Sunday, October 26, 2014

සිඟමනේ යද්දී අත් අඩංගුවට ගන්නවාද ?

"මම තාත්තාගේ ගෙදර යන්නයි ගියේ… ඒකට පාර දිගේ බස් එකට යද්දී තමයි ඇල්ලුවේ.."

අප වෙත එවා තිබූ පස් මස් වියැති ළදරුවා අත දැරි කාන්තාව කියද්දී, “මොකද්ද යන බස් එකේ නොම්මරේ" ප්‍රසිද්ධ බස් මාර්ගයක් නිසා මම ඇසුවෙමි. ඇය නිරුත්තර විය.

“බලන්න බබාගේ බර… තාම මාසෙක දරුවෙක්ගේ බර වගේ. හරියට කිරිවත් දීලා තියෙනවාද ?”

දරුවා උපත ලබා තිබුණෙත් අඩු බර දරුවෙක් ලෙසයි. ඔහු දිගු කාලයක් නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ඒ සම්බන්ධ කාඩ්පතේ, මව මත්පැන් වලට ඇබ්බැහිවූ කෙනෙක් බව ලියා තිබුණා. ඒ කියන්නේ දරුවා කුස ඉන්න කාලෙත් ඇය මත්පැන් මත්ද්‍රව්‍ය අරගෙන!

“ බබා ලැබෙන්න ඉන්නකොටත් මත්පැන් බිව්වද අම්මා” මම ඇගෙන් විමසුවෙමි. 

ඇය නිහඬය. ඇගේ මුහුණ කියා පාන්නේ දිගු කලක් මත්පැන් පානය කරන කෙනෙකුගේ ලක්ෂණය. ඇයට නිවහනක් නැත. ඉන්නේ පාලමක් යට බව කියයි. කලින් දරුවන්ට ඇති බව කීවත් ඔවුනට වෙච්චි දෙයක් නැත. මිය ගියේ යැයි ඈ පවසයි. මට සිතෙන්නේ සිඟමනේ යෙදෙන්නට කා අතට හෝ පත්කර ඇතැයි කියාය. ඇය මෙලෙස අප වෙත යොමු කළේ දරුවා සමග බීමතින් සිඟමනේ යද්දී පොලිසියවිසින් අත් අඩංගුවට ගැනීම නිසාය. මේ කුඩා සිඟිත්තාගේ ඇඟ පුරා දරුණු කුෂ්ටයක් සහ තුවාලද තිබේ "ස්කේබීස්" යන නමින් හඳුන්වන අපිරිසිඳු කම මුල්වන බෝවන රෝගයකි. එය වැළඳී තිබුණේ මවගෙනි. මවගේද මුළු ඇඟ පුරා ස්කේබීස් කුෂ්ඨ තුවාල දද පිරී ඇත.

හැමදාම දරුවෙක් ළමා රෝහලේ ප්‍රතිකාර ලබනවා යැයි කියමින් තව දරුවෙක් අතින් වඩාගෙන බස් රථවලට නගින සිඟන්නා මට මතක් වේ.අවුරුදු ගණනාවක් පුරා ඔහුගේ කතාව එකමය. දරුවාද සයිස් එකෙන් එහෙමමය. ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවද අනෙක් දරුවන් ගැනක්‍රියා කරන දෙපාර්තමේන්තුද දැඩිව ක්‍රියා කළ යුතු කාලයක් එළඹ ඇතැයි මට සිතේ. 

අද පුවත් වලට පැවසූ සිදුවීමක් නිසා මෙලෙස ලියන්නට සිත් විය. අවුරුද්දකට කලින් දකුණු ප්‍රදේශයෙන් නැතිවූ දරුවෙක් දඹුල්ලෙන් හමුවී තිබෙනවා. එහෙම හමුවෙලා තියෙන්නෙත් ඒ දරුවාගේ ආච්චී දරුවා සොයාගෙන නගරෙන් නගරෙට ගියපු නිසයි. දරුවා පැහැරගෙන ගිහින් තියෙන්නේ හිඟා කෑමට යොදා ගන්නයි. ආච්චිට මත්පැන් දී නින්දගිය පසුළු දරුවා පැහැරගෙන ගිහින් ඇත්තේ හැබැයි අපූරුමවැඩේ.. මේ ආච්චිත් කරලා තියෙන්නේ මේ දරුවා වඩාගෙන හිඟා කාපු එකයි.

දරුවන් අතින් කටින් එල්ලාගෙන ඒ දරුවන්වත් හෙම්බත්කරමින් හිඟා කන මිනිස්සුන් නිතර බස් වල කඩ පිල් වල, මංසන්ධි වල කලර් ලයිට් අසල, ඒවගේම කැලණිය බෙල්ලන්විල වගේ පුදබිම් අසලත් මොවුන් අඩු වැඩි නැතිව ඉන්නවා ඔබ දැක ඇති. මටත් නිතර හමුවෙනවා මෙවැනි පිරිසක්, බොහෝ විට දරුවන් සමග හිඟමනේයද්දී අත් අඩංගුවට පත් වෙන සිඟන්නියන්… ඒ ඔවුන්ගේ දරුවන් අප වෙත යොමු කරවන නිසා. බොහෝ දරුවන්ට අම්මලාගේ දද කුෂ්ඨඅඩු වැඩි නැතිව සෑදී තිබෙන අතර, ඔවුන් පෝෂණ ඌනතා වලින් පෙළෙන වයසට සරිලන බරක් නොමැති දරුවන්ද වූවා. 

නුගේගොඩ හංදියේ සිටින එක් මවක් සහ දරු දෙදෙනෙක් මට මතකයට නැගේ. මව පවසන්නේ දරුවාට පාසැල් යාමට නොහැකි වීඇත්තේ උපැස් යුවලක් ගැනීමට වුවමනා නිසා බවය. දරුවන් දෙදෙනාද, උපැස් සඳහා නිර්දේශ කොලයක්ද රැගෙන සිඟා කන මැය අවුරුදු ගණනාවක් දකින්න ලැබෙන තැනැත්තියකි. මා වෛද්‍යවරියක් බව පවසා, උපැස් යුවල ගැනීමට උපකාර කරන්න හැකියැයි පැවසූ විට හනික දරුවන් දෙදෙනා රැගෙන මටත් ඔරවා ගස්සා ගියාය.

තවත් අයෙක් ඔපරේෂන්කරන ලද හර්නියා එකක කැළල පෙන්වමින්, තමාට දරුණු සැත්කමක් සිදු කිරීමට තිබෙනවා යැයි අර ලබාදෙන ඩයග්නෝස් කාඩ් එකහෙවත් ප්‍රතිකාර නිමවූ පසු ලබා දෙන සිදුකළ සැත්කම හෝ ප්‍රතිකාර ගැන සඳහන් කාඩ් පත පෙන්වමින් හිඟා කමින් හිටි ඔහු මා වෙතට ඇවිත් කාඩ් එක දිගු කළේය. මා එය කියවා " මේ ඔපරේෂන් එක කරා නේද ?" ඇසූ විට විගස කාඩ් එක උදුරාගෙන අතුරුදහන් විය.  මෙවැනි සිදුවීම් අනන්තයි. 

දරුවන් මෙහෙකාරකමේ යොදවනවාට නීති රීති හරියට ක්‍රියා කරනවානම් ඇයි සිඟමනේ යොදනවාට විරුද්ධව නීති ගෙනෙන්නට බැරි ? ඇස් පනා පිට, ට්‍රැෆික් ලයිට් අසල දරුවන් අතින් කරින් එල්ලාගෙන එහෙ මෙහෙ වාහන වලට අතපාන අයද, පුද බිම් අසල දරුවන් ඔහේපාරවල් , දූවිල්ලේ දමාගෙන සිඟමන් ඉල්ලන්නෝද බහුලය. ලංකාවේ නීතිය අනුව නම් සිඟා කෑම තහනම් කර තිබෙන අතර දරුවන් සමග සිඟා කන අය අත් අඩංගුවට ගන්නා බවත් සඳහන්, ඒවගේම මෑතක ඔය සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කියපු දේත් ඔය හා සමානයි.

අත් අඩංගුවට ගන්නා අතරම හිඟමනේ දරුවන් අරගෙන යන අයගේ දරුවන් ඔවුන්ගේම දරුවන් දැයි ඩී එන් ඒ පරීක්ෂණ මගින් ඉදිරියේදී පරීක්ෂා කරන බවත් පැවසෙනවා. කෙසේ වෙතත් මේ නීති රීති දැඩිවක්‍රියාත්මක විය යුතු කාලයකි. නැත්නම් වෙන්නේ දරුවන්ද රෝගීන් කරවා සිඟමනේ යොදවන්න මෙවැනි පිරිස් පෙළඹීමය. එසේ නම් අප ද පුරවැසියන් ලෙස, සිඟා කෑමේ යෙදෙන පිරිස ට මුදල් ආහාර, රෙදි පිලි ආධාර උපකාර දීම වැරදි ද ? බස් රථ වලට නගිනා, පන්සල් පල්ලි අසල රැඳෙනා සිඟමන් යදින යාචකයින්ට මින් පසු ආධාර කිරීම නවතා දැමිය යුතු ද ?

More info > http://colombogazette.com/2014/10/23/crackdown-by-cops-on-street-beggars/

15 comments:

  1. පුද්ගලිකව සාමාන්‍යයෙන් මම ඕනෙම හිගන්නෙකුට ඉල්ලුවොත් නොදෙන්නේ නැහැ. ඉල්ලුවේ නැත්තම් දෙන වෙලාවලුත් තියෙනවා. ඒත් දරුවෙක් වඩාගෙන ආවොත් මගේ පපුව රිදුම් දෙනවා මේ ළමයාට දෙන වදය දැකලා, ඒ හින්දා සල්ලි දෙන්නෙම නැහැ. මෙහෙම සිද්ධියක් උනා මට මේ ගැන පොස්ටුවක් ලියන්න තරම් හිතුනත් මගේ හිත දැඩිව කම්පනය උන හින්ද මට හිත හදාගෙන ලියන්න බැරි තරම්. දරුවන් හිඟමනේ ගෙනයාම තහනම් කරනවානම්, එවන් අය අත්අඩංගුවට ගන්නවා නම් මමත් එකඟයි. නමුත් ප්‍රයෝගික ගැටළු තියෙන්න පුළුවන් අපිට (මට ) නොපෙනෙන

    ReplyDelete
  2. අහම්බෙන් ගොඩවැදුන.සතුටුයි කාලීන ,කතාකළ යුතුම මාතෘකාවක් ලියල ....කාලයක් තහනම් කරලා තිබුනට පොදු ප්‍රවාහන වල පවා දැන් ආයෙත් හිඟමනේ යෙදෙන අය ඕන තරම් දැකගන්න පුළුවන්.පොඩි ළමයි ගෙනෙන අයට පව් කියල සල්ලි දෙන්නෙ හිඟමනේ යන වැඩිහිටිපුද්ගලය ගැන හිතල නෙමෙයි දෙන සල්ලිවලින් පොඩි එකා වේලක් හරි කාල ඉඳී කියන අදහසින් .හැබැයි හැමදාම ඒ විදිහට හිඟා කනවනම් ඒ දෙන්න හිතෙන්නේ නෑ .අසරණ පොඩි එකාගේ ජීවිතය බත් වේලකට ,අරක්කු වීදුරුවකට උගසට තියන නිසා. ලංකාවේ නීති ලෝකේ කොහෙවත් නැති තරම් වෙනස් ම ක්‍රමේකටනේ හදල තියෙන්නෙ නීති ලියන්න පුළුවන් පොත් පිටු ගනන් හැබැයි ඔය ක්‍රියාත්මක කරන ගොඩක් නීති වලංගු වෙන්නේ සතියයි දෙකයි.

    ReplyDelete
  3. ඔබතුමියගේ ලිපියක් කාලයකට පසු දක්නට ලැබීම සතුටට කාරණයක් .එමෙන්ම මේ ලිපියට වස්තුබීජව තිබෙන කාරණාව ඉතා සංකීර්ණ කාරණාවක් එමෙන්ම ඊට පිළිතුරු සෙවීමද ඒ තරමටම සංකීර්ණ බව සමාජය හා ගැටෙන ම්බතුමියට අමුතුවෙන් පහද දිය යුතු නැති බව මම සිතමි .
    මෙහි පැතිකඩ කීපයක් ඇති බව මගේ හැගීම වේ .සැබෑවටම ජීවත් වීමේ අපහසුව නිසා දරුවන් සමග සිගමනේ යෙදෙන අය,වියාපාරයක් ලෙසට සන්විදනත්මකව යෙදෙන සිගමන,එමෙන්ම ඔවුන්ගේ සමාජ ස්ථරයෙන් මෙපිටදී ඊට අනුගත වීමේ නොහැකියාව තුල සිගමන නම් වූ ස්ථරයේ රැදී සිටිමින් දිවි ගෙවීම මින් ප්‍රදාන තැනක් ගනී .කරුණු වටහා ගැනීම සදහා මනා අද්යාපනයක් නැති කම ආදී තවත් කරුණුද සාපේක්ෂව මීට සම්බන්දව තිබේ
    සවොක්‍ය සම්පන්න ජාතියකට මග පෙන්වීම ඔබතුමිය ඇතුළු ක්ෂේත්‍රයට පැවරී ඇති සේම ලංකාවේ ස්ථාපිත කර ඇති ළමා ආරක්ෂක ආයතන ඔවුන්ගේ වගකීම නිසි අයුරින් ඉටුකරන්නේනම් මේ විවසනයෙන් දරුවන්ද ,මව් වරුන්ද අවසානයේදී සමස්ත සමජයමද යහමගට ගැනීම අපහසු නොවේ .අශ්වයා ගිය පසු ස්තාලය වසා දැමීමේ න්‍යයය රාජ්‍ය අංශයේ ආයතන තුල පවතින තුරු මෙය තවත් සමාජ ප්‍රස්නයක් පමණි

    ReplyDelete
  4. මේ වගේ අම්මලා පුනරුත්ථාපනය කිරීමේ වැඩ සටහන් තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. ලොකු අය හන්දා දුක් විඳින පොඩි දරුවන් පව්. වෙන රටවල නම් බීමත් අම්මලාගෙන් ලමයි අයින් කරන්ට නීතියට ඉඩක් තියෙනවා. ලංකාවේ නීති නම් අනේ මන් දන්නේ නෑ.

    ReplyDelete
  5. තවත් අග මුල පැටළුන ගැටළුවක්...! සිඟමනේ යාමට දරුවන් භාවිතා කිරීම දක්වා පමණක් විග්‍රහ කරන මේ ගැටළුවේ තවත් පැති ගොඩක් තියෙනවා. සිඟමන් යැදීම ව්‍යවසායක් වූ විට ඒ සඳහා දරුවන් යොදා ගැනීම වර්ධිත තත්ත්වයක්, සැත්කමක් වැනි භයානක රෝගී තත්ත්වයක් භාවිතා කිරීම වගේම. ඒ සඳහා යොදා ගැනීමට සුදුසු තත්ත්වයේ දරුවෙක් තමන්ට නැත්නම්, දරුවෙකු සොයා ගැනීම ව්‍යාපාරීක කටයුත්තක්, ඩයග්නෝස් කාඩ් එකක් සපයා ගැනීම වගේම. දන් දෙන්නාගේ සන්තානය අවුස්සා ගැනීමට තරම් ප්‍රබල සාධකයක් සොයා ගැනීම දක්‍ෂ ව්‍යවසායකත්ව ලක්‍ෂණයක්. නුහුරු රාජකාරියක වෙහෙසට වඩා හුරු පුරුදු ව්‍යාපාරය තව තවත් සංවර්ධනය කර ගැනීම සඳහා මං-පෙත් සොයා යාමයි ඔවුන්ගේ බලාපොරොත්තුව. වෙනත් ව්‍යාපාරයන්ට හුරු වූ අයට (අපට) පෙනෙන තත්ත්වය නොවේ මේ ව්‍යවසායකයින් තමන්ගේ ව්‍යාපාරය පිළිබඳව දකින්නේ. රටක/ආර්ථිකයක නුසුදුසු ආර්ථික කාර්යයක් සිදු වෙනවානම් එය පද්ධතිය තුළින් ඉවත් කිරීම සඳහා කටයුතු කිරීම ආර්ථික පරිපාලනමය කටයුත්තක්. ඒ සඳහා කටයුතු කිරීමට අවශ්‍ය කථිකාවක් ගොඩ නගා ගැනීම පිණිස මෙවැනි අදහස් හොඳ තල්ලුවක් වේවි. බෝධිනී, ඔබට සුභ පැතුම්...!

    ReplyDelete
  6. ඔහොම ළමයි වඩාගෙන දුක කියාගෙන එන අම්මලා තාත්තලාට සල්ලි දෙනවද නැද්ද කියන එක හරිම ගැටළුවක් මටත් . ගොඩක් වෙලාවට එන්නේ වංචාකාරයෝ .සමහරු ලඟින් මත්පැන් ගඳ එනවා . මේ වංචාව හා දුරාචාරය ඊළඟ පරම්පරාවට අරන් යන්නේ නුගත්කම, දුප්ප්පත්කම හා බේබදුකම විසින් . නියම සමාජ සේවා කියන්නේ මෙන්න මේ වගේ දරුවන්ගේ අනාගතය ගොඩ දාන එක. නීති රීති වලින්ම කරන්න අමාරුයි. මේ වගේ වටිනා ලිපිවලින් මේ ගැන කතා බහක් ඇති කරන එකත් ඉතාමත්ම අගය කරනවා.

    ReplyDelete
  7. මමත් දැකල තියෙනවා පොඩි දරුවෙක් වඩාගෙන එන තාත්තා කෙනෙක් කැම්පස් ඉඳන් ගෙදර එනකොට මට අවුරුදු හතරක් පුරාවට හම්බුනා, එයා හැමදාම කියන්නෙ ලොකු ළමයව ඔපරේෂන් එකක් කරලා හොස්පිට්ල් නැවැත්තුවා, ඒ ටික දවසට රස්සාවට යන්න නැති නිසා බස් එකට ගොඩ වුන කතාවක්. මරු වැඩේ කියන්නෙ අවුරුදු එකහමාරකට විතර පස්සෙ මම ඒ පැත්තෙ ගියා. මෙන්න එතකොටත් ඒ මනුස්සය අර කතාවම කියනව. බස් එකේ හැමෝම සල්ලිත් දෙනව. අසරණ ඒ මනුස්සය නෙමෙයි අර කිහිල්ලෙ ගහන් ඉන්න ළමයා.

    ReplyDelete
  8. සිඟාකෑම ව්‍යාපාරයක් ලෙසට මෙතරම් දුරට ව්‍යාප්තව ඇත්තේ මේ අපේ සමාජයේ නිර්ලෝභීව පින් තකා හෝ වදයෙන් ගැලවීමට බොහෝ දෙනා සිඟමන් දෙන්නට පුරුදු වී ඇති නිසා නොවේද? විශේෂයෙන් දරුවන් යොදාගෙන කරන මේ අකටයුතුකම් වැළැක්විය යුතුමයි. බසයකට ගොඩවූ විට හෝ පූජනීය ස්ථානයක් අසල ගැවසෙන මේ අතපාන්නන් හට දිනකට සැළකියයුතු ආදායම් ලැබෙනවාට සැකක් නැත. කිසිදු වෙහෙසක් නොමැතිව මෙසේ පහසුවෙන් යමක් උපයා ගැනීමේ මං තිබියදී ඔවුන් වෙන ජීවනෝපායයක් ගැන සිත් යොමු කරනු නැති. සිඟමන් යදින්නන් හට මුදල් දෙන්නට පෙර අප මේ ගැන සිතා බැලිය යුතුය.

    ReplyDelete
  9. බොහොමයක්ම හිඟාකන පුද්ගලයෝ කරන්නේ අප තුල වරදකාරී හැඟීමක් ජනිත කරවලා ඉන් අයුතු ප්‍රයෝජන ගන්න එකයි. මෙච්චර කල් මුහුණ දුන්න අත්දැකීම් එකිනෙක් නැවත හිතා බැලුවොත් මේ බව සනාත වෙයි.

    අනිත් කොන, scabies වලට හොරි කියලා කියන්නත් පුලුවන් නේද?

    ReplyDelete
  10. ඔබ හා එකගයි...
    හොද ලිපියක්

    ReplyDelete
  11. ලංකාව තුල විශේෂයන්ම කොළඹ හා අනෙකුත් ප්‍රධාන නගර කේන්ද්‍ර කරගෙන කරනු ලබන සිඟමන් යැදීම කිසිම අයුරකින් තනි තනි පුද්ගලයින්ගේ අභිමතය පරිදි සිදු කල නොහැක. යමෙකු එසේ සැබෑවටම හෝ අත පෑවොත් ඊලඟ මොහොතේදී ඔහුව කුදලාගෙන ගොස් ඇට කුඩුකර දැමීමට තරම් බලවත් වූ නිරීක්ශන ජාලයක් හරහා ඉතා සංවිධානත්මකව මෙවා ක්‍රියාත්මක වේ. උදාහරණයක් ලෙස කොළඹ මොන ස්ථානයකදී හෝ ඔබේ වොලට්ටුව නැති වුවහොත් ඒ පිළිබඳව නිවැරදි හෝඩුවාවක් විනාඩි පහලොවක පමණ කාලයක් තුල ලබා ගැනීමටද පැයක් ඇතුලත සුරක්ශිතව නැවත එය ඔබ අතටම ගෙන්වා ගැනීමටද හැකියාව මෙම ජාලය සතුව ඇත. ඔබේ සබඳතාවල බර අනුව මෙය තීරණය වේ.
    මත්කුඩු හා නීත්‍යානුකූල නොවන මත්පැන්, කප්පම්, කොන්ත්‍රාත් ක්‍රමයට කරනු ලබන මැරකම් වලින් පසු පාතාලය හා එයින් පෝශණය වන දේශපලුවන්ගේ ප්‍රධාන ආදයම් මාර්ග දෙක සංවිධානාත්මක සිඟමන් හා කුණු වෙළඳාම (එය වෙළඳාමක් ලෙස හැදින්වීමේ වරදක් නැත.) බව කිව්වොත් ඔබ පුදුම වනු නො අනුමානය. නමුත් සත්‍යයද එයයි. 'ප්‍රබල' දේශපාලන මැදිහත්වීමකින් තොරව මෙය පාලනය කිරීමට අපහසු වනුයේ එම හේතුව නිසයි.
    මෙම සමහර ළමුන් අංගවිකල තත්වයට පත්කිරීමට ඔවුන් අනුගමනය කරනු ලබන කෲර ක්‍රමවේදයන් ඔබ නොදැන සිටිනවානම් වඩා හොඳ යැයි සිතමි. සමාජයේ තවත් එක් අඳුරු පැතිකඩක් වෙත නෙත් හැරවීමට මේ කරන ආරාධනයට ස්තූතියි. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. මෙය තනි තනිව කරන දෙයක් නෙමෙයි. කල්‍යාණ මිත්‍ර ගේ අදහස සමග එකගයි.

      Delete
  12. පොඩි දරුවන් සමග හිඟා කන මිනිසුන් දකින හැමවිටම හිතෙන්න ලංකාවේ නීතිය ක්‍රියාත්මක වීම මේ තරම් දුබල මන්ද කියාය . සමහරවිට slumdog millionaire චිත්‍රපටියේ මෙන් මාෆියාවකට පොලිසිය යටවී සිටිනවා ද කියා සිතේ , රෝගාබාධ වලට සින්ගාකන මිනිසුන් බෝභෝ විට ඔවුන්ට ඍජු උපකාරයක් කරන්නට ගිය විට ගස්සගන ඉවතාට යාම බොහෝවිට අත්දක ඇත්තෙමි

    ReplyDelete
  13. මේ විදිහට හිඟමනට දරුවන් යොදාගැනීම එන්න එන්නම වැඩිවෙනවාද කියල මට සැකයක් එනවා,.. අම්මලාත් තාත්තලාත් දරුවන් යාචකයින්ට දවස් කුලියට විකුණන බව නම් ආචාර්ය රත්නපාල මහත්මයාගෙ පොතේත් සඳහන් වෙලා තියෙනවා. .කොහොමටත් මේ තත්වෙට අපිත් වරදකාරයෝ. අපි හොරුන් බව දැන දැනම හිඟමන් දෙනවා. නීතිය මීට වඩා පුළුල්ව ක්‍රියාත්මක වෙන්න ඕනෙ කියල මමත් හිතනවා.

    ReplyDelete
  14. මේ විදිහට හිඟා කන අය අනන්තවත් අපි දකිනවා. මේ අය වෙන විදිහකට පුනරුත්ථාපනය කරන්නත් නොහැකි වෙයි දුව. මේ එයාලට පුරුදු වෙච්ච රැකියාව. අපි මේවට විසඳුම් සෙව්වාට එයාලට ඒවායෙ වගක් නෑ. ඒය මත් කුඩු වලට, මත්පැන් වලට ඇබ්බැහි වී ඉන්නෙ. සමහරුන්ට අපි දැන දැනම කීයක් හරි දෙන්නෙ ආයෙත් බොන්න නොවේදැයි හිතුන වාර අනන්තයි. ඒත් එක්කම දීලා අත්හැරීම තමා හොඳ කියලා හිත අයෙත් හදා ගන්නවා. දරුවන්ට වෙන අසාධාරනයට නම් පුදුම දුකක් මටත් තියෙන්නෙ. මේ දරුවන් හරිම කලහකාරීව තමා හැසිරෙන්නෙ. සංවේදී කමක් ඇත්තෙම නෑ.

    ReplyDelete

ඔබ මෙහි ආ බව දැනුනොත් සතුටක් ! It would be great to know that you were here !