොකරන්නට තරම් මා පරිණත වූයෙමි. මේ වෛරය අවසන් කළ හැක්කේ, අවෛරයෙන් බව මා පිළිපදින බුද්ධ දර්ශනය වේ. මම එයට ප්‍රායෝගිකව මුහුණ දුන්නෙමි.

ඔවුන් ද අපේම මිනිසුන් විය. අප තව දුරටත් සිංහල හෝ දමිළ නොවී ය. අප මනුෂ්‍ය ජාතියේ උන් විය. තමන්ගේ ජාතිය මුල් කරගෙන වැසියන් සහ ඔවුන්ගේ දරු පැටවුන් ආයුධ සන්නද්ධ යුද්ධයකට ඇද දමා, එය පෝෂණය කළ ඩයස්පෝරාවෙන් මම යමක් අසමි ! ඔබ ගේ මිනිසුන් අද ද දුක් විඳි ති. ඒඅයට ඔබ උපකාර වුනේ කෙසේ දැයි මම විමසමි. එදා පිටරටවලට වී කිඹුල් කඳුළු හෙළූ අය අදද සිටී. එදා වන්නියේ දරුවන්ට ආයුධ දෙන්නට මුදල් ආයුධ නැව් පිටින් එවූ උන්, ඔවුන්ගේ දරුවන්, යුරෝපයේ වෛද්‍යවරුන් කරන්නට මුදල් වියදම් කළෝය. එනමුත් මේ රටට පය තැබුවේ උන් නොවේ. මට කිළිනොච්චියේ හමුවූ බොහෝ වෛද්‍යවරු ශිෂ්‍යයින් කාලයේ රැය පහන් කරන ලද්දේ කැළෑ වැදී බව මා හා කීවෝ ය. වන්නියට ආවේ එවන් වෛද්‍යවරුන් සහ දකුණේ වෛද්‍යවරුන් ය.

අපට වෛර කළ, අපට බිය වූ, කොටින්ම මුහුණ අනිත් පැත්ත හැරවූ දස දහස් ගණන් නන්නාඳුනන දමිළ වැසියන්ගේ දුක දරන්නට තරම් මම සමත් වීමි. ඒ මගේ දර්ශනය නිසා ය. ඔබ මේ පොත ලියන්නට හිත හදාගත්තේ කෙසේද, ඒ තරම්ම ඒ හිත් අරගලය අවසානයේ ඔබද නිවුනේ යැයි මම සිතමි.

මා ඔබේ ලියවිල්ලට ගෞරව කරමි. ඒ ඔබගේ චිත්ත දහිරියට යි, දරා ගැනීම ටයි ! ඔබේ සියල්ල දරා වෙනස් වීම් වලට හිතකර ලෙස මුහුණ දුන් සිත මා පුදුමයට පත් කරයි. අපට මේ රටේ නිදහස්ව සිටින්නට අවශ්‍ය වෙන්නේත් එයයි. තමිලිනී ලියූ දෑ කියවිය යුතුම පිරිසක් මට මතක් වේ. ඒ උතුරේ අද ඉන්නා දේශපාලක නායකයන් රැලත්, පාර්ලිමේන්තුවේ ඉන්නා දේශපාලකයින් රොත්තත් වේ. මිනිසුන්ගේ සැබෑ අරගල විනාශ කරන්නේ පටු බලලෝභී ආත්මාර්ථකාමී නායකයින්ගේ අමනෝඥ ක්‍රියා ය. ඉන් විනාශවන ජීවිත ප්‍රමාණය මෙතෙකැයි කිව නොහැක.

මේ අකුරු තුල සුන්දර යමක් මම නොකියවමි. ඔබේ සාහිත්‍යය හැකියාව හෝ ලිවීමේ හැකියාව නොකියවමි. එනමුත් මේ සියල්ල තුලින් ඔබේ මානුෂීය හදවත අවසානයේ මට හමුවිනි.
   මිනිස් සංහාරයන්ගෙන් පෝෂිත අරගලයක බිහිසුණු බවත්, නොදියුණු බවත් ම්ලේච් ඡත්වයත් පමණක් කියවමි. එවැන්නක් යළි සිදු නොවන්නට සමස්ථ ශ්‍රීලංකා වාසීන්ම සිත හික්මවා ගත යුතු බව පමණක් සිහි කරමි.