Tuesday, February 7, 2017

මව්වරු සතුටු වෙන්නේ කවදාද ?

මම දකින්නේම තුවාල වූ හිත් ඇත්තන්...මනසේ විවිධ හැඩයන් සහිත තුවල වූ හිත් ඇත්තන්.

"කියමනක් තියෙනවා දරුවන්ගේ ආත්මය තුල / හිත තුල එයාලගෙ අම්මලාගේ හැඩය ගත් හිස් ඉඩක් තිබෙනවා කියලා. අම්මා කෙනෙක්ට ඒ හිස් ඉඩ පුරවන්න බැරි වුනොත් ඒ දරුවන් ජීවිත කාලයම...ඔව් ජීවිත කාලයම ඒ හිස් ඉඩ නිසා පීඩා විඳිනවා."
ඔවුන් වැඩිහිටියන් වුනු පසුත් මේ හිස් ඉඩ නිසා සමාජයට පරිපූර්ණ වූ මනස් ඇත්තන් ලෙස ඉදිරිපත් වෙන්නේ නෑ.
සැරෙන් සැරේ මට එහෙම දරුවන් සහ  මිනිසුන් හමුවෙනවා. ඔවුන් ඒ දරුණු තුවාල එක්ක, ඔව් ඒ හිස් ඉඩ නිසා දරුණු ලෙස පෑරුණු ඕජස් ගලන තුවාල සහිත හිත් එක්ක සමාජයේ යනෙන තැන ආසාධනය කරමින්.
ඔව් එහෙම වෙනවා. අම්මා කෙනෙක්ට දරුවන්ගේ ඇස් දෙකට එබිලා ඒ දරුවන් විඳිනා දුක සන්තාපය තේරුම් ගන්න බැරිනම් ඒ දරුවන් ජීවිත කාලයක් පුරා විඳවමින් ඔවුන් වැඩිහිටියන් වූ පසුත් ජීවිතය බෙදා හදා ගන්නා අයගේ ජීවිතද අඳුරේ හෙලමින් බොහෝ අවුල් වියවුල් මැද කල් ගෙවනව.
මෙතනදි ඔබ කල්පනා කරන්න පුළුවන් ඇයි මම අම්මා ගැනම පමණක් මූලික කරගෙන මේ දේවල් පවසන්නේ කියලා. තාත්තා කෙනෙක්ට මේ දේවල වගකීමක් නැද්ද කියලා. ඔව් තාත්තා කෙනෙකුටත් දරුවන් ගැන වගකීමක් මව් කුස දරුවෙක් පිළිසිඳගත් දා පටන් තිබෙන නමුත් හරි ලේසියෙන් ඒවයෙන් මිදෙන්නට සමාජය තුල ගතානුගතික සාම්ප්‍රදායක් පවතිනවා. එනිසා අද මම අම්මලා ගැන විතරයි කතා කරන්නේ. නමුත් තාත්තා කෙනෙක්ටත් මේ දේ වල් පොදුයි.
මම දකින්නේ රැකියාවත් ගෘහ ජීවිතයත්, දරුවනුත් ඒ වගකීමුත් අතර දෝලනය වෙමින් බොහොම කාර්යය බහුල ජීවිත ගත කරන ස්ත්‍රීන්. ඔවුන්ට විවාහය කියන්නේ තවත් ජීවිතය අපහසු කරවන සුළු දෙයක් වෙලා. බහුතරයක් ගැහැණු අසන්තෝස දුකින් පිරුණු ජීවිත ගත කරනවා. ඉතා දැඩි වෙහෙසකර වැඩමුර ගෙවමින්, කෙසේ හෝ තම පවුල වෙනුවෙන් වෙලාව වෙන් කරගන්න. යුතුකම් වගකීම් කියන ලේබල වලින් ගහණ ඔවුන්ගේ ජීවිත සටනින් ජයගන්න උත්සහ කරනවා.

මට හමුවෙන හිඟමනේ යන ස්ත්‍රියත්, අප වාට්ටුව පිරිසිඳු කරන්නියත්, මමත් යන අප සියල්ලටම පොදු මේ වගකීම් සහ යුතුකම් ලේබල නිසා අපි ජීවිත කාලයක් ගෙවා දමන්නේ දැඩි පීඩනයන් යටතේ. එයට කාටවත් දොස් කියා වැඩක් නෑ. ඒ මේ සමාජය හැදුණු හැටියි.

ඔබට සමහර විට කියන්න පුළුවන් "නෑ මම නම් සැබැවින්ම සතුටෙන් සිටින, දුකක් කඳුළක් අහලක නොදුටු කෙනෙක් " කියලා. එහෙනම් මේ සටහන ඔබ ගැන නොවේ. මට ඔබ එසේ සතුටෙන් සිටීම ගැන බොහෝම ආඩම්බරයි ! ඔබ ඇත්තෙන්ම වාසනාවන්තයි.  මේ ඔබ ගැන නොවේ.

මගේ නෙත නතර වෙන්නේ වාට්ටුවේ ඇඩ්මිට් කර ඉන්නා නිවුන් දියණිවරුන් දෙදෙනාගේ මව දෙස.
ඇය මානසික රෝගයකින් (ස්කිසොෆ්‍රීනියා) පෙළෙන අතර ඇය රෝහල්ගතව සිටින කාලයේ හමුවන එම රෝහලේම සුළු සේවකයෙක් නිසා ගැබ්බර වී ඒ වන විටත් දෙදරු පියෙක් වන තමාට වඩා වසර විස්සක් වයසැති, මානසික රෝගියෙක් වන ඔහුත් සමග දීග යනවා. ඒ ලැබෙන දියණියන් දෙදෙනා අපට හමුවන විටත් ඉතියෝපියාවේ දර්ශන වල දක්නට ලැබෙන ඔළුව ලොකු බඩ ඉදිරියට නෙරා ඇති ඇටසැකිළි දෙකක් වන් උපත් බරටත් වඩා බොහෝ අඩු බරක් ඇති මාස දෙක තුනක දරුවන්.
මේ මන්ද මානසික රෝගී මවට දරුවන් හදාගන්නවත් දරුවන් බලා ගන්නවත් කොටින්ම ඇය ගැන බලා ගන්නවත් පුළුවනිද ?

දරු දෙදෙනාට ළදරු කිරි පිටි ඉතා අඩු ප්‍රමාණ වලින් වතුර වැඩියෙන් දමා දියකර දී තිබුනේ... හැබැයි ඔවුන්ගේ වාසනාවට හෝ අවාසනාවට රෝහල්ගත කලේ නැත්නම් මිය යන්න වුවද ඉඩ තිබුනා.
ඇය නිවුන් දියණියන් දෙදෙනෙක් හදා වඩා ගන්නේ කොහොමද ?
සමාජය ඇය දෙස අම්මෙක් උනානම් උස් මහත් කරපන් රැක ගනින් කියනවා මිසක ඒ මව විඳවන අයුරු හෝ ඇයට කළ හැකි දේ කුමක්ද යන්න වත් සොයා බැලුවාද ? නැත.
එය අප සෞඛ්‍ය ක්ශේත්‍රයේම ගැඹුරු ආගාදයක් වැනි අතපසු වීමකි. සමාජගත නීති රීති තිබිය යුත්තේ මෙවැනි සියල්ලන්ටම හිතැති යන අරමුණෙන් ය.

 ගබ්සාව සමාජගත කිරීම යන කරුණත් මේ ගමන්ම මට මතක් වේ. අඩු තරමේ නිවැරදි මනසකින් ක්‍රියා කරන්න බැරි හිතා බලන්න තීරණ ගන්න බැරි කෙනෙක්ට ඔවුන්ගේ ජීවිත තව තවත් අපායවල් කරගන්න සිදුවෙනවා නම් ඒක මේ සමාජ යාන්ත්‍රනයේ අවුලකි.

මට මතක් වෙනවා දරුවන්ගේ දරුවන් කරගහගෙන ක්ලිනික් එන ආච්චිලා. ඔවුන් ඒ දේ ඉල්ලා සිටි අය නොවේ.

 දරුවන් හදපු අම්මලා ඇතැමෙක් පසු ප්‍රසව විශාධිය නිසා මනස වියවුලෙන් ය. ඇතැමෙක් ආර්ථික ප්‍රශ්න හමුවේ රට හැර ගොස් විදේශගතව මෙහෙකාර සේවයේ යෙදේ.
කොටින්ම ළමා වාට්ටුවේ දරුවන් බලන මම රැකියාවට එන්නේ මගේ දරුවා දිවා සුරැකුම් නිවසේ නැනීට බාර දෙමිනි. රාත්‍රී වැඩමුරය ගෙවන්නේ ඈ අත්තම්මා සමගිනි. ඇතැම් විට දරුවන් ඔසවාගෙන රෝහලට, සේවයට යන කාලයක්ද අපට තිබුනි. වැඩ අහවර කරන තෙක් ඔවුන් සිටින්නේ පියා සමගය. හෙදියන්ගෙන්ද ඇසෙන්නේ මෙයාකාරයේම අඳෝනාවකි. බොහෝ අයට සේවා මුර කිහිපයක් එකදිගට කරන්න වෙන්නේ අවැසි පමණට ශ්‍රම බලකායක් නොමැති නිසාය. ඇතැම්විට දරුවන් බලාගන්නන් නිවසේ ඉන්නා වෙලාවට සේවා මුර කිහිපයක් එකදිගට කරගෙන යයි.

බහුතරයක් කඳුරට වතුකරයේ දමිල මව්වරුන් තම දරුවන් ගෙවල් වල අත්තම්මලාට බාර කර කොළඹ රටේ ගෙවල් වලට පැමිණ දරුවන් බලා කියා ගන්නා නැනීලා බවට පත් වෙති. තමන්ගේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් අනුන්ගේ දරුවන් බලා කියා ගනිති.
මේ මව්වරුන් සහ දරුවන්ගේ මානසිකත්වය ගැන ඔවුන්ගේ දුක වියොවුල ගැන සමාජය සොයා බැලුවේද ? වද වුනේ ද ? ඇතැම් මව්වරුන් දරුවන් දෙන්නා තුන්දෙනා බලා කියා  ගන්නා තමන්ගේ මවට සල්ලි යවන්නේ කොළඹ හෝ අග නගරයක මෙහෙ කාර සේවය කරමිනි. ඔවුන් බහුතරයකගේ සැමියන් වෙනතක ගොසිනි.

මේ අම්මලා ගැන රටක් වශයෙන් අප ප්‍රකෘති සිහියෙන් සිටින්නේද ?

ට්‍රැෆික් ලයිට් එකක් ගානේ දරුවන් වඩාගෙන මව්වරු හෝ කුලීයටගත් මව්වරු හිඟා කති. කොහෙද මේවා නවත්වන නීති ? එම ට්‍රැෆික් හංදි වලම නීතිය රකින මහත්වරු ද අත් වනා වාහන පාලනය කරති.
මේ කරුම සමාජ යාන්ත්‍රණය නවත්වන්නේ කවුරුන්ද ? කවදා ද?
එතකොට මෙලෙස මව්වරුන් නැතිව හැදෙන දරුවන්ගේ මානසිකත්වය සහ ඔවුන්ගේ වර්ධනය ගැන කිසිවෙක් වද වුනා ද ? සොයා බැලුවා ද ? මේවාට විසඳුමක් දෙන්නට කෙනෙක් ඉදිරිපත් වුනා ද ?
නැත මට නම් මව්වරුන්ගේ දවසක් නැත. මව්වරුන්ට ඒ වෙනුවෙන් සුභ පතන්නට කියා අමුතුවෙන් ඕනෑකමක්ද නැත ! එය සතුටු දායක යමක් නොවේ.

NO happy mothers day ! යන මැයෙන් පසුගිය අවුරුද්දේ මා ලියූ ඉංග්‍රීසි ලිපිය ආශ්‍රයෙනි.

9 comments:

  1. අක්කෙ මට මේ සටහන කියවනකොට ඩෙබී ටයිලර්ගේ "අම්මෙ ඔබයි රත්තරන්" කියන පොත මතක් උනා... ඒ පොතෙත් තියෙන්නේ මවුවරුන් හත්දෙනෙකුගේ ඇත්ත කතා....

    මේ දෙවල් ගැන හිතනකොට මට හිතුනේ මෙච්චරයි අක්කේ... සමාජය දකින්නේ මොනවද?? ඒත් සමාජයේ ‍ෙපෙනේනට තියෙන්නේ මොනවද??? සමාජ කතා කරන්නේ මොනවද???? ඒත් කතා කළ යුත්තේ මොනවා ගැනද??? අවබෝධයක් නෑ...

    ReplyDelete
    Replies
    1. හරියට හරි නංගී... මට හිතෙන්නේ ඉදිරියේ අප රටේ ඉතිරි වෙන්නේ කයින් පමණක් නොවේ මනසින්ද රෝගී වූ පිරිසක් ! මට මේ වගේ දාස් ගානක් මව්වරුන්ගේ කතා තියෙනවා. ඉස්සරහට පොතක් ලියන්න පුළුවන් මේ කාර් යය බහුලකම අඩු වුනාම. ඒ අම්මලා මට කියන කතා බොහෝමයි. මොකද ඔවුන්ට ඒ දේවල් බෙඳා ගන්න කෙනෙක් නෑ...

      Delete
    2. හොඳ අදහසක් අක්කේ... ඔයාගෙ අද්දැකීම් එකතු කරලා පොතක් ලියනවා නම් බොහොම අගෙයි...

      Delete
  2. ඉක්මනට විසඳුම් දුන්නේ නැත්නම් අපේ රටේ අනාගතයට විශාල ප්‍රශ්නයක්වන තැනක් දරුවන් බලාගන්න සුදුසුකම් ඇති අය නොමැතිවීම. අපේ කාන්තාවන් දරුවන් හදන්න කැමති උනත් දරුවන් බලාගන්න කෙනෙක් නැති නිසා එක් දරුවෙකුගෙන් සෑහීමකට පත් වෙනවා.

    ReplyDelete
    Replies
    1. හුඟක් වෙලාවට මේ දරුවෝ හැදෙන්නෙ දෙමාපියන්ගේ රැකවරනයක් ආදරයක් නොමැතිව

      Delete
  3. මම ඔයා ගැන ආඩම්බර වෙනවා අක්කෙ. මෙච්චර කාර්‍යබහුල ඔයා මේ දේවල් හැමෝටම දැනගන්න ලියන එක ගැන. මම ඔයා ගෙ බ්ලොග් එක කියවන්න අරන් ගොඩාක් කල් මම ඔයාට සුබපතනව. තව තවත් ලියන්න ඒ ලිපි වලින් සමාජයේ ඇස් අරින්න

    ඔයාට ෂක්තිය ලැබෙන්න කියල.

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහෝ ස්තූතියි... ලැබෙන සුළු විවේකයකදී ලියන්නේ. දැන් ලැබෙන විවේකය් ඉතා අඩුයි. බ්ලොග් ලියමනෙන් සෑහෙන්න ඈත්වෙන්නත් උනා

      Delete
  4. //හැබැයි ඔවුන්ගේ වාසනාවට හෝ අවාසනාවට රෝහල්ගත කලේ නැත්නම් මිය යන්න වුවද ඉඩ තිබුනා//

    මෙහෙම ලියුවට මම කැමතියි

    ReplyDelete
    Replies
    1. එහෙම හිතෙන සිදුවීම් තමා තියෙන්නෙ. මේ හැමෝම විඳවනවා

      Delete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !