Wednesday, March 26, 2014

නිවන් යන්නට සිතා පණුවන් කාපු කතා....

මේකත් අනිත්කොණ මානසික වෛද්‍ය ඒකකයේදී මට මුණ ගැසුනු චරිතයක් ගැන කතාවක්... ඔහු අප වෙත ගෙන ආවේ ගමේ පිරිසක්. නමුත් වෙන රෝගීන්ගේ මෙන් කලබලකාරී හෝ ප්‍රචන්ඩ ගතියක් මොහුගෙන් පෙනුනේ නෑ. බොහොම ශාන්ත ලෙස එළියේ බංකුවේ ඉඳගෙන සිටියා. ඔව් බොහොම ශාන්ත මනුස්සයෙක්. ඔහු මෙහි ගෙන ආවේ හරිම අත්භූත සහගත ක්‍රියාකාරකම් කරනවාය කියලා. පාර අද්දර ගස් අතර හැංගිලා ඉඳන් පැමිණෙන වාහන ඉදිරියට පැනීම, කුණු කසල කෑම එවැනි ක්‍රියා කීපයක්. හැබැයි ඔහු නේවාසිකව වෙදකම් ලද ඒ කාලයේ නම් අපේ ඒකකය ඔහු නිසා ඉතා පිරිසිඳුව තිබුනා. ඒක අපූරු කතාවක් !


උදෑසන සායන වටයට ලක ලැහැස්තියෙන් රෝගීන් සියල්ලන්ම සිටියේ එළියේ බංකු පෙළ මතයි.
" ඊයා , චිකේ... යන වචන පෙළත් ඉන්පසු " දාන්න කිව්වේ කටට දා ගත්තු කුණු එළියට " කියා අපේ වාට්ටුව බාරව සේවය කළ පිරිසිඳු කරන්නිය කෑ ගහන අන්දම මට ඇසිනි.

බලද්දී ඇය අතුගාන පස්සෙන් දිව යමින් ඇය එකතු කරන කුණු කසල සියල්ලද දූවිලිද එකතු කර කටේ දමාගනිමින් සිටියේ මා ඉහත සඳහන් කළ රෝගියාය. ඔහුට අපි පාල යැයි කියමු. බොහෝ වෙර වීරියෙන් කුණු ගොඩෙන් මෑත් කළ පාල අප වෙත ගෙන ආවේ තවත් සාත්තු සේවකයින් දෙන්නෙක්.

"පාල මොකද මේ කුණු කන්නේ"

අපේ ප්‍රශ්ණ හමුවේ ඇස් බිම දෙසට යොමාගෙන සිටි පාල ඔබ මොබ බලමින් සෙව්වේ කන්න යමක් බව අපිට වැටහුනේ නෑ.. ටික වෙලාවක් සන්සුන්ව සිටි ඔහු වහා ඉදිරියට පැන කොරිඩෝ බිමේ ගමන් කරමින් සිටි පස් වල සිටින හකරැල්ලෙක් කටේ දමා එසැනින් හපා ගිල්ලේය. අපිට දැනුනේ පුදුම අප්පිරියාවකි.

 " මොකෝ පාල මේ වගේ අප්‍රිය ජනක වැඩ කරන්නේ"

"ඒ කීවේ ? කිසිවක් සිදු නොවූ අයුරින් පාල අසයි.

" මේ කුණු කන්නේ මොකද?"

" නෝනා ඕකට හොඳ හේතුවක් තියෙනවා ඒක නෝනට කියන්න තරම් මට නෝනව විශ්වාස නෑ"

මේ හාදයා මේවාට හේතු සම්පාදනය කරනකම් අර කාපු කුණු නිසා ආසාදන ඇතිවිය හැකි හෙයින්, අවශ්‍ය බෙහෙත් වර්ග ලියා තබා ඔහු ගැන කල්පනාවෙන් සිටින ලෙස අනික් අයටත් පැවසුවෙමි. දින දෙක තුනක් යද්දී පාල නිතරම අපි සමග කතා බස් කළ හෙයින් යහළු විය. හැකි තරම් වලකා , අර කුණු කෑම නම් නවත්වා ගත්තෙමු. නමුත් වාට්ටු දෙපස සියලු පෙදෙස් ඉතා පිරිසිඳු විය. ඔහු නිසා පොඩි දුහුවිල්ලක් වැලි කැටයක්වත් නොතියන්නට පිරිසිඳු කරන්නියන් යුහුසුළු විය. මන්ද පොඩ්ඩක් එහෙමෙහෙ වුනොතින් මොහු බිම ඇන තියාගෙන වැලි කැටය පවා කටට ගන්නා හෙයිනි. හතර වන දින ඔහුට මා කෙරෙහි විශ්වාසය ඇතිවූ සෙයකි.
" නෝනා දන්නවද මම බුදු බව ප්‍රාර්ථනා කරනවා. ඒකයි මම බිම වැටුනු කුණු කන්නේ" ඒ වදන් පෙළ ඇසුනු සැනින් අප සියලු දෙනා පුදුමයට පත් විය.

" එහෙම කොහොමද පාල , බුදු වෙන්නේ" මම ඇසුවෙමි.

" ඔය කුණු බිම තිබුනොතින් මේ පොඩි ළමයි එහෙම කටේ දාගන්නවනේ නෝනා, ඒ ළමයින්ට ලෙඩ වෙලා මැරෙන්න පුළුවන්, මම කුණු කෑවම ළමයින්ට එහෙම ලෙඩ වෙන්න චාන්ස් එකක් නෑනේ. මම එයාලව මරණයෙන් ගලවනවා" ඔහු බොහොම ආඩම්බරෙන් කියන්නට විය.
"එතකොට පණුවෝ කන්නෙත් ඒනිසාද පාල ?"

ඔහු බොහොම අවිහිංසක සිනහවක් පා " ඔව්" යැයි පැවසුවේය.

මනස දුර්වල වූ මෙවැන්නන්ගේ හිත් හදන්නට බොහෝ කල් ගතවෙයි. විකල් මනසින් එළි බසින සිතුවිලි නිසා ඔවුන් බොහෝ සෙයින් සම්මත ජිවිත වලට වෙනස් දෑ වල යෙදෙයි. එනිසාම සමාජයෙන් කොන්වෙයි. බොහොම සුළු පිරිසක් මෙලෙස මානසික රෝගී ඒකක වලින් උපකාර ප්‍රතිකාර ලබති.

"පාරේ වාහන හයියෙන් යනවා. එතකොට ඇක්සිඩන්ට් වෙනවා. මම පාරට පැන්නම එයාලා බ්‍රේක් කරනවනේ. එතකොට ඊට පස්සෙ හෙමින් යනවා. සමහරු මාව දැක්කාම. මම පනියි කියලා දන්න නිසා හෙමින් යනවා එයාලගේ පණ බේරෙනවා. මම බුදු වෙන්නයි එහෙම පාරමිතා පුරන්නේ " ඔන්න පාලගේ පැහැදිලි කිරීම අර මම මුලින් සඳහන් කල , පාරට පැන වාහන නැවැත්වීම සම්බන්දයෙන්.

" මම බොහොම නිදහසේ ඉන්නේ. ඉඩ කඩම් සේරම නෝනට දරුවන්ට ලියා දුන්නා. ඉතින් මට කැමති විදිහකට ඉන්න ඒ ගොල්ලො ඉඩ දෙන්න ඕනා නේද ?" ඔහු අපෙන් විමසයි.

" මෙහෙමනේ පාල... ඔයා ඔය හැසිරෙන විදිහට හැමෝටම ඔයාගෙන් කරදරයක් වෙන්නේ. ඒ අය ඔයා නිසා දුක් වෙන කරදර වෙන එක ඔයාට පවක්. පනුවෝ කුඩා සත්තු එහෙම කෑවම උන්ගේ පණ හානි වෙන නිසා ඒකත් පවක්. බුදුවෙන්න නම් ඔය කරන දේවල් කළ යුතු නොවේ"

මා දන්නා අයුරින් කර්මය සහ භවය ගැන ඔහුට පැහැදිලි කලා. ඔවුන්ගේ හිත් වල ඇති අදහස් වෙනස් කරන්නේ අපේ නොනවත්වා දෙන උපදේශන මාලාව නිසාද බෙහෙත් නිසාද ? ඒ දෙකම නිසා නොවෙද ?කියා මට සිතේ...සති 3 පමණ අප ඒකකයේ සිටි ඒ මහතා, පසුව ඔහුගේ සිතුවිලි වල බොහෝ වෙනස්කම් සිදු කරගත්තා. පසුව පැවති මාසික සායන වලට ඔහු පැමිණියේත් තනියමයි.එහිදී ඔහුගේ පැහැදිලි හොඳ අතට සිදුවූ වෙනස්කම් දුටුවා.


අපේ පොඩ්ඩෝ

ඉසිවර වෙදැදුරු ගැන කමෙන්ට් ලැබුනු පසු ගිය පෝස්ට් එකෙන් පස්සේ ඒ ගැන ලියන්න හිතුනා. ඒ කිව්වේ ඇත්තටම රූපවාහිනීයේ යන ඉසිවර වෙදැදුරු කියන නාට්‍යය ගැන. එහෙම නාට්‍යයක් තියෙනවා කියලා කනින් කොනින් ඇසුනත් ඇත්තටම වෙලාවේ ප්‍රශ්ණයක් නිසා කවදාවත් ඒ වෙලාවට රූපවාහිනිය නරඹන්න ලැබුනේ නෑ. එක්කෝ වාට්ටුවේ එහෙම නැත්නම් එවෙලෙට ගෙදර වැඩ, උයන පිහන වැඩ කරන්නේ ඉතින් හවසටනේ. අපේ වාට්ටුවෙත් රූපවාහිනියක් තියෙනවා. වාට්ටුවේ ඇතුල්වෙලා ඉන්න පොඩ්ඩො පොඩ්ඩියො ටික මේක වටේම අරක් අරගෙන ඉන්නේ හවස් වෙනකොට. ඊට පිටිපස්සෙන් තමයි අපේ ඩොක් මේසේ තියෙන්නේ. මම නම් කොහොමත් රූපවාහිනිය නරඹනවා අඩුයි. එනිසා ටෙලිනාට්‍ය කතා ගැන වැඩි ඇල්මක් නෑ. ඔහොම ඉන්නකොට ඉතින් අපේ පණ්ඩිත රාළලාගෙන් තමයි එයාලා ආසාවෙන් බලන වැඩසටහන් ගැන මටත් දැනගන්න පුළුවන් වෙන්නේ. එයාලා ආසාවෙන් බලද්දී අපි වෙනත් කාර් යයන් වල නිරත වෙන එකත් මේ පොඩ්ඩොන්ට ප්‍රශ්ණයක්. ඔන්න ඔය කියන ඉසිවර වෙදැදුරු යන වෙලාවෙත් මේ ළමයි ටික දුවන් ඇවිත් ඒක බලන්න ඕනැයි කිවා.

එයාලා ඔන්න ඉතින් කොරියානු නාට්‍යය බලනවා, මම මගේ පාඩුවේ ලියන්න තියෙන ටිකට් ටික චෙක් කරනවා. මම දන්නේ නෑනේ ඉතින් ඔය වෙදැදුරු . මගෙන් කිසි ප්‍රතිචාරයක් නොමැති තැන එක පැංචියෙක් අහනවා.
ඩොක්ට ඇන්ටි ඔයා ඉසිවර වෙදැදුරු බලන්නේ නැද්ද ? කියලා.
"නෑනේ පුතේ"
"ඇයි ඒ " ඒපාර තව ප්‍රශ්ණයක්.
"මං ටී වී බලන්නේ නෑනේ" යන්තම් ගැලවෙන්න මම උත්තර දුන්නා හැබැයි ඇත්තම.
 ටික වෙලාවක් කල්පනා කල මේ පැංචි " ඇයි ඔයා බෝඩිමකද ඉන්නේ.. " යැයි ඇසුවා.

Tuesday, March 11, 2014

මෝසම් වැස්සත් හිතන තරම් සොඳුරු නෑ! අනිත් කොණේ ගංවතුර

මෝසම් වැස්ස අනිත්කොනට අළුත් දෙයක් නෙමෙයි.. ඊසාන දිග මෝසම් කාලය තමයි ඒකාලේ අපිට තිබුණු දුෂ්කරම කාලය. පළාත් පිටින් ගංවතුරෙන් යට වෙන්නත්, රෝහල ඇරෙන්න අනික් සෑම පෙදෙසක්ම ජලයෙන් යට වෙන්නත් පටන් ගන්න නිසාම ඒ, සාමන්‍ය වැසියන්ටනම් දරුණුම කාලයක්. ලෙඩ කියාගෙන ඇත්තටම එන්න අයත් ලෙඩ නැතුව බොරුවට එන අයත් එමටයි. බොහෝවෙලාවට එහෙම කිසිම රෝගී බවක් නැතුව ඉස්පිරිතාලෙට එන්නේ ඉන්න හිටින්න තැනක් නැති වුණ අයයි.

ඒ කාලෙදි බැරි වෙලාවත් අපිට ගෙදර යන්න වුණොත් ඒකටත් ඉතින් පුදුම දුකක් විඳින්න ඕනේ... බොහෝ වෙලාවට එහෙ යනකොට ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ.. ඇයි ඉතින් ගංවතුර ගලලා පාරවල් වැහිලා කෝච්චි පාරවල් පවා වැසී කෝච්චි ගමනාගමනය අමාරුනම් අපි නොගිහින්සේවයේම යෙදී සිටින නිසා නමුත් ප්‍රශ්නේ ඇති වෙන්නේ මෙහෙම නිවාඩු ගිහින් ආපසු එන්න යෙදෙන දිනවලම කොළඹ ඉඳන් අනිත්කොනට තියෙන දුම්‍ රිය මාර්ග වැසිලා, කෝච්චි යන්නේ නැතැයි කියලා නිවේදනය කරාම. නිවාඩු නැතුව ගෙවල් වල ඉන්නත් බෑ..

 අනික අපි ආයෙ එනකම් අනෙක් අයට නිවාඩු ගන්නත් බෑ. ඒ කාලෙට බොහොම දරුණුවට ඉස්පිරිතාලෙම කාර් යය බහුල වෙන නිසා නිවාඩුපාඩුවේ වැඩි කල් ඉන්නත් බෑ ඉතින්. ඔහොම කීප ගමනක්ම බස් වල පිහිටෙන් යන්න එන්න වුණත් අතර මග වැව් පිටාර ගලලා බොහොමකරදර වලට මුහුණ දෙන්න වුණා. පැය ගණන් බස් වල ඉඳගෙන ඉන්න වුණා. පැය 12 පමණ ගමනේ යෙදෙන්නත් වුණා. බස් එකේදී අසනීප වෙන අය ගැන බලන්නත් උණා. ඒ ගැන පහළ ජායාරූපම සාක්ෂි සපයාවි. මේ පින්තූර නම් පරණයි. ඒ කාලේ ගත්ත ඒවා නේ...

මේ ලියන අනිත්කොන හිටියේ බස් එක ඇතුළේ, ඇතැමුන් දුම්‍ රිය පොළේ සිට අරෝග්‍ය ශාලාවට යන්නත් වාහන ගෙන්වාගත්තත් අනිත්කොන ලියන මා සිටින්නේ බොහොම වෙනස් මතයක. එනිසා පොදු ප්‍රවාහන සේවය පමණක් අනිත්කොනට යන්න එන්න පාවිච්චි කරා.



I was inside the bus when it slowly took off ...






මෝසම් වැසි සමයේ පාරවල් හරහා වැව් උතුරා ඇල දොල ගලා යද්දී පාර පෙන්නුවේ, ත්‍රස්තයින්ගෙන් මේ පෙදෙස් මුදාගෙන මිනිස් ජිවිත වලට නිදහසක් ලබා දුන් ත්‍රිවිද හමුදාවමයි. ඔවුන් මෙහෙම පාර හොයාගෙන පාර මායිමේ වතුරේ බැහැගෙන සැර වතුර පහර මැඩගෙන පාර පුරා හිටගත්තම තමයි බස් ලොරි වගේ බර වාහන ඔවුන් පෙන්නන ඒ මං ඔස්සේ ඉදිරියට ඇදුනා.  බස් එක තුල සිටින අනිත්කොන ලියන්නා, පිහිනුම් ශාස්ත්‍රයේ අල්පමාත්‍රයකවත් දැනුමක් නැත්තෙක් නිසා සිටියේ විනාඩියකට එකසිය පනහක පමණ හර්ද ස්පන්දනය වන අවධියක ය.









හැබැයි මේ දුෂ්කර අවදියේ ... දැන්නම් ඒ පළාත් වල පාරවල් හැදිලා ඔය වතුර එහෙම පාලනය කරන්න වැව් හාරලා බොහොම හොඳින් කළමනාකරනය කෙරුනු බවක් දකින්න ලැබෙන්නේ... මේන්න ඒ නයින් එකේ වත්මන් පින්තූරයක්...




ඒ කාලෙට ඉතින් වාට්ටුවලට ඇතුල් වෙන රෝගීන් පිරිස බොහෝම වගේම වාට්ටුවලින් පිටකරගන්න බැරි පිරිසත් බොහෝමයි. සායනවටයේදී ඔහොම නොයන අය නිසා අපේ ලොක්කොන්ගෙන් ඒ කියන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් අපි බැණුම් අහන්නේ  සායන වටයේදී...

 "මේඅහවලා මෙයා ආවේ මේ නිසා ඒත් දැන් මොකුත්ම රෝග ලක්ෂණ නෑ..". කියලා විශේෂඥ වෛද්‍ය තුමියට හරි තුමාට හරි ( අපිටවිශේෂඥයෝ දෙන්නෙක්ම හිටියා) කියද්දී... 

"එහෙනම් මොකටද තියන් ඉන්නේ, මේ ඊයේ ඩිශ්චාජ් කරපු කෙනා නේද ? " ඔහොම ප්‍රශ්නඅනන්තයි. 

" ගංවතුර ගලලාලු, පාර කැඩිලා බස් යන්නේ නැතිලු, ගෙදර හැමෝම කඳවුරේලු" වගේ උත්තර තමයි ඉතින් අපෙන්ලැබෙන්නේ. 

ඒ අයත් අපේ අනුකම්පාව ගැන බොහොම උපේක්ෂාවෙන් හිතපු නිසා අපේ වාට්ටු නිකම්ම අනාථ කඳවුරු බවට පත්වුණා.ඔහොම ඉන්න අතරේ මේ අයට බෙහෙතුත් ඕනෙ වෙනවා. එයාලා හිතන්නේ අනික් අයට ලැබෙන බෙහෙත් නොලැබුණොත් ඒකත්අඩුවක් වගේ. ඉතින් මොකක් හරි බොරු රිදීමක් කියාගෙන එනවා. 

එක්කෝ භයානක යමක්... ලේ වමනේ ගියානේ ටොයිලට් එකේදී...ඒකත් ඉතින් අපිට පෙන්වන්නේ නෑනේ.. ඉතින් කරන්න ඕනේ පරීක්ෂණ කරලා මොකුත්ම ලෙඩක් නැති බවට ප්‍රත්‍යක්ෂ කරලා බැලුවම සමහර විට එයාලගේ ලෙඩෙත් හොඳ වෙලා. ආයේ ගියොත් කියන්න කිව්වට කවදාවත් එහෙම පෙන්වන කෙනෙක් නම් නෑ. සමහර අයටමොකුත්ම නැත්නම් පණු බෙහෙත් හරි ඕනෑ වෙනවා. එහෙම නැත්නම් ශක්ති පෙති කියලා එයාලා හඳුන්වන විටමින් පෙත්තක් හරි ඉල්ලනවා.

ඇඳන් මදි !

ඇඳන් උඩත් බිමත් රෝගීන්, සමහර ඇඳන් වල තුන් හතර දෙනා ඉඳගෙන. අන්තිමට මෙහෙම බලන්න බැරි නිසා සායනවටයට කලින් ඇවිදගෙන කෙළින් ඉන්න පුළුවන් එච්චර ලොකු බරපතල රෝගාබාධ නැති, ගංවතුර ගලපු නිසා හෝ ගෙයක් දොරක්හරියට නැති නිසා ආපු වැඩිපුර කට්ටිය එළියේ කොරිඩෝවට ගන්නවා, 
පෝලිමක් හදලා එක එක්කෙනා අපේ රෝගීන් පරීක්ෂා කරනකාමරයට අරගෙන බලාගෙන බලාගෙන යනවා. මේ විදිහට කළ විට අපේ විශේෂඥවෛද්‍යතුමියට හෝ තුමාට වාට්ටුවට එනකොට කලබගෑනියක් දකින්න ලැබෙන්නේ නෑ. ඇඳකට එක බැගින් රෝගීන් ඉන්න නිසා වාට්ටුවත් පිළිවෙළයි. හැබැයි සායන වටය ඉවර වුනු ගමන් ආයෙත් වාට්ටුවම පිරී ඉතිරී යන්න සෙනග.

මම අනිත්කොන ආපු මුල් දිනවල මේ ප්‍රදේශය ගැනත් පිරිස ගැනත් ලොකු වැටහීමක් තිබ්බේ නෑ. අම්මෝ එහෙ යන්නේ මොකද ? බුදුඅම්මේ එහෙද වැඩ කරන්නේ කියලා, හැමෝම ඇස් නළලට ගත්තා. 

ඒ අවදියේ ඔන්න ඉතින් පිරී ඉතිරී යන කායික වාට්ටු වල ගානටම වැහිකාලේ ආරම්භ වුණ අවදියේ වැඩ භාරගත් මේ අනිත්කොන ඩොකාට සිද්ධ වුණේ කෑමක් බීමක්වත් හරියට නොගෙන උදේ හවා ඒවාට්ටුවට වෙලා වැඩකරන්නයි. යුද්ධය ඉවර වෙච්චි කාලෙම නිසා ඒ ප්‍රදේශවල අලුතෙන් අමුතුම හිතන්න වෙච්චි බොහොම අමුතු ප්‍රශ්නතිබුණේ.

හැමෝම හිටියේ මොකද්ද ඊළඟට වෙන්නේ වගේ හිතුවිල්ලකින්. ඔහොම ඉතින් ඇතුල්වෙන රෝගීන් හැමෝම දිහා බොහොම ලොකුදයානුකම්පාවක් දැනුණා.

 ඒ අය බොහොම කරදර කාරී කාලයක් ගතකරලා, නිදහසක් ලබා ගත්තු අලුතම ඔවුන්ට බොහොම ලොකු ප්‍රශ්නගොඩක් තිබුණා. ආයේ ඉඩම් ගෙවල් දොරවල් ගොඩ නගාගන්න, ගම්මාන වලට ආයෙත් යන්න, නැතිවුණ හෝ අහිමි වුණ දරුවන්නෑදෑයින් හොයාගන්න, යුද්දෙයෙන් සහ ඒ ප්‍රදේශවල තිබුණු ත්‍රස්ත ක්‍රියා තාඩන පීඩන නිසා ඔද්දල් වුණ හිත් වලට සුවයක් ලබාගන්න. 

ඒඅය බොහෝ විට පිළිසරණ සෙව්වේ, රජයේ හමුදාවෙන් සහ ප්‍රධාන රෝහලෙන්. අපි වෙත එන බොහෝමයක් අය හරිම අහිංසකයි. ඔවුන්හා කතා බස් කරද්දී මගේ දෙනෙත් පවා තෙත් වෙනවා කඳුළු ඇවිදින් ඒ ඔවුන්ගේ ජීවිත වල පසුගිය වගතුග මා හමුවේ කියන නිසා.


ටිකෙන් ටික මම උත්සහ කළේ රටේ දුෂ්කරම පැතිවල සේවය කළ අපේ අත්දැකීම් ඔබ හමුවේ තියන්නයි. නමුත් ඇතැම් විට සමාජ සෞඛ්‍යය ජීවන ක්‍රම, යන මේ සියල්ලම මේ ලිපි ඔස්සේ අඩු නැතිව ලියවුණා. 

මං හිතන්නේ අපි කරන ලොකුම වැරැද්ද සාමාන්‍යමිනිස්සුන්ට අප ක්ෂේත්‍රය ගැන අවබෝධයක් ලබා නොදීමයි. මම කලින් ලියූ චීන්නු ස්මාර්ට් ෆෝන් එකෙන් ලෙඩ හොයන අතරේ අපේ අයගේ නොදැනුවත්කම ලිපියෙන්, ලියන්නට වුවමනා වුණේත් එයමයි. 

බටහිර වෛද්‍ය විද්‍යාව දියුණු වුණ රටවල නම් සමානාත්මතාවයබොහොම ජයටම සුරැකෙන නිසා, වෛද්‍යවරුන් සහ රෝගීන් අතර හෝ අනෙක් වෘත්තිකයන් අතරේ තියෙන පරතරයක් නැති තරම්. ඒත්කුමක් හෝ අභ්‍යාග්‍ය සම්පන්න හේතුවකට ලංකාවේ මෙන්ම ගොඩක් දියුණු වෙමින් පවතින රටවල හෙවත් තුන්වෙනි ලෝකයේ රට වලමේ තත්වය මෙහෙම නෙමෙයි. 

වෛද්‍ය වෘත්තිය කියන්නේ මිනිස්සුන්ගේ ජීවිත රැකගන්න, ජීවිතය තව දුරටත් හොඳින් පවත්වාගෙනයන්න උපකාර කරන වෘත්තියක්.... නමුත් අවාසනාවකට එය නුසුදුස්සන් අතටද පත්වෙනවා. තමන් උගතෙක් පණ්ඩිතයෙක්... මට තරම් එහා කෙනෙක් නැති බව ඔළුවට ගත්තම ඒ එක්කම අනුන් තලා පෙළන්න කරදර කරන්න පෙළඹෙනවා. හරියට නිකම් අර, පිහියකින්වෛද්‍යවරයෙක් සැත්කම් සිදුකර ජීවිත බේරාගන්නවා වගේම, මීනී මරුවෙක් පිහියෙන් ජීවිත හානි සිදු කරනවා, මස් වැද්දෙක් පිහියෙන්සතුන් මරනවා හා සේම ගෘහණියක් පිහියකින් ගෙදර ඉන්න අයට කන්න කෑම පිළියෙල කරනවා. 

මේ ක්ෂේත්‍රයෙත් එවැනි විවිධ අයබොහොමයි. 
සමහරු හිත් සුවපත් කරනවා සමහරු හිත් සුව නසනවා. 

අප අතරේ කවුරුත් එහෙමයි. අප වෙත එන හැම රෝගියෙක්ටමතියෙන්නේ එහෙම අමිහිරි අත්‍දැකීම්. බොරු කියන්නේ මොකටද එහෙම අත්දැකීම් වලට මුහුණ දෙන රෝගීන් අපිත් දැක ඇත්තෙමු. 

ඒත් ඒවා විවේචනය කරන්නට තරම් නොවන නිසා මම ඒ ගැන ලියන්නේ හෝ ඒ වැරදි හරි ගස්සන්නට නොයමි. ඒවෙනුවට අපි වෙනසක්ඇති කරන්නට සිතා ගත්තම හොඳයි නේද . Be the change you wish to see in this world !