Sunday, March 6, 2016

මොළේට නහයෙන් වතුර යෑම සහ ඇඟේ ගෑවුනාම ඒඩ්ස් හැදීම.

"ඩොක්ටර්.."
මව දරුවා ඇඳෙහි තබා මවෙත පැමිණ යම් අපහසුතාවයකින් යමක් අසන්නට මෙන් සැරසෙයි.
"ඇයි අම්මා"
"පුතා සුයිමිං (swimming) කරන්න ගත්තට පස්සේ, මොලේට වතුර යනවත් වැඩි ඇති නේද?"
මෙවැනි අන්ඩර දෙමළ කතා අහලා අහලාම මේවට හිනාවෙන්න හෝ කලබල නොවෙන්න තරම් මානසිකත්වයක් අපට ඇතිවෙලා තියෙන නිසා හොඳයි.
" ඇයි අම්මාට එහෙම හිතෙන්නේ"
"නෑ වතුර යටදි නහයෙන් මොලේට වතුර යනවනේ" ඇගේ නොදැනුවත්කම මට මැනවින් වැටහිනි.
ඉන්පසු එළඹුනේ රූප සටහන් මගින් ඇයට මිනිසාගේ හිස්කබල මොළය සහ නාසය උගුර කට පිහිටා ඇති අන්දම පැහැදිලි කිරීමේ කාලයකි.
මද වෙලාවකින් පසු නර්ස් නෝනා කෙනෙක් "ඩොක්ටර් .........මොකද මේ බී එච් ටී (ඇඳ ඉහ පත) එකේ  මූණු ඇඳලා... ඇනටමි පාඩමක්වත් කියලා දුන්නද ?" කියා අසයි.
 මේවගේ අමුතු කතා අඩුවක් නැත
.......................

අමුත්තන් බලන්නට පැමිණෙන වේලාවලදී අපි පෙනෙන්නට හිටියොතින්, මුළු නෑ පරපුරම අප හමුවට පැමිණ රෝගියාගේ තත්වය විමසයි. ඉතින් විඩෙන් විඩේ ටිකට් පරීක්ෂා කරමින් නවතම තත්වයද කියන්නට සිදුවේ. ඔය අතර මවෙත පැමිණියේ නවීන පන්නයට ඇඳ පැළඳි තරුණයෙකි.
"ඩොක්ටර් මම අර ඇඳේ ඉන්න බබාගේ තාත්තා" ඔහු කීවේ මසකටත් අඩු වයසැති බබෙක් ගැන ය.
" ඩොක්ටර්ට කියන්න විශේෂ දෙයක් තියෙනවා... ඔහු හරි බරි ගැසී වාඩි විය.

"අපේ බබා අනිත් ළමයි වගේ නෙමෙයි හරි බුද්ධිමත්, මම ඩොක්ටර්ට කියන්න හිතුවේ ඩොක්ටර්ට තේරෙනවනේ මේ බබාගේ විශේෂත්වය නේද... බබාගේ මොලේ ඇඩ් වාන්ස්... "ඔහු පවසන්නට විය.

 ඉපදී දින විසි තිස් ගාණක් වන දරුවෙක් ගැනයි මොහු පවසන්නේ.. මමත් අසල මේසෙක වැඩ කරමින් උන්නු හෙද සොයුරියනුත් විශ්මයෙන් අසා සිටියෙමු.
" ඩොක්ටර් එයාගේ මොලේ වැඩී අනිත් දරුවන්ට වඩා . දැන්මම එයා ....... (පශ්චාත් භාගය) උඩ දාලා ඔළුව උස්සනවා " ඔතන තිත් පේළියේ භාවිතා කරන ලද වචනය ඔබට හිතා ගන්න පුළුවන් නේද ? හෙද සොයුරියන් පිරිස නැගිට විවේක කාමරය දෙසට දිව්වේ හිනාව නවත්තාගත නොහැකිව ය.
පෙර පරිදිම මෙවැනි කතා ගැන අවබෝදයෙන් හිටි නිසා මම නැගුනු හිනා හිතේ තියන් "බොහොම හොඳයි ඒකනම්" කියා හෙමින් විවේක කාමරය දෙසට ගියේ තව මොනවයින් මොනවා කියාවිද කියා සිතමිනි.

.....................
ගර්භනී අම්මාවරුන්ව පරීක්ෂා කරද්දී බඩේ නියපොතු පාරවල් තිබුනොත් අපි විශේෂයෙන් ඒ ගැන වද වෙනවා... ඇතැම් විට එය අක්මාව සම්බන්ධ රෝගාබාද තත්වයකට මුල පිරීමක් දෝ කියලා හිතලා. ඔන්න ඉතින් එහෙම හිතන් අම්මෙක්ගේ බඩ පරීක්ෂා කරනකොට

"නෝනා දන්නවද බඩ කසන්නේ ඇයි කියලා ? ඇතුලේ ඉන්න බබාගේ කෙස් වදිනවා බඩේ ඒකයි" ගර්භනී සමයේ . human anatomy  පාඩම, ගර්භාශය, දරුවා දක්වා තිබෙන පටල ප්‍රමාණය. ඉන්පසු උදරයේ හමේ සිට පහලට තිබෙන ස්ථර සියල්ල සිහිවේ.

 අත පය , හිස, මේවානම් උදරය අල්ලා බැලූ විට දැනේ ඒත් කෙස් ? දැන් ඇයට මෙය පැහැදිලි කරන්නේ ?
" මේන් මෙච්චරක් විතර ඝනකමක් තියෙනවා .   ඉතින් කොහොමද ඔයාගේ හමට බබාගේ කෙස් දැනෙන්නේ" මම අසමි.
 "ඕවා ඔයාලට තේරෙන්නෙ නෑ. " කියමින් ඇය නිහඬ වෙයි.

අපරාදේ පැහැදිලි කරන්න ගිය කාලය ! මම සිතින් සිතමි. බොහෝ විශ්වාස වලට පදනමක් නැති වුනත් ඒවා සමාජයේ මුල් බැසගෙන ඉවරයි.
....................................

කුලියා පිටියේ සිද්ධිය ගැන උනත් මෙහෙමයි.  HIV ආසාධනය ගැන තියා.. සාමාන්‍යයෙන් වෛරසයක් බැක්ටීරියාවක් කියන්නේ මොනවා දැයි නොදන්නා සාමාන්‍ය දැනීමක් සොයා නොයනා පිරිස් සිටින අපේ සමාජෙයේ ( මේ පිරිස බොහෝම වැඩියි. අත්දැකීමෙන් කියන්නේ ) හියුමන් ඉමියුනොඩෙෆිෂන්සි වෛරස් එක ගැන කුමන කතාද ?

"ඩොක්ටර් ලේ ගත්තා බබාගේ අද උදේ රිපෝට් එක කොහොමද දන්නෙ නෑ " තවත් අම්මෙක් ඔළුව කසමින් විමසයි..

" මේක අනුවනම් අම්මේ වෛරස් ආසාධනයක් වගෙයි. කොහොමත් වෛරස් උණට  බෙහෙත් නෑනේ. කරන්න තියෙන්නේ දරුවාට හොඳින් දියර වර්ග දෙන එක. දැනටනම් ඩෙංගු වගේ නෑ එනිසා දියර ප්‍රමාණය මනින්න ඕනේ නෑ.." දැන් මං බලා ඉන්දෙද්දී අම්මාගේ දෑස් විසල් වී වෙව්ලන්නට විය.

" අනේ ඩොක්ටර් බෙහෙත් නැති ලෙඩක්ද හැදිලා තියෙන්නේ අනේ මගෙ දරුවා" අම්මා විලාප තියන්නට සැරසේ.

"අම්මේ කලබල වෙන්න එපා මම කීවේ වෛරස් උණ හදන වෛරස් එක මරන්න ලෝකේ කොහේවත් බෙහෙතක් කරන්නේ නෑ..එහෙම කරන්න බෑ.. මේ වෛරස් එක ඇඟෙන්ම හදන ප්‍රතිදේහ වලින් විනාශකරන්න සහ ඒ හැදෙන දේ ශරීරයෙන් පිටවෙන්න ඕනෙ මුත්‍රා, බහිශ්‍රාවීය ද්‍රව්‍ය මගින්..හැබැයි බෙහෙත් වලින් අපිට ලක්ෂන පාලනය කරන්න, අමාරුකම් අඩු කරන්න පුළුවන්"

ඇයට වඩ වඩාත් පැහැදිලි කර දුනිමි.

බලන්න මෑතක සිදුවුන සිදුවීමත් මේ වගේමනේ ද ? ඇත්තටම එතැන සිටියානම් HIV (වෛරසය) යනු කුමක්දැයි දන්නා ගම්වාසියෙක්... දෙමාපියෙක්...ඒ ගැන රෝග සම්ප්‍රේෂනය වන ආකාරය ගැන දැනුමක් තිබුනේනම් මෙවැනි අනියත බියක් ඇති කරගෙන දරුවෙකුගේ ජීවිතය අඳුරු කරන්නට සිදු නොවෙනු ඇතැයි මට සිතේ. අඩුම තරමේ ගුරුවරයෙක් හෝ විදුහල්පතිවරයා ? රටේ වගකිවයුතු පුද්ගලයින් ?


මේ දරුවා සම්බන්ධයෙන් උදව් උපකාර කරන්නට උවමනා යහළුවෙක් මගෙන් ඒ ගැන උදව්වක් ඉල්ලුවා මේ දරුවාගේ මව සමග කතා බස් කිරීමට. කලක් කුලියාපීටිය රෝහලේ සේවය කළ මගේ යහළු වෛද්‍යවරයෙකුගෙන් විමසූ විට ඔහු ප්‍රදේශයේ සෞඛ්‍ය නිළධාරී තුමෙක් සමගත් කතා කරා. එහිදී දැනගන්නට ලැබුනා,  මේ මවට හෝ දරුවාට HIV ආසාධනය නොමැති බව. මෙය හුදෙක් ගම්බද ඕපාදූප තත්වයක් බවද ඇසුනා.

කොහොමත් රෝගාබාධ පැතිරෙන ක්‍රමයක් තියෙනවානේ. ඩෙංගු, බරවා , මැලේරියා නම් මදුරුවා මගින්, එහෙම කියලා ඩෙංගු රෝගියෙක් අත ගෑව පළියට ඩෙංගු හැදෙන්නේ නෑ.

සීමාවාසික කාලයේ නම් ඩෙංගු රෝගීන් හතර පහක් පමණ වාට්ටුවේ සිටී. ඔවුන්ට විදින මදුරුවන් අපටද විදී.  එනමතු ඩෙංගු නම් සෑදුනේ නැත. කැස්ස හෙම්බිරිස්සා උණ තත්ව නම් බෝ වීම වැඩිය. මොකද ඒවා බොහෝවිට සංසරණය වන්නේ වාතය මගිනි.
අනවශ්‍ය බියක් සහ වැරදි කරුණු ගෙන හැර පෑමෙන් මේ රටේ වගකිවයුතු නිලතල දරන්නන් පවසන දෑ තුලින් ඔවුන්ගේම දැනුම් හීනතාවය බොහෝ සේ පැහැදිලි වේ.

 තමාම සොයා බලා කියවා දැනගන්නට  බැරිනම් වෛද්‍යවරයෙකුගෙන් අසා දැනගෙන කතා කරානම් කෙතරම් අගනේ දැයි මට සිතේ.
කට වසාගෙන ඉන්නා තාක් මෝඩයාද පණ්ඩිතයාය යන කියමන නොදන්නා ඉහළ තැන් වල ඉන්නා ඇමතිවරු... කටමැත දොඩා හත් පොලේ ගා ගනිති !


18 comments:

  1. ඇත්තට ම දැනුමක් ලබා ගත්තා....... වටිනා ලිපියක්....

    ReplyDelete
  2. නියමයි අනිත් කොන..ඔයා කොහොමද හැබෑටම ඔය වගේ වෙලාවට හිනා නොවී ඉන්නේ.

    ReplyDelete
  3. ඇමති අකිල කරපු සමහර වැඩ සහ අහුගේ සංකල්ප මම අගය කරන්න කැමතියි. ඒ වුනාට මේ "මවගෙන් දරුවා ඈත කරන්න ඕනේ" කියන කතාව නම් සාධාරණීකරණය කරන්න කිසිම හේතුවක් මම දකින්නේ නැහැ. ඔය වගේ කතාවක් හිටපු ජනාධිපති මහින්දගේ අනුගාමිකයෙකු කිව්වා නම් ඇත්තටම පුදුම වෙන්න හේතුවක් නැහැ. එත් මානව හිමිකම් ගැන සාධාරණය ගැන කතා කරන බොහොම දුරදර්ශී ලෝකේ ගැන දැනුවත් නායකයෙක් වන අගමැති රනිල් ගේ නායකත්වයෙන්යුත් එක්සත් ජාතික පාක්ෂිකයෝ මේ වගේ ගෝත්‍රික අදහසක් සාධාරණීකරණ කරන්න තමයි නිර්ලජ්ජිත වෙනවා කියන විශ්වාස කරන්නත් අමාරුයි. මම දන්නා තරමෙන් නම් ඔය වයසේ දරුවෙක් මවට ඒඩ්ස් තිබුනත් වෙන කිසිම රටක නම් වෙන් කරන්නේ නැහැ.

    ඒඩ්ස් තිබුනත් ළමයෙක් පරිවාස භාරයට ගන්න පුළුවන් නීති තියෙනවද කියල නීතිඥ මහත්තයෙක් වුන මෙතුමා දන්නවා ඇති.

    "මවගෙන් දරුවා ඈත කරන්න ඕනේ" එක කොහේ තියෙන සාධාරණයක් ද ? එඩ්ස් තිබුනත් එක ලෙඩක් මිසක් වරදක් නෙවෙයි. ඔය කියවෙන කතාවේ හැටියට නම්, විශේෂයෙන්ම ළමයාගේ වරදක් නෙවෙයි අම්මගේ වරදකුත් නෙවෙයි.

    ලෝකේ මොන ශිෂ්ට රටේද ඒඩ්ස් රෝගියෝ වෙන් කරලා පරිවාස භාරයේ තියන්නේ ? එහෙම කියන්න ඇමති අකිලට තිබෙන අයිතිය මොකක්ද ? නවීන ලෝකේ එක්ක හරි හරියට ගැටෙන අගමැති රනිල් ගේ අනුගාමිකයෝත් ලේ-ගැන කියන ජාතිවාදය අවුළුවන පොල් ගහන ගෝත්‍රික අදහස් වල එල්බ ගන්න එක නම් ඒ තරම් හොද වැඩක් නෙවෙයි.

    හිටපු ජනාධිපති මහින්දට අවුරුදු 2ක් කලින් යන්න වුනේ කරන ඕනේ වැඩක් හොද නරක නොසොයා සාධාරණීකරණය කරපු අනුගාමිකයෝ නිසා. අගමැති රනිල් ගේ අනුගාමිකයෝත් ඒ ව්දියටම හැසිරෙන්නේ හෙට අනිද්දා ම අගමැති තුමාවත් ගෙදර යවන්න හිතාගෙනද මන්ද ?

    ඔය පක්ෂයේ නායකයා වෙන අගමැති රනිල් උගත් ලොව ගැන හොදින් දන්නා අයෙකු ලෙසින් බොහෝදෙනා පිළිගන්නවා. ඔය අකිලගේ " "මවගෙන් දරුවා ඈත කරන්න ඕනේ" කියන කතව සාධාරනීකරණය කරන වැඩෙන් නම් වෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායකයත් "බයියා" යන තත්වයට ඇදල දාන එක.

    ReplyDelete
    Replies
    1. ඔයා මේ නවීන ලොකෙ රනිල් කිව්වෙ ඉන්දියවෙ තිරුපති වදින්න යන එක්කෙනාද?

      Delete
    2. ඇයි අප්පේ කියන්නෙ නැත්තේ මෙකත් මහිංද නිසා වෙච්චි දෙයක් කියල.. අඩුම තරමේ මේ ඉන්නෙත් කුරුණෑගලින් මහින්දව පාර්ලිමේන්තු එවපු අදබාල සේට එකවත් කියල කියන්නකො....කියන්නකෝ..

      Delete
  4. සම්පූර්ණ ඇත්ත. ඔබට ජය ..

    ReplyDelete
  5. අර කුලියාපිටියේ දරුවගේ තාත්ත ආසාදිතයෙක් නැද්ද කියල දැනගන්ඩ ලැබුනේ නැද්ද , සමහරක්විට ඒ මනුස්සයත් වෙන රෝගයකින් මැරෙන්න ඇත්තේ

    ReplyDelete
    Replies
    1. ඒකනම් දන්නේ නෑ මම අහපු අය.. නමුත් වෙනත් කෙනෙක් පැවසුවා ඔහු මියගියේ ක්ෂය රෝගයෙන් බව.. නමුත් වෛද්‍ය හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ද කෙනෙක්ගෙන් අසා දැනගත යුතුයි ඒ ගැන. ඇයි මාධ්‍ය මගින් හෝ මේවායේ නිවැරදි බව විමසන්නේ නැත්තේ ? මරණ පරීක්ෂන වාර්ථා ?

      Delete
  6. තමන්ගේ කාලය සහ ධනය( ඩේටා) වැය කරලා මේ වගේ ලිපියක් ලිවීම බොහොම අගය කොට සලකනවා.....

    කරුණු හරියට වටහාගන්න බොහොම වටිනා ලිපියක්...

    ඔබට ජය,..

    ReplyDelete
  7. මමත් මේ කතාව අහලා කමපනයට පත් වුන කෙනෙක්. මේ මිනිස්සුන්ගෙ නොදැනුවත්කමට එක අතකට රජයටත් වගකීමක් තියෙනවා AIDS ගැන ජනතාවට ප්‍රමාණවත් දැනුවත් කිරීමක් නොකිරීම සම්බන්ධයෙන්.

    ReplyDelete
  8. සෞඛ්‍යය පාඩම් පොතේ දක්වා ඇති කරුණු ද වැරදි බවයි ආරංචිය.

    ඇමති ගැන දුක හිතේ.

    හැබැයි ඔහ්ඌ කිව්වේ නම් අම්මාටත් hiv කිආයි.

    ReplyDelete
  9. ජනාධිපති මැදිහත් වී ඒඩ්ස් ස්පර්ශයෙන් බෝ නොවන බව කියන තාක්, එය ස්පර්ශයෙන්ද බෝවෙන ලෙඩකි...

    ReplyDelete
  10. ඒඩ්ස් හුලඟෙන් බෝවන බව සතරවරම් දෙවිවරු හීනෙන් ඉඟිකල අතර ජෞතිර්විජ්ජාඥයෙක් විශ්ව ශක්තියෙන් වාලම්පූරි යොදා කල පරීක්ෂණයකින් සනාථවිය.
    අපි දඬු මොණරෙණ් යනකොට කැලෑවල ජීවත්වූ බටහිරයන්ගේ වයිද්‍ය විද්‍යාව කියන ඒවා ගණන් ගතයුතු නැත.

    අම්මාගේ ඔඩොක්කුවේ සිටීමෙන්ද බෝවනබව කුලියාපිටි දේශපාලන විද්‍යාවේ සඳහන්වේ

    ReplyDelete
  11. මේ ලඟදි මහාචාර්ය අර්ජුන පරාක්‍රම ඔය ගැන හොඳ කතාවක් කරල තිබ්බ. ප්‍රති තර්කයකින් බිඳින්න නැත්නම් ඒත්තු ගන්වන්න පුලුවන් යම් තාර්කික පදනමක් ඇති මතයක් වෙන්න ඕන. අන්ධ විශ්වාස කියන එව්ව එහෙම තර්ක වලින් බිඳින්නත් බෑ ඒ විශ්වාසවල එළඹගෙන ඉන්න අය කීයටවත් එව්වා අතහරින්න සූදානමුත් නෑ....:)

    හොඳ ලිපියක්.....:)

    ReplyDelete
  12. අපේ අයගෙ සාක්ෂරතාව ඉහල වුනාට. සෞඛ්‍යය ගැන දැනුමනම් ගොඩක් පහලයි නේද? අක්කගෙ දැනුවත් කිරීම ගොඩක් වටිනවා. වැඩියෙන්ම සොයා බැලීමක් කරල ලියල තියෙන එක ගොඩක්ම වටිනවා!

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !