Tuesday, June 11, 2013

මම මැරුණම මට තනියම ඉන්න වෙයිද ?

" මට බයයි....මම මැරුණම මෝචරියට ගියාම මට තනියමද ඉන්න වෙන්නේ අනිත් මළ මිනී එක්ක" කුඩා දැරිවියක් අසයි. එක අතක ඇත්තේ පැය විසි හතර පුරා හෙමින් හෙමින් ශරීර ගත කරන රුධිරයේ යකඩ ඉවත් කරන ඖෂධය රැගත් රැඳවුම හෙවත් අයි වී ස්ටෑන්ඩ් එකයි. ඔවුන් රෝද සහිත එය තල්ලු කරගෙන වාට්ටුව පුරා ඇවිදියි. අප මේසය අසලට එයි.

සමහර විට ඔවුන් අප හා ඔවුන්ගේ දුක සතුට හැඟීම් දැනීම් කියන්නේ, අප ඔවුන් ගේ ජීවිත වල ගැවසෙන කෙනෙක් නොවන නිසා වෙන්න පුළුවන්, සමහර විට අපි හොඳ ඇහුම්කන්දෙන්නන් බවට පත්වී ඇති නිසා වෙන්නත් පුළුවන්... එහෙම නැත්නම් අපිට කීවාම යම්කිසි සහනයක් ලැබෙයි කියලත් හිතනවා වෙන්න පුළුවන්. දවස පුරාම නන්නාඳුනන මෙන්ම නිතර දකින නිසා හඳුනන, බෙහෙත් කරන නිසා හඳුනන අයගේ දුක් ගැනවිලි මැසිවිලි, කරදර කම් කටොළු වලට කන් දීලා ඔද්දල් වෙච්ච හිතත් කරගහගෙන ගෙදර යන්නේ.... ඉතින් හවස හතරට අපේ වැඩ කාලය අවසන් වුනත්, සියළු වැඩ ඉවර වෙද්දී හවස 5 , 6 සමහර විට 7 ත් පසු වෙලා. මේ දවස් වල අහස අඳුරුම අඳූරුයි, කොයි මොහොතේ හරි කඩන් වැටෙන්න බලන් ඉන්නේ.ේ

  "මාත් ආසයි ඩොක්ටර් බඳින්න, දරුවෝ හදන්න...ලස්සනට ගෙයක් දොරක් හදාගෙන ඉන්න, මට ලස්සනට මහන්න පුළුවන් , හොඳට උයන්නත් පුළුවන්, ඒත් කවුද අපිව බඳින්න කැමති වෙන්නේ "

මා ඉදිරියේ ඉන්න මේ යෞවනිය බිමට බර කරගත්තු මුහුණින් කියද්දී මගේ හිත පුරා දැනුනේ අසීමිත දුකක්.

 "පුංචි කාලේ අම්මා අපිව උස්සගෙන ගිහින් බලෙන් බෙහෙත් විද්දේ... එයා අපිව ජිවත් කරපු නිසානේ ඩොක්ටර් අද අපි මෙහෙම හරි ඔළුව උස්සගෙන ඉන්නේ. " ඔව් මෙහි එන යන දරු දැරියන් හැමෝගෙම දෙමාපියන් වයස මාස තුන හතරේ සිට තම කිරි කැටි දරුවාද ඔසවාගෙන රෝහලේ දින ගනන් ගත කරපු දුක් බර කාල වකවානු ගෙවා ඇත්තේ. අද නව යෞවන වියේ පසුවන ඔවුන් තනිවම ඇවිත් තම බෙහෙත් ප්‍රතිකාර කරගන්නවා. ඔවුන් ජීවත් වෙනවා දකින, ඔවුන්ට කුඩා කල සිට ප්‍රතිකාර කළ මෙහි සිටින ජේෂ්ඨ වෛද්‍යවරිය පැවසුවේ, ඔවුන් ජීවත් වෙනවා දකින විට දැනෙන සතුට ඇයට කියා නිම කළ නොහැකි බවයි.

" ගෙදර ඔහේ ඉන්න එකත් එපාවෙලා. අපිට කොහෙන්ද ඩොක්ටර් රස්සා... එහෙම රස්සාවක් දෙනවානම් ඒකොම්පැනියේ බොස් ට තැලසීමියා තියෙන්න ඕනේ"

ඇය පැවසූ විට මා මොහොතකට ගල් ගැසුනා. සමාජය ඔවුන්ව කොයි තරම් අසරණ කරලා ඇද්ද ? ඇය පවසන්නේ ඔවුන්ට රස්සාවක් දෙන්න තරම් අනුකම්පා කරන්නේ තැලසීමියා වැළඳී ඒ රෝගයෙන් විඳිනා දුක දන්නා හඳුනන කෙනෙකුම වන්නට ඕනෑ බවයි. එකල සමාජයේ මේ පිළිබඳව තිබුන දැනුවත් බව අඩු නිසා , සමහර පවුල් වල දෙමාපියන් තමන් රෝග වාහකයන් බව නොදැනීම නිසා බොහෝ පවුල් වලට තැලසීමියා රෝගී දරුවන් දෙතුන් දෙනා සිටියා. හැබැයි අද ඒ දෙමාපියන්ගේ සහ වෛද්‍යවරුන්ගේ කැපවීම නිසා ඒ දරුවන් යෞවනත්වය විඳින වයස දක්වා උස්මහත් වී සිටිනවා. අධ්‍යාපනය පවා බොහෝ සෙයින් ඔවුන්ට පාඩු වී තිබුනා. සමහරු වැළඳුනු අතුරු ආබාධ නිසා වූ කරදර නිසා පාසැල් නොගොස් තිබුනා.

බොහෝ කාලෙකට කලින් මාරාන්තික රෝගයක් වුනු මෙය, ඉක්මනින් මැරෙන ළමයින් යයි හංවඩු ගැසුනු මොවුන් නවීන වෛද්‍ය විද්‍යාවේ දියුණුව සමග ඇතිවුනු නව ඖෂධ ක්‍රම නිසා අතුරු ආබාධ රහිතව හෝ අවමව ජීවීතය පවත්වාගෙන යාමට හැකි වෙලා තියෙනවා. ඒත් මාසෙකට සැරයක් රෝහල් ගත වීමද , ඉක්මනින් ආසාදන වලට ගොදුරු වීමේ ප්‍රවනතාවයද ඔවුන්ට තියෙනවා. ඕනෑම සුළු ආසාදනයකින් පවා නිසි ප්‍රතිකාර සිදු නොවුනහොත් මියයන්න පවා පුළුවන් බව ඔවුන් ලබා තිබෙන අත් දැකීම් වලින්ම දන්නවා. ඒ එසේ මිය ගිය ඔවුන්ගේ යහළුවන්ගේ මතක සහ ඔවුන්ට විඳින්න සිදුවුනු රෝගාබාද නිසාය.

 මේ ළඟදී දානෙකට මේ වාට්ටුවට වැඩි හාමුදුරුවන් වහන්සේ නමක්, මේ දරුවන් අමතා දේශනයක් කරන ලදී. එය අවසානයේ අප වෙත පැමිණි එක් දැරිවියක් පැවසුවේ...
"හාමුදුරුවෝ බණට කීවානේ ඩොක්ටර්ලා ටත් ලෙඩ හැදෙනවා කියලා. අනේ මං මේ වෙනකම් හිතුවේ ඩොක්ටර්ලාට ලෙඩ හැදෙන්නෙම නෑ කියලනේ"අප ලෙඩ දුක් හැදෙන්නේ නැති අමුතුම සුපිරි මනුස්සයන් පිරිසක් යැයි ඇය සිතාගෙන සිටී. වෙලාවක මටත් හිතෙනවා, මට සියළු රෝගීන්ගේ ලෙඩ දුක් කරදර සියල්ල එක මොහොතින් නැති කරන්න මට සුපිරි සුව කිරීමේ හැකියාවක් සහිත ශක්තියක් ලැබුනානම් කියලා.

මම ඇයට මා කලකට පෙර පීඩා විඳි රෝග තත්වය ගැන පැහැදිලි කළෙමි. " අනේ පව් නේද ඩොක්ටර් අර අලුත් ඩොක්ටර්, එයාටත් සනීප නැති වෙලානේ.." යැයි මා ගැන බොහෝ දුකින් ඇය අනෙක් වෛද්‍යවරිය හා පවසමින් දුක් වී තිබුනේ, තමන්ගේ රෝග තත්වය මොහොතකට අමතක කරමිනි.
"ඩොක්ටර්ගේ වයසේම වෙන්න ඇති මම" ඔවුන්ට පුතා යනුවෙන් මම ආමන්ත්‍රණය කරන නිසා එක් අයෙක් පවසයි. වැඩීම අඩු නිසා උසින් මෙන්ම මුහුණුවරින්ද ඔවුන් පාසල් යන වයසේ කුඩා දරුවන් බඳුය. (මෙම රෝගය ගැන පෙර ලිපියකින් ලීවෙමි, "මේ ලේ මට නොවේ " කියවන්න)

 "ඩොක්ටර් මට ලොකු වෙද්දි ලොකු වෙද්දි දැනෙද්දි මේ ජීවිතේ හැටි මේ ලෙඩෙන් ගැලවිල්ලක් නැති හැටි...සාමාන්‍ය ජීවිතයක් නැති හැටි මට කලකිරුනා, මම දිවි නහ ගන්නත් හිතුවා" මා ඉදිරියේ ඉන්න යෞවනයා කඳුළු පිරි දෑසින් පවසයි. "මම ඒ තුලින් තේරුම් ගත්තා ජීවිතේ කියන්නේ මොකද්ද කියලා. මේ තාවකාලික ජීවිතේ ගැන අවබෝදයක් නැතිව අපි කොයි තරම් පුහු වැඩකට නැති විච්චූරණ පස්සෙද දුවන්නේ කියලා. ඒ කාලේ මං හිතුවේ මට මේ ලෝකේ අන්තිම දරුණුම දේ වුන කෙනෙක් කියලා.
මේ ලෙඩේ ගැන, බෙහෙත් ගැන, මේ විඳින කරදරේ ගැන මට ලොකු තරහවක් තිබ්බේ. ඒත් අන්තිමට මට අවබෝධ වුනා, මේ සියල්ල තාවකාලික බව. මේ විඳීම්, දැනීම්, මේ රෝගය උනත්. මට ඒ ලැබුන දැනීම නිසා මම හිතන්නේ මට වුන හොඳම දේ මට මේ ලෙඩේ හැදුන එකයි ඩොක්ටර්. දැන් මේක නිට්ටාවට හොඳ කරන්න බෙහෙතක් තියෙනවා කිව්වත් මට ඕනෙ නෑ ඒක"

ඔහුගේ දුක්බර කතා පුවත මා හා පැවසුවත් මම මෙහි එය සටහන් කරන්නේ නෑ. මන්ද අකුරු කරගත නොහැකි තරම් ඒවා ලියන මගේ හිතට මේ තරම් කම්පනයක් ඇති කලාක් මෙන්ම කියවන ඔබේ හිතටත් බර වැඩි වෙනු ඇති බැවිනි. ඔවුන් බොහෝ ශක්තිමත් සිත් ඇත්තන් බවද , මට ඔවුන් විඳි දුක කොහොමටත් දරා ගන්නට බැරි බවද ඒ අතින් ඔවුන් ඉතා උසස් ශක්තිමත් අය බවද කතා බහ කරන විට මම ඔවුන් හා පවසමි. ඔවුන්ගේ දුක දරාගෙන ඔවුන් යන ගමන ප්‍රශංසා කරන්නෙමි.

ජීවිතය යනු විටෙක  මහා කම්පනයකි... එය මා යන මාවතේ හැල හැප්පීම් මෙන්ම හමුවෙන සියළු දෙන  මවෙත ගෙන එන දුක් කම්කටොළු හා බැඳි කම්පනයන් ය... මේ දුක් කරදර විඳීම් දැනීම් ඔස්සේ එය කොයිම විටකවත් සොඳුරු නොවේ යැයි මට සිතේ. ඔද්දල් වී ගිය හිත පොඩ්ඩකට හෝ සුවපත් කරන ඔබේ දයාබරත්වය රැඳි කමෙන්ටුවක් බොහෝ සෙයින් උපකාරී වෙනවාමයි.... කිසි දිනය හමු නොවූ නොදන්නා ඔබ , මෙහි රැඳී අකුරු කර, මොහොතක් හෝ මිඩංගු කර මා වෙනුවෙන් පුද කරන ඒ සහෝදරකමට , තනි තනිව ස්තූති කරන්නට බැරිවීම ගැන සමාවෙන්න.