Wednesday, December 14, 2011

අනිත් කොණ අම්මලා සහ අපේ නිදහස

25 හැවිරිදි තරුණ මව අප අසලට කොර ගසමින් පැමිණියේ හැඬුම් බර මුහුණකිනි.
"අම්මේ කැක්කුම වැඩි නම් ලේබර් රූම් එකට එන්න " පවුල් සෞඛ්‍යය නිළදාරිනිය නැතහොත් මිඩ් වයිෆ් මිස් ඇයට පැවසුවාය.

එසැනින් ඇඳ අසලට ගොස් නිල් පාට හතරැස් කූඩයත් රැගෙන ඇය ප්‍රසූතිකාගාරය වෙත ගියාය. අපිත් යුහුසුළුව එහි ගියෙමු මන්ද ඇයට දරුවා ලැබෙන විට සියල්ලන්ම වාරු  දිය යුතු බැවිනි. ප්‍රසූතිකාගාරයේ ඇඳේ හිඳගත් ඈ දකුණු කකුළ වෙනුවට තිබුනු බොරු කකුල ගලවා මිස් කෙනෙක් වෙත දිගු කළාය. මා ඒ දසුන දෙස බලා සිටියේ කඳුළු පිරි දෑසිනි. දකුණු කකුළ දණහිසෙන් පහළ කොටස නැත. අවසාන සටනේ දී ත්‍රස්තයින් විසින් ඇටවූ බිම් බෝම්බයක් ඇගේ කකුළ බිලි අරගෙන තිබිනි.

 මිනිස් අපි වගේම සතා සර්පයා උනත් අද මේ බිමේ සිටින්නේ නිදහසේ සුව ලබමිනි. එදා ඇසුනු මෝටාර් හෝ බෝම්බ හඬ අද ඇසෙන්නේ නැත.
අත් නැති කකුල් නැති ඇස් නැති බොහෝ අම්මලා මේ කාලයේ - යුද්ධය අවසාන වී අවුරුදු දෙකකට පසු , දරුවන් ප්‍රසූත කරන්නට රෝහල් ගත වෙයි. බොරු කකුල් දෙකම ගලවා දරුවා ප්‍රසූත කළ අම්මලා ඕනෑ තරම් සිටී. එවෙලේට සේවයේ තරාතිරම බලන්නේ නැතිව දොස්තරලා වන අපිද පැමිණ ඔවුන්ට අත්වාරු දෙමින් හැකි තරම් සැත්කමින් තොරව සාමාන්‍ය අන්දමට ඔවුන්ගේ දරු ප්‍රසූතිය සිදු කිරීමට අපි වග බලා ගත්තෙමු. ඒ ඔවුන්ගේ ආබාධිත තත්වය සමග සැත්කම් කැපුම් තුවාල නිසා බොහෝ දුක් විඳින්නට සිදු වන නිසා වෙනි.  

"මොකද මේ වෙලා තියෙන්නේ.." අලුත් සර් පරීක්ෂා කරන හැම රෝගියෙකුගේම කුමක් හෝ හමේ පෙනෙන මැහුම් පහරක් පෙන්වමින් ඇසුවේය. 
"ෂෙල් අඩි " යනු ලැබෙන පිළිතුර වේ. 

හැමෝගෙම ඇඟේ කොහේ හෝ ෂෙල් කැබැල්ලකි. සමහර අම්මලාගේ දණහිසේ සැත්කම් නිසා දණහිස් නවන්නට බැරිය. ඇතැම් විට සිසේරියන් සැත්කම් කිරීමේ ප්‍රතිශතය මෙවැනි පසු කාලීන ප්‍රශ්ණ නිසා ඉහළ යයි.  මාතෘ ගැබිණි සායන වලදී අපේ ඇඟේ ලේ රත් වේ. ඒ ඔවුන්ගේ රුධිර හිමොග්ලොබින් අගයන් නිසාවෙනි. අපේ අලුත් සර් පැමිණි මුල් කාලයේ ඒ ගැන බොහෝ හිත් තැවුලෙන් කතා කළේය. අවුරුද්දක් පමණ මේ කොණේ සේවය කර අත්දැකීම් සහිත මා , මේ ඉතා පහළ හිමොග්ලොබින් අගයන් මේ පළාතේ හැමෝගෙම පාහේ තිබෙන බව කියූ විට සර් පවා පුදුම වුනා. අප කරන්නේ මුල් කාලයේ යකඩ පෙති , විටමින් සී ප්‍රතිකාර නියම කර, ප්‍රසූතියට ආසන්න වූ විගස ඔවුන් රෝහල් ගත කර ලේ පයින්ට් ගනන් ශරීර ගත කිරීමය. ඉතා පහළ අගයන් තිබේනම් අනිවාර්‍යයෙන් රෝහල් ගත කළ යුතුය. වයස අවුරුදු 40 පැනපු අම්මලා ද ගැබ් ගෙන අප සායන වලට පැමිණේ. ඔවුන්ගේ වයස සහ කලින් ලැබූ දරුවන් ප්‍රමාණයද වැඩි වීම නිසාම ප්‍රසූතිය සිදු වන වේලාවේදී භයානක හදිසි අවස්ථාවන්ට මුහුණ දිය හැකිය. 

රංගම්මා 42 හැවිරිදි වියේ පසුවේ. කලින් දරුවන් හත් දෙනෙකු ලැබී ඇත.
 "පවුල් සැලසුම් ක්‍රමයක් ගැන දන්නෙම නැද්ද අම්මා , බලන්න ඔයාගේ වයස , ඔයාගේ හිමොග්ලොබින් හොඳටම අඩුයි " ඒ වෙලාවටනම් එන්නේ කේන්තියක්.

 " ළමයි හත් දෙනෙක් ලැබුනට නෝනා දැන් ඉන්නේ එක ළමයයි " 

"ඇයි ඉතිරි ළමයින්ට මොකද වුනේ " 

" හතර දෙනෙක් යුද්ධෙන් නැති වුනා දෙන්නෙක් සුනාමි වලින් නැති වුනා " 
ඇසේ පිරුණු කඳුළු කැට කම්මුල් දිගේ බේරෙද්දී ඈ පවසයි. ඇත්ත, මෙහි බොහෝ පවුල් වල ඉරණම එයයි. ලොකු මහත් වෙච්චි දරුවන් ත්‍රස්තයන් විසින් පැහැරගෙන ගොස් ළමා සොල්දාදුවන් ලෙස බලෙන් තුවක්කු දී යුද්ධයට තල්ලු කොට දැන් මැරී ගොසිනි. උතුරු මුහුදු බඩ වෙන්නට සිටි පවුල් වල දරුවන් සුනාමියට හසුව ගොසිනි. දැන් ලැබූ නිදහසත් එක්ක ඔවුන් හට නැවතත් දරුවන් හදන්නට බියක් නොමැත. වයස 35 වැඩි අම්මලා ඕනෑ තරම් අපේ සායන වලට පැමිණේ.

 ඇතැම් අවුරුදු 18 අම්මලාට දරුවන් එක්කෙනෙක් හෝ දෙන්නෙක් සිටී. පළමු දරුවා ලැබී තිබුනේ 15, 16 වියේදීය." ඇයි මෙතරම් ලාබාල වියේදී දරුවන් හැදුවේ " යැයි අපි අසද්දී ඔවුන් පැවසුවේ " ඒකාලේ බැඳලා ළමයි හැදුවේ නැත්නම් අපිවත් යුද්ධෙට අරගෙන යනවා" කියාය. 
ලක්ෂ්මි ,(අනවර්ථ නමකි) මට මුණ ගැසුනේ දෙවෙනි දරු ප්‍රසූතිය ලැබෙන්නට රෝහල් ගත වුනු කාලයේය. පළමු දරුවා ලැබී තිබුනේ 2009 මැයි මස 15 වෙනිදාය. පුදුමාතලන් පුදුකුඩු ඉරිප්පු අවසන් සටන කාලයේය. "මම කැක්කුම ඉවසගෙන හරි අමාරුවෙන් ආවේ . එනකොට වෙඩි වැදිලා කකුලේ කෑල්ලක් එල්ලෙනවා. එතකොට ආමි එකේ අය තමයි අපිව බේරගෙන උස්සගෙන ආවේ. මම මල්ලි මල්ලි කියලා දෙමළෙන් කෑ ගැහුවම ළඟට ආපු ආමි මල්ලිලා දෙන්නෙක් ඉක්මනින් මාව ඔසවගෙන වෙඩි අස්සෙන් මේ පැත්තේ ටෙන්ට් එකට අරගෙන ආවා. ඒ ඇවිත් ටික වෙලාවකින් දරුවා ලැබුනා. ඔක්කොම උදව් කළේ සිංහල අය තමයි ඩොක්ටර්. පුතාට දැන් අවුරුදු දෙකයි. අපි දැන් තමයි සතුටෙන් ඉන්නෙ" 

මට අනිත් කොණ අහන්නට දකින්නට අත්විඳින්නට ලැබුනු මේ කතා ලියන්නේ අපිට නිදහස ලබා දුන් විරුවන් වෙනුවෙන් ඇති වූ මහත් ගෞරවයක් , භක්තියක් සමගිනි . මේ පළාතට සේවය කරන්නට එන්නට කලියෙන් අපට තිබුනේ ඔවුන් ගැන අමුතු බියකි. ඔවුන්ට තිබුනේ අප ගැන බියක් සහ වැරදි වැටහීමකි. සිංහලයා නරකයි , දෙමළා නරකයි කියා දෙපැත්තට වෛර කරමින් සිටි සියල්ලෝම අද එක මිනිස් ජාතියක් ලෙස එකතු වී සිටී. අපි බිය වූ අපට බියවූ මිනිසුන් දහස් දෙනා අප හමුවේ වැඳ වැටී ස්තූති කරයි, රෝග සුව වී යද්දී ඇතැම් ආත්තම්මලා අප අත සිඹ , මුහුණ සිඹ තම දිවි බේරා දුන්නාට ස්තූති කරයි. අපි හැකි තරම් ඔවුන්ට කාරුණික වන්නෙමු. 
දිනක් අපි මාර්කට් එකට ගියෙමු. පොල් මිල අධිකය, එළවලු මිල ඊටත් අධිකය. අපි අතර කිහිප දෙනෙක් මිල ගණන් ගැන දොස් පවරමින් සිටියදී වෙළෙන්දා පැවසුවේ "එළවලු මාළු මිල උනත් අඩු තරමේ වේලක් හරි වේලක් කාලා අපි දෙයියනේ කියලා ඉන්නවා නෝනා, ඉස්සර මෙහෙම එළියට බැහැලා ඉන්නද ? අපි ඉල්ලුවේ මෙච්චරයි, අපිට යුද්ධෙ ඉවර කරලා දෙන්න කියලා ,දැන් ඒක හරිනේ. ඉතුරු හරිය බලාගන්න එක අපේ වැඩක්" අපි එලෙස ඉහළට බැන වදිද්දී මේ පළාතේ සාමාන්‍ය ජනයා තුල අපේ විරුවන් ගැන තිබෙන ගෞරවය එසේය. " ඇත්තනේ ... එහෙම නොවුනානම් අපි ඇවිත් මෙහෙම නිදහසේ සේවය‍ කරන්නද මේ පළාතේ" අපිටත් එසේ සිතුනා. එනමුත් රට දිනා දුන් විරුවන් බොහෝ දෙනෙකුට අද අමතක වී ගොසිනි. 

පහළ වීඩියෝ එකත් බලන්න.

 

මෙතරම් කල් නොලියා ඉන්න හේතුව - ඊසාන දිග මෝසම් වැස්ස ! නිතර විදුලිය ඇනහිටීම් සමග රෝහල පිරී ඉතිරීයන්නට ලෙඩ රෝග එක්ක අපිවත් ලෙඩ කරා ! තාමත් චුරු චුරුව..

Wednesday, October 26, 2011

ලෙඩක් හැදුනොත් අපි හැමෝටමයි.. වෙහෙසකර වෙද සිත !

දන්නා හඳුනන කෙනෙකුගේ දන්නා හඳුනන අයෙක් අප මහ රෝහලේ ශල්‍ය වාට්ටුවට ඇතුල් කර ඇතැයි දැනූම් දුන් නිසා පසු ගිය දිනක මම එහි ගියෙමි. එහි ගොස් එළියට විත් ගැහැණු වාට්ටුව අසලින් යද්දී මා වෙත දිව ආ තරුණියක්...

"ඩොක්ටර් ට මතකද මාව " කියා මගේ අතේ එල්ලීගෙන ඇසීය.

අතේ එල්ලෙන්න තරම් මාව දන්න මේ මම නොදන්න තරුණිය කවුරුන්දැයි මම මගේ මතකය පුරා තත්පර ගණ්නට ආලෝකයේ වේගයටත් වඩා වැඩි වේගයෙන් සෙව්වෙමි. නැත මුහුණ නම් මතකය , කවුදැයි අමතකය.

ටවුමට ගියෝතින් හැම තැනින්ම ඩොක්ටර් , ඩොක්ටර්. කොහොමද ඩොක්ටර්, කොහෙද මේ යන්නේ ඩොක්ටර්... ඉවරයක් නැත. මටනම් දැන් එය සොඳුරු කරදරයකි. ඔවුන් හට අමාරු වෙලාවක අපි කරදර වුනාක් මෙන් මා ගැන් ඔවුන් කරදර වෙයි.

"ඩොක්ටර් මම පැනඩෝල් බීලා ඇවිත්... රෑ වාට්ටුවේ ඉන්නකොට ..." ඇය එසේ කියද්දීම මට මතක් උනේ.. පැනඩෝල් හෝ වස බී පැමිණෙන තරුණියන්ට තරුණයන්ට මම දෙන අවවාද ගොන්නය. ඒ දෙන්නෙත් සිනා මුහුණින් නම් නොවේ. ආයේ වහ නම් බීලා එන්නේ නෑ කියන්නටම සත්තම දාන්න වෙන්නේ මේ දරුවන් කරනා මෝඩ වැඩ නිසාවෙනි.

"අනේ දරුවෝ සමාවෙන්න ලෙඩ්ඩු දාස් ගානක් බලනවනේ. නිච්චි නෑ. දැන් මොකද කරන්නේ"

"ඩෝක්ටර් එදා අපිට විකාර නවත්තලා ඉගෙන ගන්නයි කිව්වනේ... ජීවිතේ මේ ගමෙන් එහාට තියෙන දුර පෙන්වලා දුන්නනේ.. මම කැම්පස් යන්නයි ඉන්නේ"
"මට හරිම සතුටුයි දරුවෝ" මටත් වඩා උස මේ තරුණිය මා ඉදිරියේ දණ ගසා වැඳ වැටුනි.
"මේ මොකද දැන් මෙහෙ ඉන්නේ"
"ඇපෙන්ඩිසයිටිස් හැදිලා ඔපරේට් කලානේ " ඇගේ මවද පැමිණ හැඳුනුම්කම අලුත් කර ගති.

ඇය 17 හැවිරිදි වියේ සිටියදී, පෙම්වතා වෙන කෙල්ලෙකු හා හාද වුනා යැයි පැනඩෝල් පේති 30 පමණ බී අපේ වාට්ටුවට ඇතුල් කර තිබිනි. "ආයේ ඒ කොල්ලව ගෙනත් දෙන්න කියලා අඬනවා ඩොක්ටර්" අම්මා අප හා පැවසීය.

"අම්මේ ඉල්ලන ඉල්ලන දේ දීලා සැප දීලා දරුවෝ හැදුවා වගේම ඒ දරුවන්ට හරි දේ කියා දෙන්නත් දැනගන්න ඕනේ. ඔහොම කරන කොල්ලො වැඩක් තියෙනවද අම්මේ... ඔය ගෑණු ළමයි දීග තල දෙන්න කලින් හොඳට උගන්වන්න. "

ඊළඟ දවසේ අප වෙත පැමිණි අම්මා පැවසුවේ.. "අර කොල්ලා ආවනේ ඩොක්ටර් සැප දුක බලන්න, මම දුන්නා කම්මුලට පාරක් වාට්ටුව මැද්දෙම, ආයෙ පස්සවත් නොබලා ගියා." අම්මා අප වෙත පැමිණ කීවාය.

"අනම් මනම් අමතක කරලා ඉස්කෝලේ ගිහිං හොඳට විභාගේ කරන්න. කැම්පස් ගිහිං හොඳ රස්සාවක් ලැබුනම ඔයා දැන් දුක් වෙන්නේ මොනවටද කියලා හිතෙයි දරුවෝ" මම පුළුවන් තරම් ඇගේ හිත හැදුවෙමි.
දැන් ඒ තරූණිය අවුරුද්දකට පමණ පසු මගේ ඉදිරියේ හිටගෙන සිටී... මම සොම්නස් සහගත හැඟුම් සමග ඇයට සමුදුන්නෙමි.


දිනුක මල්ලි පසුගිය ලිපියට ලියූ කමෙන්ටුවක වැදෑමහ සම්බන්ද කතාවක් ලියා තිබූ නිසා
(දිනුක ජයකොඩි said...
වෛද්‍යවරු වීශේෂයෙන්ම අපේ රටේ අය ගොඩක් වෙලාවට ලෙඩ්ඩු ගැන හිතලා කටයුතු කරනවා.මේ ළඟදි සොයිසා එකේ බබෙක් හම්බ උන අම්මා කෙනෙක්ගේ වැදැමහ සම්පූර්ණයෙන් ඉවත් නොවීම නිසා රුධිර වහනය වීම නතර නොවුන වෙලාවෙ එතන හිටි වෛද්‍යවරිය අතට දමාගත් සාමාන්‍ය ශල්‍ය අත්වැස්මක් සහිතව ගර්භාශය තුලට අත දමා වැදෑමහේ ඉතිරි කොටස් ඉවතට ගන්නා ආකාරය මම බලාගෙන හිටියා.ඇත්තටම සෞඛ්‍ය සේවකයින්ට රෝගියෙකුගේ රුධිරය කියන්නෙ ඕනෙම රෝගයක් වැලඳීමට ඉඩ ඇති ආසාදිත ද්‍රව්‍යයක් ලෙස සලකන ලෙසයි උපදෙස් දී ඇත්තෙ.නමුත් මැණික් කටුව දක්වා පමණක් අත්වැසුම ඇති ඇයගේ වැලමිට දක්වාම අර අම්මාගේ රුධිරය තැවරුනා.ඇය ඒ ගැන යන්තම්වත් තැකුවෙ නෑ.ඇයට වැදගත් උනේ අර අම්මගේ ජීවිතේ. කට්ටිය නිරපරාදෙ දොස්තරලට බණිනවා තමයි.නමුත් කවුරුවත් ඔවුන්ගේ වැටුප ගැන දන්නෙ නෑ.බෝවෙන රෝග බහුල පරිසරයක ඉන්න සිදුවී තිබෙන ඔවුන්ට ඕනෙම මොහොතක ඕනෙම රෝගයක් වැළදෙන්න පුළුවන්.ඒත් කවුරුවත් ඒ ගැන පැමිණිළි කරනවා කවුරුත් අහල තියෙනවද?)
ඉහත comment එක නිසා මට ඊට සම්බන්ද කතාවකුත් මතක් වූනා... 

එක් දිනෙක සායනයකට පැමිණි අම්මා කෙනෙක් "ඩොක්ටර්ට මතකද මාව ? " මගෙන් ඇසුවාය.
"කී දෙනෙක් මතක තියා ගන්නද ?" මට සිතිනි.
"මේ ඩොක්ටර් තමයි මගේ වැදෑමහ එළියට අරගෙන මාව බේර ගත්තේ..." ඇය ඇගේ ස්වාමි පුරුෂයාට එකවනම පැවසීය, ඒත් මහ හයියෙනි, ඒ හඬට හෙදියද බෙල්ල උස්සා අප දෙස බැලීය .

ඇය පැවසූ ඒ සිදුවීම මට මතක් විනි. එදින අපේ අපේ විශේෂඥ වෛද්‍යවරයා නොමැති නිසා සීසේරියන් සැත්කම් හෝ මොනම හදිසි සැත්කමක්වත් කරන්නට නොහැකි නිසා සියලුම එවැනි හදිසි අවස්ථා කලින් හඳුනාගෙන ඊළඟ මහ රෝහල වෙත යවන ලද සති අන්තයක් විය.

ඒ මව දරු ප්‍රසූතියෙන් පසු වැදෑමහ ගර්භාෂයෙන් එළියට පැමිණියේ නැති නිසාත්, බොහෝ සේ රුධිරය වහනය වෙමින් තිබුන නිසාත් අප විශේෂඥ වෛද්‍යතුමන් මෙහි නොසිටීම නිසාත්,  ERPC ඉක්මනින් සැත්කමකට භාජනය කළ යුතු වූයෙන් , මීට එහා පිහිටි මහ රෝහලට යැවිය යුතු විනි. වේලාව රාත්‍රී 12යි. අනෙක් වෛද්‍යවරයා විසින් කිහිප වරක් උත්සහ කළද එය එළියටගැනීමට නොහැකි විය. පසුව මට කතා කළේය.

"අනේ වඳින්නම් මාව වෙන තැනකට යවන්න එපා. ඉක්මනින් මට මගේ දරුවා බලන්න ඉඩ දෙන්න"අම්මා ප්‍රසූතිකාගාරයේ ඇඳෙන් බිමට පැනීමට සැරසේ.

"මේ අම්මා මෙහෙම යැව්වොත් ගොඩක් බ්ලීඩ් වෙන්න ඉඩ තියෙනවා, අපි කොහොම හරි එළියට ගමු"

හුඟක් වෙහෙසවී සිටි අනෙක්  වෛද්‍යවරයා ෆෝම් පුරවන අතරේ... නැවත අවශ්‍ය ඖෂධ කැක්කුම් නාශක එන්නත් දෙමින්, හේදිය විසින් කපන ලද අත් වැසුම් එකින් එක මම වැලමිට දක්වා දමා ගත්තෙමි. වැදෑමහ සිරවූ විට, ඇඟිලි කපන ලද පිරිසිඳු අත්වැසුම් වැලමිටට එහා සිට එකිනෙක දමා ගත යුතුය.අන්තිමට ඇඟිලි සහිත අත් වැසුම් දමන විට මුලු අතම රබර් ගලවුස් නීසා තදවී ඇදුම් කයි. එහෙත් අපේ කාර්යය අප කළ යුතුය.

"අනේ මම මැරෙයිද නෝනා... අනේ කැක්කුමයි නෝනා.." අම්මා වැලපේ.

" හරි අම්මේ හොඳට හුස්ම ගන්න, කලබල වෙන්න එපා, තද කරන්නේ නැතුව මට උදව් වෙන්න" වැදෑමහ සම්පූර්ණ වශයෙන් එළියට ගැනීමට නොහැකි ලෙස එය කෑලි කැඩී ගොස් තිබිනි.

" අම්මේ හම්බුනේ දුවෙක්ද පුතෙක්ද, කීවෙනි දරුවාද ? ගෙදර ඉන්න දරුවන්ගේ වයසා කීයද ?"

"අප්පේ ගෙදර ඉන්නේ අයියලා දෙන්නෙක්ද එහෙනම් මේ නංගි බබාට ගැලවිල්ලක් නැති වෙයි"
මම ඇගේ අවධානය වෙනතකට යොමු කරන අතරේ  ටිකෙන් ටික කොටසින් කොටස එළියට ගත්තෙමි. අවසන එක කෑල්ලක්වත් නොතිබෙන බවට සනාථ කරගන්න තෙක් සියල්ල අවසන් කල පසු රුධිර වහනයද නැවතිනි. අම්මාව මීට එහා මහ රෝහලට යැවීමට හෝ සැතකමට භාජනය කිරීමට අවශ්‍ය වුනේ නැත. අම්මා දැඩි වෙහෙසින් සහ කැක්කුම් වේදනා නිසා මහන්සිය පත්වී සිටියාය. ජීවිත හා මරණය අතර පොර බදන අපිට මෙවැනි අත්දැකීම් ඕනෑ තරම් වේ.
අපි ඇය වෙත කිරි දෙන්න යැයි ඉක්මනින් දරුවා ලබා දුන්නෙමු. අම්මා ප්‍රසූත කාමරයෙන් ට්‍රොලිය මත සිට එළියට යද්දී මා වෙත බලා දෑත් එකතු කලාය.යළි පිටව යන තුරු... අප ඇයව මේ රෝහලින් එහා නොයවා බේරා ගැනීම ගැන ස්තූතියි කළාය.
දැන් ඒ අම්මා මා ඉදිරියේ සිටී. අපට සැනසෙන්න මේ ටිකම ඇති නොවේ ද ?

සැත්කම් කරද්දී බොහෝ විට ඉඳිකටු අතේ ඇනෙයි. සමහර විට රුධිර නාලිකා පිපිරීම හෝ බොහෝ විට පෙකණිවැල කපද්දී රුධිරය දස අත විදිමින් විසිරේ.. අපේ නිරාවණය වූ මුහුණේ කොටසේ , ඇස්.. වල තැවරේ. මාතෘ හා ගැබිණි වාට්ටුවල සෑම අම්මෙක්ටම VDRL පරීක්ෂණය කර නොතිබිනි. හදිසි අවස්ථාවක කිසිවක් පරීක්ෂා නොකෙරේ. ඔවුන්ගේ රුධිරය අප කැපුම් තුවාල ඔස්සේ අප ශරීර ගත වේ. ඒඩ්ස් තිබෙනවාදැයි වත් නොද නී.

සීමාවාසික කාලය පටන් ගත් මුලදී නම් කැපුමක් මසද්දී අතේ ඉඳිකටුවක් නො ඇනුනු දිනක් නොවීය.
දිනක් සීසේරියන් සැත්කමක් අවසානයේ අත් වැසුම් ගලවද්දී මා දුටුවේ ඉඳිකටු පාරක් ඇනී ඇති අන්දම. ඉතා දුක්බරව..

"අපොයි අම්මාට භයානක ලෙඩ නොවේවායි ප්‍රාර්ථනා කරනවා " යි මම කියද්දී , නිර්වින්දක වෛද්‍යවරයා මා වෙත එමින් පැවසුවේ. රුධිර නාලිකාවට කැනියුලාව ඇතුල් කිරීමටයද්දී ඒ අම්මා දැඟලූ නිසා කටුව ඔහුගේ ඇඟිල්ලේ ඇනුනු බවයි. "  මගෙත් ඇනුනා, හැදුනොත් අපි දෙන්නටම ..." ඔහු හිනාවෙමින් පැවසුවේය.

Saturday, October 22, 2011

වතුර ෆිල්ටර් කිරීම, වකුගඩු රෝගය සහ අපි - .2

ආසනික් සහ වකුගඩු රෝගය ගැන හැමෝම කතා බස් කරන මේ කාලයේ .... පසුගිය ලිපිය 1 හා සම්බන්දයි...

අද උදෑසන හදිසි ප්‍රතිකාර අංශය වෙත ගිය වීට දුටුවේ දිගු කලක් තිස්සේ රෝගී වී සිටි ගොවි මහතෙකු ඉතා අසාධ්‍ය වී පැමිණි සිටි අයුරු ය. "end stage" අනෙක් වෛද්‍යවරයා මට පැවසීය.

"මගේ මහත්තයා නැතිවුනේ වකුගඩු අමාරුව නිසා, ඒ එක්කම එයාගේ අක්කා, අම්මා තාත්තා, මාමා , තව මාමාගේ පුතෙක් අවුරුදු 36 , ඔහොම අපේ පවුල් දෙකේම ගොඩ ඈයෝ නෑතිවුනා නෝනා. හංගන්න ඕනේ නෑ. කියන්න මටත් වකුගඩු අමාරුව නේද ?" රෝගී කාන්තාව මා දෙසම බලාගෙන කියයි. ඇගේ ඇඳ ඉහ පතේ සඳහන් වූ ක්‍රියැටිනින් අගය දුටු මට බොහෝ දුකක් ඇතිවිය. ඒ යමක් කරන්නට බැරි තරම් අසාධ්‍ය වූ වකුගඩු රෝගීන් මේ පළාතේ බොහෝ සිටින නිසාය .

නාගම්මා නැවත වරක් රෝහල් ගත කර තිබුනා ඇය පෙලෙන වකුගඩු රෝගයේද අවසාන අදියරේ (End stage renal failure) සිටියාය. හුස්ම ගැනීමේ අපහසුතා සමග නීරක්තිය නිසා නිතර රෝහල් ගත වන ඇගේ ක්‍රියැටිනින් අගය බලා සිටියදී ඉහළ යනවාය. 42 හැවිරිදි ඇයගේ පෙනුම 80 වියැති අයකුගේ වගේය. දරුවන් 4 දෙනෙකුගේ මවක් වූ ඇයගේ බාලම දරුවාගේ වයස අවුරුදු 10 කි. යුද්ධය නිසා ස්වාමියා අහිමි ඇගේ දරුවන් රැකුනේ ඇය කුලී වැඩ කර හම්බ කරගන්නා මුදලකිනි. මේ ප්‍රදේශයේ සියල්ලන්ම පාහේ දුප්පත් හෙයින් කුලී වැඩ කරනුයේ හේනක නැත්නම් කුඹුරකය. එයද හැමදාම ලැබන සල්ලියක් නොවේ. රෝගීන් බලන වෙලාවට ඇගේ ඇඳ වටේ පොදි ගැහෙන ඒ දරුවන් රැගෙන එන ඇගේ පියා හෝ අයියා කෙනෙකු නිතර අපෙන් විමසන්නේ ඇය සුව වෙයිද කියාය. වකුගඩුවක් බද්ධ කරගැනීමට ඇති නොහැකියාව නිසා ඇය කෙමෙන් කෙමෙන් වකුගඩු මරුවාට බිලි වෙමින් සිටියාය. මේ වන විට ඇයට බෙහෙත් පෙති අහුරක් පමණ ගිල දමනවා හැරෙන්නට වෙන කරන්න ප්‍රතිකර්මයක් නොමැති විය. විටෙන් විට හුස්ම ගැනීම අපහසු වෙන විට දුම් අල්ලමින්ද පොටෑසියම් අගය වැඩිවෙන විට ඒ සඳහා එන්නත් ලබමින්ද එක් රෝහල් ගත කිරිමකදී රුධිර පයින්ට් 3 පමණ ශරීර ගත කරමින්ද ඉතා දුක්ඛිත අදියරක සිටි ඈ එක්තරා දවසක රෝහල් ගතවීමකින් පසු අප වාට්ටුවේදීම මිය ගියේ අප හැමගේ නෙත් වල කඳුළු ඉතිරි කරමින්.

වකුගඩු රෝගය කියන්නේ මේ ප්‍රදේශවල ජනයාගේ ජීවිත බිලි ගන්නා අංක එකේ මරුවා වී අවසානයි. පෙර කලනම් ඒ තැන තිබුනේ යුද්ධයයි. මුල් කාලයේ සායන වලදී සහ වාට්ටුවල එතරම් විශාල රෝගීන් ප්‍රමාණයක් දැකීම අපට පුදුමයක් විය. පසුගිය කාලයේ තිබූ වාතාවරණය නිසා රෝහලක් වෙත පැමිණීමේ අපහසු තාවයෙන් සිටි ඔවුන් මුල් වරට රෝහල වෙත පැමිණෙද්දී බොහෝ විට පසුවූයේ වකුගඩු රෝගයේ අවසාන අදියරේ.

කෑම අරුචිය, වමනේ යෑම සහ මූත්‍රා පිටිවීම අඩුවීම යන රෝග ලක්ෂණ සහිතව අප වාට්ටුව වෙත එක් දිනක පැමිණි කරුණාපාල නැමැත්තා මින් පෙර කිසිම රෝගයකට බෙහෙත් පෙත්තක්වත් බී තිබුනේ නැත. ඔහුද ගොවි තැනින් එදාවේල සකසා ගත්තෙකි. ඔහු දුටු මතින්ම වකුගඩු රෝගය ඇත්තෙකු බව වටහා ගන්නට වැඩි කාලයක් ගියේ නැත. වකුගඩු රෝගයේ තත්වය මැන බලන ක්‍රියැටිනින් අගය ඉතා ඉහල මට්ටමක පැවතියේය. ඔහු සිටින්නේ ඉතා අසාධ්‍යය තත්වයකයි. රුධිරයේ හිමෝග්ලොබින් අගයද 5 ටත් අඩුවෙනි. රුධිරයත් දිය යුතුමය. ඔහුගේ සහෝදර සහෝදරියන් දරු මුණුබුරන් ඇඳ වටේ රොක් වී ඇත. අමුත්තන් බැලීමේ වෙලාවට අපට නිවනක් නැත. හැමෝටම ඕනෑ වෛද්‍යවරයා මුණ ගැසෙන්නටය. කරුණාපාලගේ ඇඳ අසල රැඳි ඔහුගේ සොහොයුරෙක් වෙත අප මේ රෝගය සම්බන්ද සියලු දෑ විස්තර වශයෙන් පැහැදිලි කර දුන්නෙමු. ඉන්පසු වකුගඩුවක් බද්ධකිරීමේ අවශ්‍යතාවය මෙන්ම ඔහු දැන් සිටින තත්වය අසාධ්‍යය හෙයින් එය ඉක්මනින් කළ යුතු බවද කීවෙමු. ඔහුගේ එක් සහෝදරයෙක් සිටින්නේ ප්‍රධාන නගරයක රෝහලක් සමීපයේ නිසා එහි ගෙන යන බව අපට පවසා සිටියා. නමුත් අපේ මතය වූයේ රෝහලෙන් ඔබ්බට ගමනාගමනය සඳහා ඔහුගේ සෞඛ්‍යය තත්වය හොඳ නැති නිසා ටික කලක් මෙහි සිට තත්වය හොඳ අතට හැරුණු පසු අනුරපුර වකුගඩු සායනයට යොමු විය යුතු බවය. අප විශේෂඥ වෛද්‍යවරයාගේද අත්සන සහිතව ඔහුගේ රෝග විනිශ්චය රැඳි කාඩ් ලිපි සමග ඔහුගේ ටිකට් බලෙන්ම කපාගෙන ඔවුන් තම සොයුරාව තම කැමැත්තෙන් අගනුවර පිහිටි රෝහලක් වෙත රැගෙන ගියේ දැඩි බලාපොරොත්තු රැසක් සමගය. නමුත් යන අතර මගදී ඔහු මිය ගිය පුවත ඉන් දින කීපයකට පසුව අප වෙත රැගෙන ආවේ රෝහලේ සේවය කරන ඒ ගමේම කෙනෙකි. අගනුවර ගෙනියනවාට වඩා මේ ළඟ පිහිටි නුවර තිබූ මහා රෝහලට ගෙන ගියා නම් ! කියා අපට කියැවිනි. නමුත් මරණය කොයි මොහොතේ අප කරා ඒද කිව නොහැකි බවද මතක්වුනි. මෙහි ලියා සඳහන් කළ කිහිප දෙනා පමණක් නොව තව බොහෝ රෝගීන් වකුගඩු රෝගය නිසා මරණයට පත්වුනේ ඒ වාගේම ඛේදජනක අයුරිනි. වකුගඩු බද්ධ කිරීම සඳහා යොමු වූ ඇතැමෙක් තවමත් සායන සඳහා සහභාගි වෙති.

මේ ප්‍රදේශ වල සෑම කෙනෙක්ටම පාහේ අප දෙන පොදු උපදෙස් කිහිපයක් තිබුනා. ඒ වතුර උණු කර ෆිල්ටරයක් මගින් පෙරා පානය කරන ලෙසය. අවුරුදු ගණනාවක්ම ඉතා දැඩි අපහසුතා මැද ජීවිතය එක අතකින්ද මරණය අනික් අතින්ද අල්ලාගෙන ගස් ගල් උඩ රෑ පහන් කල මේ වැසියන් හට මේ ලැබුන නිදහස සමග වතුර ෆිල්ටර් කිරීම යනු සිතාගත නොහැකි සිහිනයකි. ඇතැම් කොට්ටාශ බාර සෞඛ්‍යය නිළදාරීන් විසින් දැනුවත් කිරීම සමග ප්‍රායෝගිකව මේ අය වෙත උපදෙස් ලබා දීම සිදුවුනත් හැමෝගෙන්ම එසේ සිදුවී නොමැති බව අපිට වැටහුනේ වකුගඩු රෝගය සෑදී එලෙස පැමිණෙන්නන් පානීය ජලය සම්බන්දයෙන් අප කරනා විමසීම් වලදී ඇස් ලොකු කරගෙන බලා සිටියදි ය. ඇතැමෙක් කියන්නේ ඔවුන් නල ළිං වල ජලය පානය කරන බවත් ප්‍රශ්නය ඇත්තේ වැව් දියේ බවත්ය. වැව් වල ජලය බීමට තබා නෑමටවත් සුදුසු නොවේ. දිනකට ඇඟ පුරා කුෂ්ඨ සහිතව ඇඟ පත දැවිල්ල සහ කැසීම සහිතව කිහිපදෙනෙකු බාහිර රෝගී අංශයටද වාට්ටුවලටද පැමිණෙන්නේ වැව් වල නෑම හේතු කරගෙනය. ඒවාට පිළියමක් යොදන්න කෙනෙක් හෝ යම් දෙපාර්තමේන්තුවක් තිබෙනවාද යන්න අප නොදන්නා කරුණකි.

වකුගඩු රෝගයේ තත්වය මැන බැලීමට අප සිදු කරන පරීක්ෂණය නම් රුධිරයේ ක්‍රියැටිනින් වල අගය මැනීමය. ඒ සමගම තව බොහෝ දේ පරීක්ෂා කළ යුතුය රුධිර හොමෝග්ලොබින්, පොටෑසියම් වැනි දෑ ඒ අතර වේ. දිනපතා රෝහල්ගතවන අයගෙන් බොහෝමයකගේ මේ අගය මැන බැලීම සිදු කරනවාමයි. රෝග ලක්ෂන පමණක්ම නොව ඔවුන්ගේ ගම් පළාතද අසා දැනගෙන අප එය සිදුකරන්නේ ඒ තරම්ම ප්රමාණයක් වකුගඩු රෝගය නිසා මිය යන නිසාවෙන්ය. බොහෝ විට අවසාන අවස්තාවේ සිටින අය සඳහා කළයුතු රුධිරයේ අහිතකර ද්‍රව්‍යය පෙරීම සඳහා මීට ඔබ්බෙන් පිහිටි අනුරපුර මහා රෝහල වෙත ඔවුන් යැවිය යුතුය. එසේ රුධිරය පෙරන යන්ත්‍ර සහ විශේෂඥයින් සහිත ඒකකයක් තියෙන්නේ මේ පළාතටම අනුරාධපුර රෝහලේ පමණකි. එලෙස වුවත් යැවිය හැක්කේ වකුගඩු බද්ධකිරීම සම්බන්දයෙන් සැලසුමක් ඇති (KT plans) අයවලුන් සහ ප්‍රථම වතාවට රෝග විනිශ්චය කර සායන වලට යොමු කළ යුතු අයවලුන්ය. අනෙක් සමහරක් දෙනා මරණාසන්නව පැමිණියත් ඔවුන් හට කළයුතු විශේෂ ප්‍රතිකර්මයක් නොමැති තරම්ය. අවසානයේදී බොහෝ දුක්ඛිත මරණයක් ඔවුන්ට හිමි වේ.

මෙහෙ වකුගඩු රෝගීන් ප්‍රමාණය කොතරම්ද කියතොත් කලක් ගතවෙත්ම මුහුණ දෙස බැලූ පමණින් වකුගඩු රෝගීන් හඳුනා ගැනීමේ ලක්ෂන අනුව ඒ බව නිගමනය කරගන්නට අපට හැකි විනි. අප විශේෂඥතුමා පවා ඒ බව අපෙන් නොයෙක් අවස්ථාවල විමසා සිටියා. බොහෝ කල් සිට මේ ප්‍රදේශවල කුඹුරු වල පවතින රසායනික පොහොර නිසා මේ ප්‍රදේශ වල ජලය අපිරිසිඳු බව අප එකල සිට දැන සිටියෙමු. දැන් දැන් කියවෙන ආසනික කතාව නිසා එය එසේමයැයි සිතේ. සේවය කිරීමට පැමිණි දා පටන්ම විකිණීමට ඇති ලීටර් 20 වතුර බූලි සල්ලි දී රැගෙන පාවිච්චි කිරීමට අපිට සිදු විනි. නමුත් සාමාන්‍ය ජනයාට එසේ කිරීම අපහසුය. එම ලීටර් 20 වතුර බූලියක මිල රුපියල් 200 කි. කලක් මුළුල්ලේ රෝහලේ පැවති පිරිපහදු ජල කළමණාකරන ක්‍රමයද සැරින් සැරේ අකර්මන්ය වෙයි. ඒ අවැසි තරම් ප්‍රතිපාදන නොමැති හෙයිනි.

අඩුම තරමේ රජයේ හෝ යම් රාජ්ය නොවන සංවිධානයක් මගින් හෝ මෙම වතුර පෙරා පිරිපහදු කරන්නේ නම් මතුවට මේ ප්‍රදේශයෙන් වකුගඩු රෝගීන් ඇතිවීම වත් වලක්වා ගත හැකිය. එමෙන්ම මොවුන් ගේ පවුල් දැනුවත් කිරීම සහ පාසැල් මට්ටමින් දුවා දරුවන් දැනුවත් කිරීමද සිදු කළයුතුමය. එදාවේල හම්බ කරගැනීමට දහක් දුක් විඳින මේ මිනිස්සුන්ට ෆිල්ටරයක් ගැනීම යනු සිහිනයකි. ඔවුන් දිනකට පානය කරන වතුර ප්‍රමාණයද අල්පය. ඇතැම් විට මොවුන් ව නාවන්නම සුළු සේවකයින් බොහෝ කෑ කොස්සන් ගැසිය යුතුය. ඒ වතුර අහේනිය නිසා ඔවුන් පුරුදු වී සීටින අයුරුය.
මේ ප්‍රශ්නය ගැන මීට වඩා සැලකිල්ලෙන් ක්‍රියාත්මක විය යුතුමය.
කොළඹින් පැමිණ සැනකෙළි පවත්වා සංගීත සංදර්ශන පවත්වනවාට වඩා මෙවැනි දෑ තුලින් ඇත්තටම උතුරට වසන්තයක් උදා වෙනවා නො අනුමානය.

Friday, October 21, 2011

We are doctors , so "saving lives" is not optional

ඔබ වෛද්‍යවරයෙක්... ජීවිත බේරා ගැනීම ඔබේ වගකීමයි.

අපට රැයක් දවාලක් නැත, තුන් වේල හරියට කෑමක් නැත. සීමාවාසික සමයේ සෑම වාට්ටුවකම, ලෙඩුන් සිය ගණනකම ජීවිත අප අතේය. ඇඩ්මිට් කරනා සෑම කෙනෙක්ම, පරීක්ෂා කර බලා අවශ්‍ය සියලුම පරීක්ෂණ , නිරීක්ෂණ නිගමන ආදිය ජේෂ්ඨ වෛද්‍යවරුන් පැමිණීමට කලින් සිදු කළ යුත්තේ අපියි. අසාධ්‍ය රෝගීන් සේරම බලා කියා තත්වය වාර්තා කරයුත්තේ අපියි. රැයක් දවාලක් නැතිව වැඩකරන අතරේ, වාට්ටුවෙන් ටිකට් කපා යන රෝගීන්ගේ වාර්ථා පත් ලිවිය යුත්තෙත් අපියි. මහ රෑ රෝහලට ඇතුල් කරපු රෝගියෙක්ගේ හදිසි පරීක්ෂණ සියල්ල ලෑබ් එකට යවා, නිදි මරාගෙන පරීක්ෂණ වාර්ථා ගෙන්වාගන්න ලැබ් එකත් එක්ක රණ්ඩු කරපු දින අනේකයි අප්‍රමාණයි. බොහෝ විට රෝහලේ සිදු කරගත නොහැකි පරීක්ෂණ පිටින් සිදු කරන්නට වෙන විට , ඒවාට මුදල් නැතිව ලතවෙන රෝගීන්ගේ අසරණ මුහුණු දකිද්දී අපි අපේ ළඟ තිබෙන සුළු මුදල එකතු කර ඔවුන්ට අවශ්‍ය පරීක්ෂණ ලබාදෙන්නේ අහවල් දෙයක් දිනාගන්න නොවේ !

සමහරෙක් හිතන්න පූළුවන් වෛද්‍යවරු වුනේ ඒකට නේද කියලා. ඔව් මේ අපේ රැකියාව , නමුත් අපේ සේවය අන් හැමටම වඩා බාරදූර්‍ය තීරණාත්මක රැකියාවක් වෙන්නේ ඇයි ? අපි මිනිසුන් ජීවත් කරවන නිසා. මැරෙන්න පණ අදිමින් පැමිණෙන රෝගියෙක් බොහෝ කරදර විඳ ගොඩ ගත් පසු ඔවුන් ගේ සැනසිලි මුහුණ බලමින් ඔවුන් පිං දෙමින් කියවන කියවිල්ල ඇසුවොත් ඕනෑම කෙනෙකුට තේරේවි වෛද්‍යවරයකුගේ සේවය කුමක්ද කියා. සරසවි ඇදුරන් වර්ජනය කලාට ජීවිත නැතිවෙන්නේ නැත, නමුත් වෛද්‍යවරුන් නොමැති කල ජීවිත නැතිවේ.

බෑග් උස්සාගෙන යෑමට සිදු වීම.

මාතෘ ගැබිණි වාට්ටු වල සේවය කරද්දී අනිවාර්‍යයෙන්ම අපි කාර් යක්ෂම විය යුතුයි. සුළු ප්‍රමාදය හෝ දැඩි අනතුරු දායක තත්වයන් ඇති වීමට බලපානවා.
එදින මා  රාත්‍රී වැඩ කළ දිනයකි, රාත්‍රී වැඩ බලන වෛද්‍යවරයා හට වාට්ටුවේ කාමරයක් තිබේ. ඒ ඕනෑම හදිසියකදී ඉක්මනින් ඒ අවස්ථාවට පැමිණීමටයි. ප්‍රසව හා නාරි වේද වාට්ටු කිහිපයක් ඇති අප මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනා ගණන 200 ඉක්මවයි. එදින ඉතා වෙහෙසකර දිනක් වූවාය. දරුවන් බිහි කරන්නට විළිරුදාවෙන් සිටි මවුවරුන් කිහිප දෙනෙකූම රාත්‍රී 12 වෙන විට තම වේදනා සැහැල්ලු කරගනිමින් දරුවන් නිරුපද්‍රිතව බිහි කර සිටියෙන් , කැපුම් තුවාල වලට අප මැහුම් දමා අවසන් කරන තෙක් වේදනාවෙන් මිරිකෙමින් සිටියෝය. දරුවෙක් බිහි කරනවා යනු මොනතරම් වේදනා කන්දක්ද ! සියල්ල නිම කර සටහන් කර මා නැවත වාට්ටුවේ අපේ ඔන් කෝල් කාමරයට පැමිණ යන්තම් ඇහැ පියවගත්තා පමණි. ඈත ප්‍රාදේශීය රෝහලකින් අප වෙත ට්‍රාන්සර් එකක් එවා තිබිනි.

ඒ 18 වියැති අම්මා කෙනෙක්. ඇගේ කුසේ දරුවාට සති 36 යි. වේලාව පාන්දර 3 පසුවූවා පමණි. ප්‍රසව වේදනා තිබෙන බවක් පවසයි. එවෙලේම ඇයට එම ප්‍රසව කැක්කුම් නැති කරන්නට , බෙහෙත් පෙත්තක් දිය යුතුවේ. මා මේසය අසල සිට ඇයගේ විස්තර සටහන් කරගෙන පරීක්ෂාකර බැලූවිට , තවම දරුවා බිහි වෙන්නට තරම් ගැබ් ගෙල වෙනස්කම් නැති බවද , එවැනි කැක්කුම් සහ දරුවාගේ හර්ද ස්පන්දනය මැන බැලෙන දත්ත සටහන් යන්ත්‍රයේන් එලියට ආ කොළයේ අනතුරු දායක තත්වයක් නැති බවද දුටුවාය.
අවුරුදු 18 වියැති මේ පොඩි අම්මා, පළමු දරුවා නිසා ගර්බනී කාලය අවසානයේ එන බොරු කැක්කුම් නිසා මෙලෙස කලබල වී ඇති සැටියකි. එවෙලේම අපි ඇයට අවශ්‍ය පෙති සියල්ල දුන්නෙමු. අම්මා එවිට වතුර බෝතලයක් ගෙන ආවේ නැති බව කියයි.

ඒ අසලම ඇති පළමු ඇඳේ සිටි අම්මා, අපි ඇයට නාලිනි කියමු. වකුගඩූ රෝගයෙන් මෙන්ම දියවැඩියාවෙන් පෙළෙන්නියක් නිසා ඇගේ 32 වැනි සතියේ සිටම අප රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. දියවැඩියා තත්වය පාලනය කරගත නොහැකි තරමට ඇගේ වකුගඩු රෝගී තත්වයද අසාධ්‍ය වී ඇත. අධික රුධිර පීඩනයෙන්ද ඈ පෙළේ. මූත්‍රා වල ඇල්බියුමින් + + + ය, එනම් ඉතා ඉහළ අගයක් ගනී, මෙය ගර්බනී සමයේදී නම් සූවදායක දෙයක් නොවේ. ඇගේ කුස තුල සිටින දරුවා හරි හැටි මෝරා වැඩී නැත(IUGR). අප මහ රෝහලේ අඩු බර නොමේරූ ළදරු ඒකකයේ ඇඳන් මේ වන විට පිරී ඇති නිසා ඇය දරුවා ප්‍රසූත කරන කාලය වන විට අනිවාර්‍යයෙන් , එම පහසූකම ඇති රෝහලකට යැවිය යුතුමය.
වතුර ඉල්ලන්නේ කාගෙන්දැයි අර 18 වියැති අම්මා ඔබ මොබ බලයි. හයියෙන් කතා කරන නිසා වාට්ටුවම දෝංකාර දෙයි. නාලිනී නින්දෙන් මිදී ඇස් ඇරගෙන අප දිහා බලාගෙන සිටිනු දුටු දැන් මේ මහ පාන්දර පැමිණි 18 වියැති අම්මා, නාලිනී වෙත ගොස් ඇයගෙන් වතුර ඉල්ලයි. මම දත්ත සටහන් කරමින් සිටිමින්ම ඔවුන් දිහා බලාගෙන සිටියෙමි. නාලිනී අම්මා ඔහේ බලාගත්තු අත බලාගෙන සිටී. කිසිදු හැල හොල්මනක් නැත. මමද හෙදියද නැගිට ඇඳ වෙත දිව්වෙමු.

නාලිනි නාලිනි... මම කෑ ගැසුවෙමි. හුස්ම ගනී, පුදුමයෙන් බලා සිටී. හෙදියක් වතුර ගෙන ඇගේ මුහුණ පිස දමයි. "ෂුගර් චෙක් කරන්න " තව කෙනෙක් සීනි චෙක් කරයි.
" ඩොක්ටර් 53 "
"50 %ඩෙක්ස්ට්‍රෝස්...ස්ටැට්" එවෙලෙම අපි රුධිරනාලිකා හරහා සීනි සහිත ද්‍රාවණය ශරීරගත කළෙමු.. මිනිත්තු 2, 3 යද්දී දෑස් පොඩි කරමින් නින්දෙන් ඇහැරුනාක් මෙන් අම්මා අප දෙස බලා " ඇයි මිස් මොකද උනේ" අසයි.  මිඩ් වයිෆ් මිස් පැමිණ කුස තුල දරුවාගේ හර්ද ස්පන්දනය මනින්නට බලයි. "ඇහෙන්නේ නෑ ඩොක්ටර්"
"මයි ගෝඩ්. ඉක්මනින් සී ටී ජී ගන්න"

ඒ අතර දුටුවේ බෙහෙත් පෙති අතේ තියන් ඉන්න 18 වියැති අම්මා වතුර කෝප්පයත් අතැතිව අප දෙස බලාගෙනම සිටී.. " ඒ අස්සේ මෙයා මොනවා කරගන්නද බොන්නයි කීව්වේ බෙහෙත්, ඊට පස්සෙ නිදා ගන්න

"  ඇය කඩි මුඩියේ බෙහෙත් ටික බොයි කූඩයත් අරගෙන ඇගේ ඇඳ වෙත යයි.
දැන් තියෙන්නේ ජේෂ්ඨ වෛද්‍යවරියට දන්වන එකයි. දුරකථනයෙන් ඇයට කතාකර සියලු විස්තර දන්වා, ළදරු ඒකකය වෙත කතා කර ඇඳන් නොමැති බවද සපත කරගත්තෙමි. ඉක්මනින් දරුවා ප්‍රසූත කළ යුතුය. හර්ද ස්පන්දනය අඩු වෙමින් වැඩි වෙමින් පවතී. ගත කරන්නට කාලයක් නොමැතිය. වහාම පැය භාගයක දුරින් තිබෙන අනෙක් රෝහලට ඇය යැවිය යුතුය. ජේෂ්ඨ වෛද්‍යවරියත් මමත්, හදිසියේ ෆෝම් සියල්ල් පුරවමින් අම්මාගේ බෑග් ලැහස්තිකරන සුළු සේවකයින්ට ඉක්මන් කරන්න යැයි කීවෙමු. අපට තිබෙන හදිසිය ඔවුන්ට නැත.
ඇම්බියූලන්ස් එකක් ලෑස්ති කරගන්න කිහිප විටක් කියා බැරි තැන තර්ජනය කරන්නටද සිදු විය. " දැන් මේ අම්මට හරි බබාට හරි මොකක් හරි උනොත් වගකියන්න ඕනේ ඔහෙලායි" ඔවුන් සමග යකා තදවී කෑ ගසා ගනිමින්. ට්‍රොලිය මත වම් ඇලයට හරවා නිදි කෙරූ අම්මා අරගෙන ප්‍රෙෂර් මීටර් සීනි පරීක්ෂා කරන ග්ලූකෝ මීටර් සියල්ල රැගෙන මමත් හෙදියත් යන්නට යත්ම මා දුටුවේ අර අම්මාගේ කකුල් හරියේම පටවා තිබූ ඇගේ ඇඳුම් බෑග් එකය. හෙදිය අතේ උපකරන සියල්ල ය. සුළු සේවකයින් දෙදෙනා ට්‍රොලිය තල්ලු කරයි. තව කවූරුත්නැද්ද ඔබ මොබ බැලිමි කවුරුත් නැත. මා එම බෑගය අතට ගතිමී. හා හා ඉක්මනට.. කෑ ගසමින් අම්මාව රැගත් ට්‍රොලිය රැගෙන ඇම්බියුලන්ස් එකට දීව්වෙමු.
නිරුපද්‍රිතව අම්මත් ඇගේ කුස තුල තිබෙන බබත් අනෙක් රෝහල වෙත ගෙන ගියෙමු. ඒ අම්මාට එවෙලේම හදිසි සිසේරියන් සැත්කමක් කර දරුවා බිහි කරන ලදී. මවගේ තත්වය කෙමෙන් කෙමෙන් යතා තත්වයට පත් විනි.

අපි නැවත බොහෝ හෝන්දු මාන්දු වී, වාට්ටුවට පැමිණියෙමු. ජේෂ්ඨ වෛද්‍යවරිය මා පැමිණෙත්ම රකුසු මුහුණක් මවාගෙන බැන වැදිනි.

"මං දැක්කා කරපු හපන්කම. පේෂන්ට් ගේ බෑග් උස්සගෙන ගියේ මොකටද ? ඒකට තමයි මයිනර් ස්ටාෆ් අය ඉන්නේ, මම කෑ ගහද්දිත් දුවලා ඉවරයි. තමන්ගේ තත්වෙ තියා ගන්න."  ඇය කියන කතාව යම් දුරකට ඇත්තය.
මොන තරම් අසාධ්‍ය කලබල තත්වයකදී උනත් අපි අපේ යුතු අයුතුකම් බලන්නේ නැතුව වැඩ කරන්නෙමු.
නමුත් එලෙස මට කෑ ගහපු ජේෂ්ඨ වෛද්‍යවරියත්, එවැනිම හදිසි අවස්ථාවක සුළු සේවකයන් ඇති පමණ නොසිටි අවස්ථාවක ට්‍රොලියක් තල්ලු කරගෙන හෙදියන් හා ශල්‍යාගාරය වෙත දිව ගියාය. ඇයට දැන් ඒවා මතක නැත. ඒ අපේ හැටි ය. හදිසි අවස්ථාවක අපිටනම් නොදන්නා පුද්ගලයාගේ පණ කෙන්ද රකිනවා ඇරෙන්නට වෙන කිසි දෙයක් මතකයට එන්නේම නැත.

ශල්‍යාගාරයේ රෝගියෙකු ඇඳකින් ට්‍රොලියකට මාරු කරන්නට උනත් කිසීවෙක් නැතිනම් අපි පැමිණ උදව් වන්නෙමු. හදිසි ප්‍රතිකාර දෙමින් ට්‍රොලී තල්ලු කරමින් අපි හරි හරියට වැඩ කරන්නෙමු. යුද්ධ ඇති කාලයේ අප ජීවිත ගැනවත් නොසිතා, ඈත පිහිටි වෛද්‍ය කඳවුරු වෙත ගොස් අවම පහසූකම් යටතේ සේවය කර පැමිණෙන්නෙමු. අපේ රටේ බහුතරයක් ඒ වෙනුවට දකින්නේ නුගුණය, දොස් ය. ඇතැම් විට රෝගීන්ම දරුණු ලෙස සියල්ලන්ටම බැනවදී , නමුත් ඔවුන්ගේ ජීවිත බේරුනු පසු අපි හමුවේ වැඳ වැටේ. කෙතරම් දොස් ඇසුවත් අපි අපේ සේවය ඉහළින්ම කරන්නෙමු. ඒ අපේ සිත් එලෙස සකස් වී තිබෙන නිසා ය.

Thursday, October 6, 2011

වෙන්කටේෂ් නැවතත් ළිඳට පැන්නේය....

වැඩ වැඩිවෙනවත් එක්කම වෙහෙසත් එක්ක හිතේ කලබලයත් වැඩී උනා. Stress, depression... ඔය වගේ ඒවට සාත්තු කරන අපිටත් ඒක අඩු වැඩියෙන් එන එක පුදුමයක් නොවේ කියලත් හිතුනා... නෙට් එන්න බැරි උනා. නෙට් එන්න ඕනෑකමක් ආවත් නිතර විදුලි කප්පාදුව නිසා අපට ඕනෑ වෙලාවට එන්න පුළුවන් කමක් තිබුනෙම නෑ. ලියන්නවත් බැරි තරම් හිත වෙහෙස වුනා. සේරම උනේ අපේ ඒකකයේ වෛද්‍යවරු කිහිපදෙනෙක් මාසයක සම්මන්ත්‍රණ සහ වැඩමුළුවකට පිටරට ගිය නිසා.
ඒ අතර තුර එක්තරා රාත්‍රීයකදී අප වාට්ටුවට දූරකථන ඇමතුමක් ආවා.

"ඩොක්ටර් අවුට් කෝල් එකක් "

නාද වෙන හඬින්ම කෝල් එකේ වගතුග කියන්න පුළුවන් මිස් එහෙම කියනවත් එක්කම මම අනිත් පසින් රිසීවරය ගත්තා.
" අනේ ඩොක්ටර් පුතාට ෆිට් එක හැදිලා වැටුනා කීප ගමනක්. තුවාලත් උනා මොකද කරන්නේ මම වෙන්කටේෂ් ගේ අම්මා" හඬමින් කතා කළ වෙන්කටේෂ් ගේ අම්මා ට මා පැවසුවේ හැකි ඉක්මනින් ඔහුව රෝහල් ගත කරන ලෙසයි.

වලිප්පුව නමින් හඳුන්වන epilepsy යන රෝගී තත්වය සමගම යන මානසික රෝග තත්වයද ඇති මේ තරුණයා මට මුලින්ම මුණ ගැසුනේ "ඇඟ කසනවා " යැයි හඬමින් පැමිණ අප කායික රෝග වාට්ටුවේ ප්‍රතිකාර ගත් නිසාය. දිගින් දීගටම එසේ පැමිණෙන ඔහුගේ  නිතර හැදෙන ෆිට් එක හෙවත් වලිප්පුවටද අවශ්‍ය ප්‍රතිකර්ම කරන අතරවාරයේ මානසික තත්වයේ දුර්වලතා තිබෙන බව හඳුනා ගත් අපි ඔහු මානසික සායනය වෙත යොමූ කළෙමු.

මට නැවත ඔහු මුණ ගැහෙන්නේ මානසික රෝග ඒකකයේ වැඩ බලන්නට සිදු වූ කාලයේය.
හොඳටම කලබල වී හඬමින්ද කියවමින් ද සිටි ඔහු අප වෙත ගෙන ආවේ පොලිසියයි. අඩි 6 උස , ඉතා පැහැපත් සමක් ඇති ප්‍රියමනාප සිනහවක් ඇති 29 හැවිරිදි මේ තරුණයා දුටු විට සීහිවෙන්නේ උතුරු ඉන්දියානු නළුවෙකි. ඒතරම් ඔහු කඩවසම්‍ ය.

"මේ මොකද  වෙන්කටේෂ් ?" මම ඇසුවෙමි.

"වඳින්නම් ඩොක්ටර් මට ගෙදර යන්න බෑ . මම ගෙදර හිටියොත් මාව මිනී මරුවෙක් කරන්න තමයි. "

කුඩා කළ සිට අවුරුදු විසි ගණනක් වෙනතුරු ඔවූන් හැදී වැඩුනේ කඳුරට වතු ආශ්‍රිත ප්‍රදේශයකය. එහෙයින් සිංහල කතා කරයි. ඔහුට සිටින්නේ අක්කා කෙනෙකු පමණයි. සා පෙළ කර අවසානයේ ඔහු ඒ ප්‍රදේශයේ ප්‍රසිද්ධ සිංහල දේශපාලකතුමෙකුගේ ගෙදර සේවය කර ඇත. යුද්ධය නිමවී නැවත ඉඩම් ලැබීම හේතුවෙන් ඔවූන් මේ කොණ පදිංචියට පැමිණ තිබේ. අක්කාගේ මහත්තයා හෙවත් තම මස්සිනා විසින් නිතර පහරදීම් සහ කායික වදහිංසා වලට ලක් කිරීම හේතුවෙන් හේ දැඩි මානසික අසහනයකින් පෙලෙන බව කියයි.
තම සොයුරියට පවා නොසලකන ඒ මනුස්සයා කෙසේ හෝ මරණ බවට සපත කරයි. නිතර දිවි නසා ගැනීමට තැත් කර තිබුනු ඔහු, ළිඳට පැනීම, ගෙල වැල ලා ගැනීම හෝ වැවට දිව යෑම බොහෝ විට කළත් ඔහූගේ වෑයම සාර්ථක නොවූයේ කවුරු හරී හැම විටම ඔහු ගැන විමසිලිමත්ව සිටිය නිසාය.
එවර ඔහු වැඩි කාලයක් සිටියේ රෝහලේය. අක්කා සහ අම්මා නිතර පැමිණ ඉහ අත් බදාගෙන වැලපෙයි. මෙතරම් ප්‍රියමනාප හොඳ තරුණයෙකුට මෙසේ වීම ඉතා දුක්බරය. ඔහුගේ අක්කාගෙන් පසුගිය විස්තර විමසන කල පැවසුවේ...

"මම මහත්තයගෙන් වෙන්වෙලා ආවේ. මගේ මල්ලිට , මගේ පවුලට ඒ මිනිහා දුන්නෙ දුකම විතරයි. මල්ලිට අපි කසාද හොයනවා. ගෑණු ළමයින්ගේ පවුල් වලින් ඉක්මනින් කැමති වෙනවා. ඒත් මල්ලි ගිහින් ඒ අයට කියනවා එයාට මානසික අසනීපයක් තියෙනවා එනිසා ඒකත් එක්ක එයා එක්ක ඉන්න කැමති නම් විතරක් බඳින්න කියලා, ඉතින් ඒ අය කැමති වෙන්නේ නෑ"

"ඒ මොකද වෙන්කටේෂ්..." මම දිනක් විමසුවෙමී.

"එයාලා පව්නෙ ඩොක්ටර් අපේ ගෙදර අය මං ගැන ඇත්ත කියන්නේ නැතුව බන්දලා දෙන්න යන්නේ. ඒ ළමයා මට ලෙඩ කියලා දන්නේ නැතුව මාව බැන්දොත් පවුනේ ඩොක්ටර්"
දහස් ගණන් රැවටිලි කාරයන්. බොරු බේගල් කාරයන් සිටින මේ මහ පොළව උඩ හේ සත්‍යවාදීව කල් ගෙවයි. ඒ නිසාම දූක් විඳී.

"මට රස්සාවක් හොයලා දෙන්න පිං සිද්ධ වෙයි. මම අම්මයි අක්කයි බලාගෙන ඉන්නම්" ඔහුගේ මව සහ අක්කා මුළු පවුලම නඩත්තු කරන්නේ කුලී වැඩ කිරීමෙනි.
මීට පෙර කවරෙකු හෝ රස්සාවක් සොයා දෙන විට ඔහු ගේ ඇත්ත කියන්නට යෑම නිසා ඔහුට රැකියාව අහිමි වෙයි. හැම දේටම හරස් වන්නේ ඔහුගේ මානසික රෝගී තත්වයයි.

ඔහොම රෝහලේ ඉන්න එක දිනක් පාන්දර අපි වාට්ටූවට ගිය විට ඔහු පැමිණ මගේ පය පාමුල වැඳ වැටිනී.

"මේ මොකද මේ "

 "ඩොක්ටර් මම හැම එකෙක්ම මරලා මාත් මැරෙනවා "

හැමදාම කියන දේ නිසා අපි සුපුරුදු පරිදි ඔහුව අස්වසමින් කතා කළෙමු. ඒ අතර හෙද සොයුරන් හා සුළු සේවකයන් රෝගී වාට්ටුවේ ඔහුගේ ඇඳ සහ කබඩ් පරීක්ෂා කිරීමට යුහුසුළු විය. සිතුවා නිවැරදිය. මෙට්ටය යට තිබුනේ කඩු ආකාරයෙන් කැඩී ගිය වීදුරු කැබලි ගොඩකි. ඔහුට බොහෝ සේ අවවාද කර අප පැවසුවේ ඔහුව ජීවත් කරන්න අපිට උදව් වෙන්න කියාය.

එවැනි දිවි නසා ගන්න සිතුවිලි තිබෙන රෝගීන් ගැන වාට්ටුවේ සැවොම දැඩි විමසිලිමත් බාවයෙන් සිටිති. ආයෙත් දිනක වෙන්කටේෂ් ඇඳේ නොසිටි නිසා විමසිලිමත් වූ අප දුටුවේ ඇඳේ එළා තිබූ රෙද්දෙන් ගෙල වැලලා මියයන්නට තැත් කරමින් වැසිකිලියක ඔහු සීටි බවයි.
නමුත් වාසනාවකට කිසිවක් සිදු නොවිනි. අන්තිමේ මහ රෝහල වෙත සීටී ස්කෑන් සහ EEG වැනි පරීක්ෂණ සඳහාද යොමු කළ ඔහු උපදේශන කණ්ඩායමේ සහ වෛද්‍යවරුන් වන අපේ උපදේශනය සහ ඖෂධ මගින් ටීකෙන් ටික සුවය ලබමින් සිටියාය.
ගෙදර යන්නට හැකි තරමට සුව වූ ඔහු යන දවසේ අපේ සහ හෙදි සොයුරු සොයුරියන්ගේ දෙපා මුල වැඳ වැටිනි.
අඩි 6 පමණ උස මේ දේහ දාරී තරුණයා අප දෙපා මුල වැඳ වැටෙමින් පැවසුවේ "මගේ ජීවිතෙන් මම ඔයාලට ණය ගැතියි. මාව බේරගත්තට " කියාය. "තෙරුවන් සරණයි ගිහින් හොඳින් ඉන්න" අපි ද ඔහුට සුභ පැතුවෙමු.

නමුත් එසේ ගිය ඔහූ සතියක් පාසා අප හමුවට පැමිණ වාර්ථා කරන්නට සැලසුමක් ක්‍රියාත්මක කෙරිනි. එහෙව් සති කිහිපයකින් පසුය අර මා පෙර කියූ දුරකථන ඇමතුම පැමීණියේ.
ඉක්මනීන් රෝහල් ගත කළ ඔහු වලිප්පුව සඳහා දී තිබූ බෙහෙත් වඩි දින දෙක තුනක්ක් පාව්විච්චි නොකළ බවත්, මානසික රෝග ඖෂධ සියල්ල වීසි කළ බවත් අප දැන ගත්තේ මවගෙනි. එදින උදෑසන ඔහුගේ මාමා සමග බහින් බස් වූ ඔහු ළිඳට පැන දිවි නසා ගන්නට තැත් කර ඇත.

"අපි ආයෙත් හිටපූ තැනමයි !" අපිට සිතුනා.බොහෝ රෝගීන් සම්බන්දයෙන් මේ තත්වය මෙසේයි. ඔවුන් රෝහල් ගත වී සිටිද්දී නිවැරදි ලෙස බෙහෙත් ලැබීම සහ උපදේශනය , සාමකාමී වටපිටාව යන දේවල් හේතුවෙන් ඔවුන් ට හොඳින් සුව වේ. නමුත් ගෙවල් වලට ගිය විගස ආයෙත් සීයලු රෝග උත්සන්න වේ. ගෙවල් වල දී රණ්ඩු සරුවල් සහ මානසික පීඩනය වැඩියැයි මට සිතේ.

"වෙන්කටේෂ් ඇයි මෙහෙම කරගත්තේ. අපිට පොරොන්දු වෙලා ගියේ හොඳට ඉන්නවා කියලා නේද "
ඔහුගේ සූපුරුදු සිනහව මුහුණ මත ඇඳේ...

" ඔව් ඩොක්ටර්. මම හොඳට හිටියා බෙහෙත් බිව්වා. අහල පහල අය මම මිදුලේ ඉන්නකොටත් විහිළු කරනවා වෙරි වගේ මොකද කියලා. මේ බෙහෙත් වලට ටිකක් නිදිමත එනවනේ. මාමා ඇවිත් අම්මලට කිව්වා එහෙ උත්සවයක් තියෙනවා එන්න කියලා. මමත් එන්න හැදුවම ... මෙයා ලෙඩා මෙයා ඇවිත් එහෙ මොනවා කරයිද දන්නේ නෑ , එක්ක එන්න එපා කිව්වා.... මට දුක හිතුනා. මං නිසානේ අම්මටත් අක්කටත් කරදර නෑදෑයින් මෙහෙම කියන්නේ. ඒ හිංදා මං ළිඳට පැන්නා ...."

Wednesday, October 5, 2011

නුඹ මට ජීවිතය ඉගැන්නුවා....වෙද සිතක වත්කම

මේකලා ගමගේ...
ඔබේ ගී හඬ හිත නිවන
හද තවන මහා වැස්සක් වගේ ඇවිත්
මගේ හදවත සැනසුවා.


ඔබ අන්ධ යුවතියක් බව සඳහන් ඔබේ ජීවිත කතාව කියවූ විට මට මහත් කණගාටුවක් සහ දුකක් ඇති වුනා. (ඒක කියෙව්වේත් මේ ගීතය ඇසුවේත් යහළුවෙක් විසින් එවූ මේ අඩවියේ තිබුනු ලින්ක් එකෙන්.)
ඒ ඇස් හිස් මොළ යහතින් ඇති ඇතැමුන් ජිවිතයේ සියුම් සත්‍යය වටහා ගන්නේ නැතිව සදාකාලික ජීවත් වෙන්නන් ලෙස මුදල් හරි හම්බ කරමින් මිනිස්කම තලා පෙලා දමන අයුරු දුටූ විටයි.

යනෙන හැම තැන හමුවෙන රෝගින් නිසා
අවුරුදු ගණනක් මිඩංගු කර ඉගෙන ගත් මහා විෂය
නුඹේ පණ කෙන්ද රකින බව මට දැනුනා
දැනුනු ඒ හැඟීම විස්තර කරන්නට
වචන සොයනෙමි තවම මම

සම්පූර්ණයෙන් සූවවී ගෙදර යන විට
අප පය පාමුල වැඳ වැටෙන ඔබ
අපිට දේවත්වයෙන් පුදන විට....
දෑස් මුලට කඳුලක් එකතු වුනා හැමවිටම
ජීවිතය මට ඉගැන්වූ පිනම ඇති නේද
නුඹලාට නිරෝගිව කල් ගෙවන්නට...
මගේ හදවත පතුලේ මහා ලොකු බරක් අත හැර
ඇස් පෙනෙන මගේ ඇස් දෙකේ වටිනාකම මට පසක් කළ
මේකලා ගමගේ මෙන්ම රෝහල් වාට්ටු වල හමුවූ දෑස් අඳ සැවොම වෙත,
ජීවිතය මට තේරුම් කරන මට හැම දාම මුණ ගැහෙන
 දහසක් රෝගීන් හට මාගේ හද බැති ස්තූතිය හිමි වෙනවා
අපමණ බාධක කරදර මැද උනත් මෙකොණ
මා කරනා සේවය මට මහ මෙරක් වගේ
ඒ මගේ හිත කළ සේවයෙන් ලැබූ සතුටින් පිරී ඉතිරී ඇති නිසාය
.
ඒ... මට මේ ජීවිතයේ අරමුණ හා වටිනාකම පසක් කළ ගුරුවරුන් ඔවුන්ම වන නිසාවෙනි...

නොදන්නා කෙනෙකු නොව දහස් ගණනක් වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම සේවය කරලා. යන්න පූළුවන් දුවන්න පුලුවන් ඉදිරි සැතපුම් ගණනත් දුවලා. (running that extra mile ) අන්තිමට තමන්ගේ තරමට ප්‍රමාණයට වැඩ කරන්න කියලා ජේෂ්ඨයින්ගෙන් බැනුම් අහන අපි වගේ පොඩි වෛද්‍යවරුන්ට නම් ... අපේ සේවය බලාපොරොත්තුවෙන් අප වෙත එන කෙනා මගේ අම්මා වගේම අම්මෙක්. මගේ අප්පච්චී වගේම අප්පච්චියෙක්. මගේ නංගී අක්කා, අයියා මල්ලී වගේම අක්කෙක් නංගියෙක් අයියෙක් , මල්ලියෙක්.
එහෙම නොහිතන අධමයින්ට හිතෙන් සාප කෙරූ වාර අනන්තයි.
මේක රස්සාවක් නොවේ සේවයක් ! හැම තිස්සෙම අපි පත්වීම් ගන්න දවසේ ජේෂ්ඨ වෛද්‍යවරු අපට කියූදෑ මට මතක් වේ.

Tuesday, September 27, 2011

ආපසු හැරෙන්නට නොහැකිය. ...gender based violence !

 ජීවිත් විය නොහැක,  එහෙත් ජීවිතය අත් හැරිය නොහැකිය
ආපසු හැරෙන්නට නොහැකිය, දිවි නසා ගන්නටද නොහැකිය..

මේ ලිපිය ලියන්නට පෙළඹුවේ පසුගිය කාලයේ මගේ හිතට වද දුන් එක්තරා ඛේදජනක සිදුවීම් පෙළක් නිසාය.

1.මගේ හොඳම මිතුරියක් සිටියාය. ඇය මේ කාලය වන විට නව මසැති ගැබිණියකි. මට කතා කර විමසුවේ ඇය සමග දොස්තර ළඟට යා හැකිද කියාය.
මේ වන විට ඇයට අවුරුදු 2 දුවක සිටින අතර ඇගේ සැමියා සිටියේ වෙනතකය. එනම් අන් ගැහැණියක හා හාද වී ඇගේ ඇසුර පතා ඔහු ඇය අත හැර ගොස් සිටීයේ ඇය සිටි තත්වය හෝ සැලකිල්ලට නොගනිමිනි.

අමාරුවෙන් රථය පදවාගෙන පැමිණි ඈ ඉන් එළියට බැස බඩත් උස්සාගෙන පැමිණියේ අමාරුවෙනි. කැම්පස් යන කාලේ හාද වූ මේ දෙදෙනා අතර මෙතරම් විරසක වීම් සිදු වූයේ කෙසේදැයි පුදුමයකි.
"මම ඒ මිනිහට ඕනෙ මගුලක් කරගන්න කියලා ඩිවෝස් එක දෙනවා" ඇය කතා කලේ පුදුමාකාර වූ කළකිරීමකි.
ආදරයක් නැතැයි ද, දැනෙන්නේ නැතැයි ද, ආලය හීන වී ගොස් ඇතැයි ද ඔහු නොයෙක් වර පවසා ඇත.

පෙරදින ආලයෙන් මුසපත්ව නොයෙක් බස් තෙපලූ, පෝරු මස්තකයේ විවාපත් වී වසර 5 ඉක්මගිය තැන වෙන කතකගේ පහස සොයන් තම දෙ හැවිරිදි දරුවාත් ගැබිනි බිරින්දෑත් අතරමං කරන මිනිස් සිතක අරුමය විමසමින් මගේ යෙහෙළිය ලතවේ. බොහෝ වෙහෙසකර ඈගේ දෑස් වල හඬන්නට කඳුලක් නොමැති තරම් ය. පොදුවේ පිරිමි සංහතිය වෙතම ද්වේශයක් මගේ සිතෙහි ජනිත වේ.

පසුගිය දිනක නැවත ඇය කතා කරේ දහවල් එකට පමණය. "මම පාලිමන්ට් රෝඩ් එකේ එද්දි ඩ්‍රිබ්ලින් ඒපාර වාහනේ නවත්තලා ත්‍රීවිල් එකක කාසල් එකට ආවා. පුළුවන්නම් මට සුප් එකක් අරගෙන එන්න"  ගැබිණි ඈ තම දෙහැවීරිදි දරුවා සමග තනියම කාර් එක එළාවගෙන යන අතරේ ඇයට ප්‍රසව වේදනා දැනී ඇත.ඇය දරුවා ප්‍රසූත කළේත් අන් කටයුතු කරගත්තේත් රෝහලේ යහළුවන් දෙමාපියන් ගේ උදව් උපකාර සහ සෙනෙහස මධ්‍යයේය. අර අධමයා පැමිණියේම  නැත.


මට සුමිත්‍රා පීරිස් ලියූ "අග පිපි මල්" නවකථාව සීහි වේ.එහි එක් තැනක අමා මෙසේ සිතයි...


"අතිශය සුන්දර වූ යෞවනයක මිහිරී මතකය මුදා හැර වල්මත් වන්නට තරම් අසිතගේ සිත දැඩි වූයේ ඇයි දැයි ඇයට වටහා ගත නොහැකි විය. මුනිවත රැකීමෙන් ආරම්භ වූ අසිතගේ පරිවර්තනය, නොරිස්සුම , කෑ මොර ගෑම දක්වා වර්ධනය වන විට තමා උගත් සියලු දේ අමතක කර දමමින් පිළියම් සොයමින් උස් පහත් සියලුම තැන් වන්දනා කළ ආකාරය ඇයට සිහිපත් විය. සෙත් ශාන්ති, යැදුම් වැඳුම් කිසිවක් පල නොදී අසිත තව තවත් දැඩි වී දින ගණන් නිවසට නොපැමිණෙන්නට වූ කල හැඬුම , වේදනාව මිස අන් කිසිවක් තමාට දිරියක් වශයෙන් ශේෂ නොවීය. එහෙත් අසිත සඟවා ගත්තේ බලහත් කාරයෙන් එසේ නැතහොත් යැදීමෙන් , හැඬීමෙන් යළී ලබා ගත හැකි දෙයක් නොවේ."  උපුටා ගැනීම... අග පිපි මල් නවකතාව

මගේ යෙහෙළිය මා ඉදිරියේ දිග හරින්නේද එවැනිම කතාන්දරයකි.

සංවර නොවූ සිතකට අයාලේ යන හිතකට තමන් කලින් විඳි සොඳුරු ගැහැණිය තනිකොට දමා විඳවන්නට දුක් වෙන්නට හැර දමා යා හැක්කේ කෙසේදැයි මට නොතේරේ. නමුත් පොදුවේ සෑම පිරිමියෙක්ම මේ වාගේ නොවන බව මම දනිමි.

2. මාලනී අම්මා (මෙය අනවර්ථ නාමයකි) අපේ වාට්ටුවට ඇතූලත් කරේ අධිකරණය මගින් දුන් නියෝගයකින්. ඇය මෙතෙක් ජීවත් වුනේ කොළඹ රැඳවුම් නිවාසයකයි. ඇයට මානසික රෝගයක් ඇති නිසා ඇගේ සැමියා ඇයව ඇයටත් නොදන්වා දික්කසාද කර තිබිනි. උසාවි නියෝගය මත ඇයව රෝහල් වාට්ටුවට එවා තිබුනේ උසාවියේ කලබල කර නිසාය.
"මහත්තයා නැතිව දරුවො නැතිව මේ වගේ දරුණු තීරණ විඳ දරා ගන්න වුනහම හොඳින් ඉන්න අයටත් පිස්සු හැදෙන්නෙ නැද්ද ?" ඇය අපෙන් විමසයි.

අවුරුදු 16 සහ 15 දරු දෙදෙනාද වැර වීර්‍යයෙන් ගොඩනගා ගත් නිවසද අත හැර හතලිස් අට හැවීරිදි වියේදී කාත් කවුරුවත් නැති අසරණියක් ලෙස ආණ්ඩුවේ රෝහලක සෙවන ලබමින් ජීවත් වේ. ටවුමට ගිය විට ඇය සිහිවී දිග හවුස්කෝට් ගවුම් කීප වර ගෙනැවිත් දූන්නෙමි. එවිට ඇයගේ නෙතු අගට කඳුළු එකතු වූ හැටි දුටිමි. හරී නම් ඇය බලා කියා ගන්න ඕනේ ඇගේ ස්වාමියා නොවේද ?

අග පිපි මල් හි අමා ද දරු දෙදෙනා සමග තනිවූවාය. නමුත් මේ අම්මා දරුවන්ද අහිමිව තනිවී මානසික රෝගී යන ලේබලයද අලවාගෙන අසරණව සිටී.  නඩූ වාර කිහීපයක් පසු විය ඇගේ ස්වාමියාද දරුවන්ද ඇය බලන්නටවත් පැමිණියේ නැත උසාවි පැමිණියේද නැත. එවර අපේ එක් වෛද්‍යවරයෙක් ඔවුන්ගේ ගෙදරටම ගොස් යුතුකම් වගකීම් මෙන්ම මනුස්සකමද ලුණු ඇඹුල් ඇතිව පවසා පැමිණියේය. එවිට ඊළඟ නඩුවාරයේදී ඔවුන් උසාවි පැමිණියෝය. නඩුකාර උන්නාන්සෙද මිනිස් ගුණධර්ම සහ සාරධර්ම ගැන හොඳ දේශනාවක් කලාලු නමුත් අර මිනිස්සුන්ගේ හිත්නම් වෙනස් වුනේ නැත. දරුවන් පසු පස දුවන අම්මාද අම්මාගේ අත ගසමින් වේගයෙන් ඇවිද යන දරුවන්ද සැමියාද දුටු විට ඇය උසාවි ගෙන ගිය අපේ හෙද සොයුරියට හැඬුම් ආ බවත් ඇයද ඔවුනට කිව යුතු දෑ කියා පැමිණි වගත් පැවසීය.


3.සෙල්වි, අප වාට්ටුවට ඇතුල් කරේ කතා බහ අඩුවීමද ඔහේ කල්පනා කිරීමද කෑම අරුචිය සහ නිදි මත නො ඒම යන කාරණා සමගය. ඇය සමග කතා බස් කරද්දී වැටහුනේ, ඇගේ සැමියාට දාව අන් කතකට දෙමස් වියැති දරුවෙක් ඇති බව ඇය දැන ගත්ත දා පටන් මේ අමාරු ඇති වූ වගය. ඇයටද දරුවන් දෙදෙනෙකි. සැමියා මේසන් බාස් කෙනෙකි. දැන් ඔහුට බිරින්දෑවරු දෙදෙනෙකි. සෙල්විට තනිව හීඳිනාවිට නොයෙක් සද්ධ සහ කතාබස් ඇසෙන බව කීවේ අද උදයේය. දැනට ලෝකයේ ජීවත් නොවන ආගමික නායකයින් පැමිණ ඈ සමග කතාවස් කරන බවත් සැමියා විසින් ඇයට දුන් දුක ටිකෙන් ටික එමගින් පහව යන වගත් කියයි. සෙල්විගේ සැමියා ඇය රෝහල් ගත කර බව අසා පැමිණ ඉහ අත් ගසාගෙන වැලපේ. ගැහැණු දෙදෙනෙකුගේ ජීවිත අඳුරේ හෙලන්න හැඟීම්වලට වහල් වූ මේ මිනිසාට හැකිවූයේ කෙලෙසද
ඉඳින් හුදෙක් ඉඳුරන් පිනවීමටම පමණක් ජීවත් වෙන්නන්ගෙන් මීට වඩා යමක් බලා පොරොත්තු විය හැකිද ?

ඒ එක්කම ටී. බී ඉලංගරත්නයන්ගේ මා සිත් ගත් පොතක් වන "තිලක හා තිලකා " පොතේ එන කොටසක් මතකයට නැගේ
........තමා එදා සිට බාරගත් වගකීම් ගැන තිලකට සිතුණේ ය. තිලකාට දුකක් නො වන සේ සිය ජීවිතය හැඩ ගස්වා ගන්නට හැකි වේ ද ? ඇගේ සිත  නො රිදෙන්නට, ඇයට සැප පහසුකම් සලසන්නට, දරු මල්ලන්ට තමාගේ යුතුකම් ඉටු කරන්නට ඔහුට හැකි වේද ? ..... පිටු අංක 14



4. බීමත් සැමියාගේ අඩම් තෙට්ටම් වලට ලක්වී අවසන ඔහු විසින් ගිනි තබා පුළුස්සා තිබූ දේවි ඇඟ පුරා පිළිස්සුම් තුවාල සහිතව කෙඳිරි ගාමින් ඉල්ලුවේ මැරෙන්නට පෙත්තක් දෙන්න කියාය. මුලදී සැමියා ඇය පීළිස්සූ බව කියූවද පසුව කල් ගත වෙද්දී තමාම ඇඟට ගිනි තියාගත් බව කීවාය. ඇගේ සැමියා රෝහලට පැමිණෙද්දී පවා බීමත්ව සිටි බවද නොයෙක් වර වාට්ටුවෙන් පිටතට එලවූ බවද වාට්ටු බාර හෙදියන් අප හා පැවසීය. දින 15 මුළුල්ලේ දුක් විඳි ඈ අවසන අවසන් සුසුම් හෙළුවේ පාසැල් යන කුඩා දරු තිදෙනෙකු අර බීමත් පියා වෙත තනි කරමිනි.

 ගැහැණුන් හට දුකක් නොදෙන අනූපම ප්‍රේමයෙන් බිරිය සහ දරුවන් රකින බෝසත් ගුණ ඇති මිනිසුන් සිටිති. එවැනි සොඳුරු මිනිසුන් විරලය. දිනපතා සැමියාගේ අඩම් තෙට්ටම් නිසා කායික මානසික අඩම් තෙට්ටම් නිසා රෝහල් ගත වන කාන්තාවන් බොහෝය. ඔවුන් වෙනුවෙන්ම මේ වන විට රෝහල මගින් gender based violence desk යනුවෙන් පැමිණිලි විශ්ලේෂණය කර උපදේශනය සහ අවැසි උපකාර ලබා දෙන පිළිවෙලක් සකස් කොට ඇත්තේද එහෙයිනි.

වරද ඇත්තේ කොතැනද මට නො තේරේ.

Wednesday, September 14, 2011

ස්ටෙත් එක අරන් රෝහලට ආ තරුණිය...

තමන් වෛද්‍යවරියක යැයි කියා ගන්නා, කොළඹ වෛද්‍ය පීඨයෙන් ඉගෙන ගත් බව කියූ ඉංග්‍රීසි හෝ සිංහල තියා වෛද්‍ය විද්‍යාවේ වචන කීපයක් හැරෙන්න මෙලෝ මගුලක් නොදන්නා තරුණියක් රෝහලට ස්ටෙතසයක් රැගෙන පැමිණ සති කිහිපයක් තිස්සේ , වෛද්‍යවරියක ලෙස රඟපෑමේ යෙදෙද්දී , වෛද්‍යවරුන් වන අපම ඇයව අල්ලා ගත් අන්දම පෙර ලිපියකින් විස්තර කළෙමි. නොකියවූ අයට ලින්ක් එක  මෙන්න !

"ඔබ වෛද්‍යවරියක් බව ඔප්පු කිරීමට හැඳුනුම්පතක් තිබේද ?" අපි ඇසුවෙමු.
එවැන්නක් නැතී බව ද ගෙදර ඇතී බවද  ඒ තබා ජාතික හැඳූනුම්පතව්වත් ඇය ළඟ නැති බව ඇය පවසයි. සියලූ කතා බහ දමිළ බසිනි.
එසේනම් අප ලොකු දොස්තර මහතා හමුවිමට අප සමග එනවාදැයි ඇගෙන් ඇසූ විට එයටද ඇය එකඟ වුනාය. ඇය ගේ මහා බර බෑග් එකත් රැගෙන අපි වෛද්‍ය අධිකාරී තුමා වෙත ගියෙමු, යන අතරතුර පහළ තට්ටුවේ පිහිටි හමුදා පිරිස් සිටි මේසය වෙතද මෙවැනි සැක කටයුතු කෙනෙක් රැගෙන අපි යන හෙයින් හදිස්සියක් වුනොතින් ඉක්මනින් පැමිණෙන ලෙස දැන්වූවෙමු.
"මේකේ බෝම්බ ද දන්නේ නෑ" අමාරුවෙන් ඇගේ බෑගය රැගෙන යමින් සිටි මගෙන් එය ඉල්ලාගත් අයියා පැවසුවේය.
කිසිදාක දැක නොමැති තරුණියක් වෛද්‍ය අධිකාරී තුමා වෙත රැගෙන යනවා මෙන්ම, ඇය පැන යා හැකි නිසා,  ඇගේ බෑගයද ඉල්ලාගෙන ඔසවාගෙන යමින් සීටී අප ගැන මට පුදුම සිතිනි. පසුගිය කාලයේ නම් මෙවැනි කෙනෙක් දුටු පමණින් කත බස් කිරීම පවා අසලටවත් නොගොස් බියෙන් තැති ගැනීමට පුරුදු වී සිටි අපටනම් දැන් එවැනි බියක් කිසි විටෙකත් නොදැනෙයි. ඒ අපේ ත්‍රිවිද හමුදා සහ පොලීසිය මේ පෙදෙස් එවැනි අඳුරු කාලයකින් මුදවාගෙන මෙහි වැසියන්ට මෙන්ම සේවය කරන අපගේද සිත් වලට සැනසීම ගෙන ආ හෙයිනි.

ඉරිදා මධ්‍යහනද පසුවී තිබිනි, සර් එනතුරු අපට ඇය සමග රැඳෙන්නට සිදු විනි. ඒ අතර තුර අපි දිගටම ප්‍රශ්ණ කරගෙන ගියෙමු. දන්නා හඳුනන හැමටම කෝල් කරමින් , ඇය සඳහන් කළ ඇගේ නමින් මේ අවුරුදු 10 ටම එවැනි සිසුවියක් කොළඹ හෝ යාපනය විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලැබ නොමැති බව සහතික කර ගත්තෙමු. ඒ බව ඇයට කියද්දී පවා ඇය පැවසුවේ, නෑ මම කොළඹ ෆැකල්ටි එකේමයි ඉගෙන ගත්තේ.  අහවල් ඉස්පිරිතාලේ ෆ්‍රී ඉන්ටර්ස් කරනවා, ෆාමටෝලොජික් නෝට් ඉල්ල ගැනීමට මෙහි ආවේ" කියමිනි. ( ඇය සඳහන් කල ෆ්‍රී ඉන්ටර්ස් යනු සීමාවාසික පත්වීම් ලැබෙන්න කලින් වෛද්‍යවරුන් හඳුන්වන නම ය pre - intern , ඇය ෆාමටොලොජික් කියා කීවේ අප pharmacology යනුවෙන් හඳුන්වන විෂය ය. ඇය මේ වචන කොහෙන් හෝ අසා කියවනා මිස දැනගෙන කියවන්නක් නොවන බව අපට වැටහිනි )

"හරි එහෙනම් අවසාන විභාගයට කරපු විෂයන් ටික කියන්නකෝ " අපේ කෙනෙක් විමසයි.

"බයෝ කෙමිස්ටි, මයික්‍රොබයොලොජි, ෆිසියොලොජි, ෆාමටොලොජික් " ඇය පැවසීය.

අප සියල්ලන්ටම මැයනම් කොහෙන් හෝ අසා දැන ගත් දෙයක් මිස කොළඹ තියා මොනම ෆැකල්ටියකවත් ඉගෙන ගෙන නොමැති බව වැටහිනි. අවසාන වසරේදී කරනු ලබන විෂයන් ඇය සඳහන් කළ ඒවා නොවේ. ඒ සියලු විෂයන් කරන්නේ පළමු වර්ෂ දෙක තුලදීය.

හරි කොළඹ ෆැකල්ටි එකේ අසවල් විෂය උගන්වන ප්‍රොෆෙසර්ගේ නම මොකද්ද?
තව කෙනෙක් ඇසුවේය. " සුසන්තිකා " ඇය පිළිතුරු දුන්නාය.
"කවුද සුසන්තිකා..... සුසන්තිකා ජයසිංහද ? " අයියා විමසුවේය.
"ඔව් ඔව් සුසන්තිකා ජයසිංහ" ඇය යුහුසුළුව පිළිතුරු දුන්නාය. ඇයට මද අස්වැසිල්ලක් දැනුනු බව මුහුණින් පෙනිනි. ඒ ඇය කියූ දෙය හරි ගියා යැයි ඇය සිතූ නිසාය. නමුත් අප නම් සිනහ නොවී සිටියේ ඉතා වැර වෑයමිනි.
"අනේ මම ගෙදර යන්න ඕනේ මම ඇත්ත කියන්නේ. මම ඩොක්ටර් කෙනෙක් තමයි. මේ මගේ ස්ටෙප් එක"
වෙද නළාව පෙන්වමින් ස්ටෙප් එක කියද්දිනම් අපිට සිනහව වලක්වාගත නොහැකි විය.

අප අසන ප්‍රශ්ණ හමුවේ තමන්ගේ බොරු හෙළි වන බව දැනගත් ඈ අඬන්නට විය.

ඉන්පසු දිගින් දිගටම අපි ඇයට පැවසුවේ ඇය වෛද්‍යවරියක නොවන බව අපට වැටහී අවසාන බවයි. එමෙන්ම ඇය සේවය කරනවායැයි කී අදාල රෝහල් වලට දුරකථනයෙන් කතා කොට දැනගත්තේ එහෙම ප්‍රී ඉන්ටර්න් කිසීවෙක් ඒවායේ වැඩ නොකරන බවයි. මේ තැනැත්තිය ඇත්ත සඟවන බව වැටහෙද්දී අප කළේ පොලිසිය වෙත බාර දීමය. එහිදී ඇගේ සත්‍ය නම් ගම් සහ විස්තර දැන ගන්නට ලැබිනි. ඒ වගේම ලොජ් වල රිසිට් , බිල්පත් බොහෝමයක් දැකගන්නට ලැබිනි. යාපනය පුස්ථකාලයෙන් සොරකම් කරන ලද ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ මහ බරැති ඉංග්‍රීසි පොතක්ද විය. එතෙක් යන එන තැන මිනිසුන්ව මුලා කිරීමට එයද යොදාගත් බවට සැක නැත. නිරන්තරයෙන් ඇගේ දුරකතථනයට කතා කල එක අයෙක් පැවසූවේ. ඇය වෛද්‍යවරියක් බව පැවසූ බවය, ඇය බස් එකේ ගිහින් තිබුනේත් ස්ටෙතස්කෝප් එක අතේ අරගෙනය.
ඒ කතා කල පුද්ගලයා අන්තිමට විමසුවේ "ඇත්තටම එයා ඩොක්ටර් කෙනෙක්ද ?" කියායි.

වෛද්‍යවරුන්ගේ ආපන ශාලාවෙන් ආහාර ගෙන තිබුනේද ස්ටෙතස්කෝප් එකේ පිහිටෙනි. එමෙන්ම රෝහලේ ඇය සැරි සැරූ වාට්ටු ගැනද ටිකෙන් ටික රෝහල් කාර්යය මණ්ඩලයෙන් හෙළි විනි.  ඇතැම් වාට්ටුවල සිටින දොස්තරලාගේ නම් ගම් විමසා ටෙලිෆෝන් නොම්මර පවා ඇය ඉල්ලාගෙන දුරකථනයට දමාගෙන තිබුනේ , අර ස්ටෙත් එක මගින් අපේ හෙදි සොයුරියන්වත් රවට්ටමිනි.  ස්ටෙත් එකක් නොව උපාධි සහතිකය අතේ අරන් ආවත් පිට කෙනෙක්ට රෝහලේ වාට්ටුවල දොස්තරලාගෙ නම් ගම් හෝ දුරකථන නොම්මර නොදෙන ලෙස අපි ඔවුන්ව දැනුවත් කළෙමු

මට සිතෙන්නේ සමහර විටක ඇය මානසික රෝගයකින් පෙලෙන්නියක් විය හැකිය. සමහර විට අප නොදන්නා ජාවාරමක් ස්ටෙත් එකත් පොතත් සමග වෛද්‍යවරියක ලෙස සමාජයේ පෙනී සිටිමින් කලාද සැක නැත. එයින් අපේ සිත් වලටනම් අවිනිශ්චිත බවක් සහ බියක් ඇතුල් විනි. ඕනෑම රෝහලක මෙසේ විය හැකිය. මෙසේ රඟපා ඕනෑ තරම් ලෙඩුන් අසරණයින් මෙන්ම සමාජයේ ඕනෑම ක්ෂේත්‍රයක අය මුලා කල හැකි නොවේද ?

හරියට උපාධියක්වත් නැතිව බෙහෙත් කරන හොර වෛද්‍යවරුන් හෙවත් quacks ලා ඕනෑ තරම් ලංකාවේ හතර දිග් භාගයේ සිටිති.  එවන් හොරුන් ගේ බොරු වෙදකම් නිසා ලෙඩ උත්සන්න වී අන්තිමට රජයේ රෝහල් වලට ගෙනෙන රෝගීන් ගණන විශාලය.

නළාවක් අතින් ගත් පමණින් කිසිවෙක් වෛද්‍යවරයෙකු නොවන බව මහජනයා වටහා ගත යුතුය.වෙද සිසුන් නම් සුදු කෝට් එක පිටින් එහෙ මෙහෙ පාරවල් දීගෙත් යන වග අපි දැක ඇත්තෙමු. නමුත් මා දන්නා තරමින් වෛද්‍යවරුන් කිසිවෙක් ස්ටෙත් එක බෙල්ලේ එල්ලාගෙන පාරේ ගමන් කරන්නේ නැත.
එමෙන්ම අහිංසක රෝගීන් බලන්න එන සෙනගට සත්තම දාන අතරෙම රෝහලේ වැඩකරන වෛද්‍යවරුන් කවුරුන්ද ඊළඟට අමුත්තන් දුටුවොත් කරන්නේ මොනවාද යන්න ගැන සැලකිලිමත් වෙන ලෙස අපි ආරක්ෂක මහතුන්ටද හොඳ දේශනාවක් කළෙමු. පෙර කලෙක මෙවැනි සිදුවීමක් උනානම් අප සියලු දෙනා භය බිරාන්තවෙනවා නො අනුමානය.

කොහොම උනත් තවමත් අපට තිබෙන නොවිසඳුන ප්‍රශ්ණය ඇය වෙස් වලාගෙන පැමිණියේ ඇයි යන්න යි.
ඇය නිදහස් කරන්නේ නම්, මානසික රෝග ඒකකය වෙත යොමු කරන ලෙස අපි පොලිසියෙන් ඉල්ලා සිටියෙමු. මන්ද කිසිඳු චෝදනාවක් නැත්නම් ඇය කළ රඟපෑම නිසැකවම හාරා අවුස්සා සොයා බැලිය යුතුය. එය මානසික රෝගයක් විය හැකිය.

Tuesday, September 13, 2011

දුවන වැසි, සංඛේත වැඩ වර්ජන, සහ ග්‍රීස් යකුන් !

සුපුරුදු පරිදි යළිත් උතුරට වැසි සමය ඇරඹුනා නමුත් පෙර කල මෙන් එය එක දිගට මාස ගණන් පැවතුනේ නෑ. අකුණු සැර අධික වැහි මදිවට, නිතර විදුලි ඇණ හිටීම් , ඒ මදිවට ග්‍රීස් යකා වීසින් මේ කොණ වැසියන්ගේ ජීවිත වල විශාල කලබලයක් ඇති කර තිබුනා.

නීරන්තර වීදුලිය ඇණ හිටීම් අතර මැද මහ රෝහලේ ට්‍රාන්ස්ෆෝමරයකුත් පිපිරුවා, ඒ එක්කම ශල්‍යාගාරයක විදුලි බල්බයක් පුපුරලා සියලු ශල්‍ය කර්ම ඇණ හිටියා. ඔය ජර මර සේරම අතර තුර අපි සුපුරුදු පරිදි අපේ එදිනෙදා රෝහල් වැඩ කටයුතුත් කරගෙන ගියා. ලැප්ටොප් එකේ බැටරිය පිච්චී ලියන්නට  බැරි වෙන තරමට අත කඩා දැම්මා වගේ වැඩක් වුනෙත් ඔය දවස් වලමයි. මේ විදුලි අලකලංචිය ඒකටත් හේතුවක් විය හැකියි.

ඒ දිනවල සෑම දිනකම උදෑසන අඩම් තෙට්ටම් වලට ලක්වී ගුටි කා පිහි ඇනුම් සහිතව හදිසි අනතුරු ඒකකයට ඇතූලත් කල ග්‍රීස් යකුන් බැලීමට යැයි සියල්ලෝම වැල නොකැඩී ඇදී යයි. ඔය අතර මානසික රෝගාබාද වලට ලක්වූ අයද සුලභය.
ග්‍රීස් යකුන් ගෙවල් වලට පැමිණි විට බය බිරාන්ත වී පැමිණි අයද බහුල විය.
නමුත් රෝහල් ගත වූ ග්‍රීස් යකුන්ගේ ග්‍රීස් තිබුනු බවක් නොදුටුවෙමු.

පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටන් කල එළි බැස්සේද මේ කාලයේදීමයි. 2003 වසරේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී ඕවාට වීරුද්ධව මහා විශාල අත්සන් එකතුවක් සකස් කළ බවත් මතක් විනි. නමුත් අද රජයේ වෛද්‍යවරයෙක් ලෙස සේවය කරන අප සමහරකගේ ආකල්ප ශිෂ්‍ය අවධියට වඩා වෙනස් බව මේ ගැන නිරන්තරයෙන් කෙරෙන කතා බස් වලදී වැටහේ.  සංඛේත වැඩ වර්ජනයක් පවත්වන්නට කටයුතු යෙදුනා, නමුත් එදින අප රෝහලේ සායන කිහිපයක්ම පැවැත්වෙන දිනයකි. හවස අපි කතිකා කරගත්තේ ඉතා දුර බැහැර සිට සායන වලට පැමිණෙන අපේ රෝගීන්ව අමාරුවේ දමන්නේ කෙසේද කියාය. වෛද්‍යවරුන් තවත් එපා කරවන වැඩ නොකර සායන වැඩ කටයුතු කරමූ යැයි කතාබස් කරන අතරේ එම වැඩ වර්ජනය අහෝසි කල බවට දැනුම් දුන් නිසා අපි සැනසුම් සුසුම් හෙලුවෙමු. මන්ද අවසන කරදර විඳින්නේ අන්ත අසරණ මිනිසුන් පමණක් නීසාවෙනි. රජයේ වෛද්‍යවරුන් නරුම ගති ඇති මුදල් කාක්කන් බව කියමින් තැනතැන බැණ වදින අය අප දහස් ගණනකගේ මානුෂික ක්‍රියාවන් නොදකී.

ස්ටෙතසයක් අත රැගත් හෙරක්ද ?

ඔය අතරේබොහොම විවේකීව පසුවන ඉරිදා දිනයේ උදෑසන වාට්ටු වටයෙන් (ward rounds)පසු අපි වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාරයේ සාලයේ වාඩිගෙන රූපවාහිනිය නරඹමින් සිටියෙමු. හදිසියකින් මෙන් ලොකු බෑගයක් රැගෙන පැමිණි තරුණියක් බෑගය එහි පුටුවක රඳවා අත තිබුනු වෙද නලාවත් සමග සැනකින් රෝහල් වාට්ටු දෙසට දීව ගියාය. 

ඔයිට කලින් සතියක අපේ බාහිර රෝගී අංශය වෙත පැමිණි තරුණියක් , තමන් හලාවත රෝහලේ වෛද්‍යවරියක් බවද මෙහි සේවය කරන වෛද්‍යවරියක් මුණ ගැසීමට පැමිණි බවද කියමින් ලොකු කලබගෑනියක් කලාලු, සැවොම විමසිලිමත් වී ප්‍රශ්න අසද්දී රෝහලෙන් පිටවී ගොස් තිබුනා. ඉංග්‍රීසි හෝ සිංහල වචනයක්වත් නොදන්නා ඇය තමන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ගත් බවද පැවසුවායැයි එහි සිටි අය අප හා පැවසුවා.
එකත් එකටම මේ එම තරුණිය විය හැකියැයි සීතුනු නිසා අප කිහිප දෙනෙක් ඇය නැවත පැමිණෙන තෙක් රැඳී සිටියා. හදිසියකින් මෙන් වෙද නළාවකුත් අතේ රැගෙන මෙහි සේවය කරන වෛද්‍යවරියක් මෙන් රඟපාමින් ඇය පැමිණියාය.

"තමා කවූද ? " අපි ඉංග්‍රීසියෙන් විමසුවෙමු.

ඉංග්‍රීසි නොදන්නා බවක් ඇය කීවාය, එතැන් පටන් මම දෙමෙළෙන් ඇය හා කතා බස් කළෙමි.

" ඔබ කවුරු හරි මුණ ගැසීමට පැමිණියාද ? දැකලා පුරුදු නෑ"

ඇය පැවසුවේ "මම හලාවත රෝහලේ වෛද්‍යවරියක්. මම අහවල් කෙනා මුණ ගැහෙන්න ආවේ"

" මොන ෆැකල්ටියෙද ?" මම නැවත විමසුවෙමි.

"මම කොළඹ ෆැකල්ටියෙ. දැන් ෆ්‍රී ඉන්ටර්ස් කෙනෙක් හැටියට හලාවත වැඩ කරන්නේ"

එතැනින්ම ඇය කරන්නේ ප්‍රෝඩාවක් බව දහස් ගණන් ලෙඩුන් පැමිණෙන රෝහල් වල වැඩ කර අත්දැකීම් ඇති මට වැටහුනි. ෆ්‍රී ඉන්ටර්ස් කියා කිසිවෙක් නැත. ප්‍රී ඉන්ටර්න් (pre intern) හෙවත් වෛද්‍ය විද්‍යාල වලින් පිටව - සීමාවාසික පත්වීම ලැබෙනතුරු වෛද්‍යවරුන් හඳුන්වන කාලයයි .

"ඔබ කොළඹ වෛද්‍ය පීඨයේනම් අඩු තරමේ ඉංග්‍රීසි වචනයක් හෝ සිංහල වචනයක් දැන ගත යුතුයි. මම ඉංග්‍රීසීයෙන් දිගටම ඇගෙන ප්‍රශ්න කළෙමි. බියෙන් වෙවුලන්නට වූ ඇය, ගොත ගසමින් දෙමළෙන්ම පැවසුවේ.
"මම මේ ඉස්පිරිතාලේ ඉන්න අහවල් දොස්තරගෙන් ෆාමටෝලොජික් නෝට්ස් ඉල්ලාගන්න ආවා " යන්නට
ෆාමටෝලොජික් කියා විෂයක් අප ඉගෙන ගෙන නැත. තිබෙන්නේ ෆාමකෝලොජි හෙවත් ඖෂධවේදයයි.

මැය ලොකු ප්‍රෝඩාවක් කරමින් සියල්ලන්ම මුලා කරමින් ස්ටෙතසයක් රැගෙන මෙලෙස රෝහල් වල ඇතුලේ නිදහසේ සැරිසරමින් කරන්නේ කුමක් හෝ භයානක ක්‍රීයාවක් බව අප කිහිප දෙනාට වැටහිනී. එවිටම කොළඹ විශ්වවිද්‍යාලයේ උගත් අපේ දමිළ අයියා කෙනෙක් අපේ දුරකථන පණිවිඩ නිසා සැනකින් එතැනට පැමින ඇගේ නම ගම සියල්ල අසා හතර වටේට කෝල් දමා එහෙම කෙනෙක් කොළඹ වෛද්‍ය පීඨයේ අවුරුදු 10 පුරාවටවත් ඉගෙන ගෙන නොමැති බව තහවුරු කර ගත්තේය...
දුවන්නට තැත්කරොත් අල්ලා ගන්න බලාගෙන කාරුණිකව ඇයට මම පැවසුවේ, ඇය පවසන ඔය කියන වෛද්‍යවරයා හමුවීමට අප හා පැමිණෙන  ලෙසයි. වැඩි පරිස්සමට, පළා යන්නට ඉඩක් නොදෙන්න, මම ඇගේ බෑග් එකද ඉල්ලා ගතිමි. ඉතා බර අධික එහි මොනවා තිබේද යන්න ගැන හිතට බියක්ද ඇතුල් විනි.

අපේ වෛද්‍ය නේවාසිකාගාරයේ සිකියුරිටි මහතුන් දෙදෙනා කැඳවා විමසුවේ මැයට මෙලෙස ඇතුල්වන්නට ඉඩ දුන්නේ ඇයිද කියාය.
ඔවුන් පැවසුවේ... මීට කිහිප සැරයක් එමින් යමින් තමන් හලාවත වෛද්‍යවරියක් බව කියමින් ස්ටෙතසයත් අතේ රැගෙන මැය රෝහල තුලටත් ඉන් පිටතටත් යන එන වගය. "ඉතින් ස්ටෙත් එකක් අතේ අරන් යනකොට අපිට අහන්න බෑනේ ඩොක්ටර්, එයා කවුද කියලා, මෙයා බස් එකට නගින්නෙත් ස්ටෙත් එක අතේ අරගෙනනේ" ඔවුන් මෝඩ තර්ක ඉදිරිපත් කළෝය.

"මේ අපි කවුරුත් ස්ටෙතස්කෝප් එක අතේ අරන් එළියට පාරට යනවා  දැකලා තියෙනවාද, කිසිම ඩොක්ටර් කෙනෙක් ස්ටෙත් එක අතේ අරන් මහ පාරේ යනවද  ?" මම ඔවුන්ගේ මෝඩ තර්ක සහ සාමන්‍ය දැනුම ගැන ප්‍රශ්ණ කළෙමි. වෛද්‍යවරුන් විශාල සංඛ්‍යාවක් නේවාසිකව සිටින කාමර මෙන්ම ආපන ශාලාවද තිබෙන්නේ එහිය. බොහෝ විට අප නිදහසේ සිටින්නේ කාමර හෝ හොඳින් අගුල් නොදමමිනි.

කිහීප ගමනක් ඇවිත් තියෙනවා මදිවට වාට්ටු වලටත් ගිහින් තියෙනවා. ඇය හැඳ සිටියේද වෛද්‍යවරියකට නූසුදුසු ආකාරයෙනි. අතේ පයේ ඇඟිලි සියල්ලේම ඉතා තද පැහැ නිය ආලේපනයක් ගල්වා තිබිනි. බැලූ බැල්මට මතක් වෙන්නේ වෙනත් වෘතියක් කරන කෙනෙකි.

අපි  ඇය කැටුව වහාම අප වෛද්‍ය අධිකාරී කාමරය වෙත ගියෙමු.

මැය කවුද ? කුමකට පැමිණියේද ? ඊළඟ කොටසට මෙතැනින් යන්න... part  2 ස්ටෙත් එකත් අරන් රෝහලට ආ තරුණිය

Monday, August 22, 2011

බෙහෙත් නැති වෙනකොට ....

සති කිහිපයකට කලින් ලියූ මේ සටහන පළ නොකර තිබුනේ හිතේ ඇතිවුන දුකත් කළකිරිමත් නිසා මේ වගේ දේවල් එක දිගට ලිවීම නොකළ යුතු බව සහෘදයෙක් කියූ නිසාය. එනමුත් දින වකවානු සඳහන් නොවන නිසා මෙසේත් සිදු වන බව ලියා තැබීම වටිනවා යැයි සිතේ.

"මේ බෙහෙත නැති නිසා පිටින් ගන්න ලියාගෙන එන්න කිව්වා." එක රෝගියෙක් පරීක්ෂා කරමින් සිටින අතරේ පැමිණි රෝගියෙක් පැවසීය. උදරගත ගැස්ට්‍රයිටිස් වැනි රෝග සඳහා සහ ඇතැම්විට කැක්කුම් පෙති සමග බොන්නට දෙන ෆැමොටිඩීන් සහ ඔමෙප්‍රසෝල් යන ඖෂධ දෙවර්ගයම දැන් සති කිහිපයක සිට රෝහලේ ඕ පී ඩී ෆාමසියෙන් නිකුත් නොකෙරේ. ආයෙ ආයෙත් නියම කරන ඖෂධ කුඩා තුන්ඩු වල නැවත ලියා දෙන්නට සිදු වන්නේ පිටින් ගන්නටයි. දිවයින පත්තරයේ සඳහන් වූයේ අත්‍යාවශ්‍ය ඖෂධ 40 පමණ හිඟයක් ඇති බවය. දැන් හිඟ ඖෂධ ගැන සඳහන් කර අප වාට්ටු හෝ ඒකක සඳහා ලබා දෙන පොතේ ලැයිස්තුව ටිකෙන් ටික දිග වෙන්නේ රජයේ රෝහලුත් පුද්ගලික රෝහල් ගානට දමමිනි.
"මේ බෙහෙත මෙහෙ නෑ පිටින් ගන්න " යැයි නියම කරනකොට දුප්පත් රෝගීන්ගේ මුහුණේ මැවෙන අසරණ සහගත බැල්ම මග හරිමින් අපි වැඩෙහි යෙදෙන්නෙමු. ගමේ ඔවුන්ගේ කුඩා නගරයේ පුද්ගලික ඩිස්පැන්සරියට නොගොස් පැය කිහිපයක් ගෙවා රජයේ මහ රෝහල වෙත ඔවුන් පැමිණෙන්නේ නොමිලේ වෙදකම මෙන්ම බෙහෙත් ද ලබා ගැනීම සඳහාය.

නියුමෝනීයාව හෙවත් පෙනහළු වල ආසාදනයක් සෑදී රෝහල් ගත වුන සුන්දරම් මහතා වාට්ටුවෙන් පිට වූයේ දින දෙකකට කළිනි. ඔහුට මෙයින් පිටවෙද්දි තව සතියකට පාවිච්චි කිරීමට co-amoxyclav නම් ඇන්ටිබයොටික් පෙති වර්ගය අප විශේෂඥ වෛදතුමිය විසින් නියම කරන ලදී. මේ පෙති වර්ගයනම් ඕපීඩී ෆාමසියේ තිබෙන්නේ කලාතුරකිනි. පෙත්තක් රු 70 - 80 පමණ වේ. සමහර වෙළඳ නාමයන්ගෙන් ලීවොතින් අඩු වර්ගයේ ඒවාද තිබෙන බව දන්නෙමු. ඉතින් මේ බව අපේ විශේෂඥවෛද්‍යතූමියට කියා පෙත්තක් රු. 32 වැනි අඩුම මිලට ලබා ගැනීමට හැකි වෙළඳ නාමයක් අපේ විශේෂඥතුමියගෙන් අසා දැනගෙන අපි ලියා දෙන්නෙමු.
නැවත රෝහල් ගත වූ සුන්දරම් මහතා මේ පෙති කිසිවක් පිටින් මිලදී ගෙන නැත. මොකද සතියක් සඳහා මුදලින් රු. 700 පමණ වියදමක් දරන්නට වන හෙයිනි. කුලී වැඩ කර එදා වේල සකසා ගන්නා ඔවුන්හට මෙවැනි මුදලක් දැරිය නොහැකි බව ඔහු කියයි. අනික සති එකහමාරක් පමණ රෝහල් ගත වී සිටි නිසා කුලී වැඩක් කරගැන්මටද නොහැකි විය. ඔහුගේ ජීවිත කතාව අසා සිටියදී හිතේ බොහෝ දුක් දැනේ.

අතේ බඳින ඔරලෝසූව වීසි තිස් දහකට මිලදී ගන්නා මිනීසුන් ඉන්න ලෝකෙක එදා වේල හම්බ කරගන්න රු.200 දවස් කුලියට වැඩෙහි යෙදෙන ඔවුන් කෙතරම් දුකක් විඳිනවාද අපිට සිතේ. පැමිණි එක් රෝගියෙක් පවසා සිටියේ, රෝහල ඉදිරිපිටම තිබෙන ෆාමසියකින් රු 1000 ඉල්ලා සිටි බවයි. ඔවුන්ගේ දෛනික ආදායම රු. 100 හෝ 200 කි. වරද ඇත්තේ කොතැන ද ?

හර්දය රෝගයෙන් පෙළෙන සෙල්වරාසා මහතා ඉතා අසාධ්‍යව රෝහල් ගත කර තිබේ. දරුවන් සියල්ලෝම සිටින්නේ කැනඩාවෙහිය. එනමුදු ඔවුන් අම්මා තාත්තා ගැන නොබලන බව වැටහුනේ ඔහුගේ බිරිඳ අනෙක් රෝගීන්ටද පිටතින් අවශ්‍ය කෑම වතුර වැනි දෑ ගෙනැවිත් දී රු.5, 10 වැනි මුදලක් ලබා ගන්නා බවත් පැවසූ විටය.  { " දරුවන්ට එකතු වෙලා මාසෙකට ඩොලර් සීය සීය එව්වත් මේ දෙමාපියන්ට හොඳින් ජීවත් වෙන්න පුළුවන්නේ ", අපේ ජේෂ්ඨ වෛද්‍යවරයා අපට කීවේ දැඩි කළකිරීමකිනි }

මීට පෙර එක්තරා කාල වකවානුවකදී මී උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසිස් දැඩිව පැතිරෙන අවධියේ ඒ සඳහා සුදුසුම බෙහෙත නැති වූ නිසා රෝගින් මුහුණ පෑ කරදරද මතක් වේ. පෙති නොමැතිව රෝහල් වල ලෙඩුන් දුක් විඳින් අයුරු දැකීම දුකකි.  මෙවැනි අගහිඟතා මැඩලීමට රජය සම්පූර්ණ සහයෝගය සහ ශ්‍රමය දක්වන බවද අපි දනිමු. නමුත් අන්තිමට කරදරයට පත්වන්නේ අසරණ රෝගීන් පමණි.

අප අතේ තිබෙන මුදල් නෝට්ටුවක් දෙකක් ඔවූන්ගේ අතේ තියන්නට අප හිත කරුණාවන්ත වුනත් ඇතැමුන් අපේ කරුණාව දිගටම බලාපොරොත්තු වන බැවීන් එසේ කිරීමද අපහසුය.

Tuesday, August 16, 2011

ජනාත්‍රිගේ කතාව

රජයේ ඉහළ නිළයක් දරන තාත්තා කෙනෙක් දොස්තර ජනාත්‍රී ඉදිරියේ පුටුවේ ඉඳගත්තේ ඇස් දෙකේ පුරවගත් කඳුළු එක්කම....
"මගෙ එකම දුව ඩොක්ටර් කොහොම හරි බේරලා දෙන්න." ඔහුගේ වචන පටලැවිනි.
දෙමාපිය අවවාද නුරුස්සන සිතින් නිදි බෙහෙත් සහ පැනඩෝල් පෙති ගොන්නක් පානය කළ දැරිය සිහිසුන්ව යන්ත්‍ර වලට සවි කර ඇත.
"අපි කිසිම අඩු පාඩුවක් කලේ නෑ ඩොක්ටර්. උදේ දවල් රෑ තුන්වේලම මගේ අතින් අනලා කැව්වේ. වාහනෙන් ගෙනිච්චේ ගෙනාවේ. ඉගෙන ගත්තේ නෑ ඒකත් කමක් නෑ , ගැලපෙන්නේ නැති කොල්ලෙක් එක්ක යාළුවෙලා අන්තිමට, ඒකට අපි පොඩ්ඩක් බැන්නා , මම පාරකුත් ගැහුවා. ඒපාර අනේ... මගේ දුව..." ඒ අම්මාගේ වැලපිල්ල අහං ඉන්න අමාරුය.

"කොච්චර සැප දුන්නත් වැඩක් නෑ. කියන දේ නාහන දරුවෝ හැදුවහම. මොකෝ ඉතින් මොනවා තිබ්බත් වැඩක් තියෙනවද හරියට ජීවත් වෙන්න උගන්නන්නේ නැතිව." ඇඳ ළඟ සුසුම් හෙළන මව පෙන්වමින් සිස්ටර් කියයි.

ඇඳ මත සිහිසුන්ව පසුවෙන තරුණිය තම වයසේමය. ඩොක්ටර් ජනාත්‍රීට තමන්ගේ කුඩා කාලය මතක් වෙයි. අගනුවර පිහිටි  මහල් නිවාස සංකීර්ණයක ඉතා පොඩි ගෙයක තම සොහොයුරු සොයුරියන් සමග නොයෙක් දුෂ්කරතා මධ්‍යයේ ඇති දැඩි වූ අයුරු ඇයට මතක් වේ.
ඒ ගෙයි සාලය දැන් තමා ජීවත් වන වෛද්‍ය නිල නිවසේ කාමරයක් තරම් ය. එය එතරම් කුඩා විය.  අවට නිවැසියන්ගේ කෑ කෝ ගැසීම්ද බහුලය. ගායකයෙක් වන්නට තතනන අසල ගෙයක අයියෙක් මහා හඬින් රේඩියෝව දමන්නේද පාඩම් කරන්නට පොත අතට ගන්නා වෙලාවටමය. පහළ ගෙයක ඉන්නා අන්කල් කෙනෙක් හැමදාම බීගෙන ඇවිත් ඒ ඇන්ටී සමග ගෝරි අල්ලද්දී  ඒ දරුවන් පැමිණෙන්නේද ජනාත්‍රිලාගේ ගෙදරටය. රැකියාවට යන දෙමාපියන් දෙදෙනා වැඩ ඇරී පැමිණෙන්නේ සවස් කාලයේය. එතෙක් ගෙදර පැමිණි සැනින් ශීතකරණයේ තියෙන හොදි රත් කර බතක් උයන්නට සිදුවේ. බැරි වෙලාවත් අම්මාට උයන්නට වෙලාවක් නැති වුනොතින් දවල් කෑමද පිස ගත යුතුය. පාසැලෙන් දෙන වැඩ කරන්නේ සවස් වරුවේය. රෑට යළි අහර පිසීමට අම්මාට උදව් කල යුතුය. එක පැත්තක පිහිටි පොදු ක්‍රීඩාංගනයට රැස්වෙන කොල්ලෝ කුරුට්ටෝ මහ රෑ වන තුරු ක්‍රිකට් ගසති. කෑ කෝ ගසති. ගසන බෝල පාරක් දෙකක් කාමර වලටද පැමිණේ.

ඇතැම් විට වාර විභාග ළඟ එද්දී අහල පහල ඝෝෂාකාරී බව නිසා පාඩම් කරගන්නට බැරිවා වාගේය.
අම්මා කියන්නේ "කොන්දට උඩින් කරත්තයක් ගියත් තමන්ගේ වැඩේ කරන්න ඕනෙ අනම් මනම් ඔළුවට දාගන්නේ නැතුව "  ගෙදර හැමදේටම තියෙන එකම මේසයේ ඔක්කොමලා පොත් පත් අරන් පාඩම් වැඩ කරන්නේ ඉගෙනීම මිසක් වෙන සරණක් නැති නිසාමයි. එවෙලෙට කොන්දට උඩින් යන කරත්ත විෂුවලයිස් කරගනිමින් පාඩමේ යෙදෙනවාය. රෑ වෙන තුරු පාඩම් කරද්දී තේ හදා දෙමින් නිදි වරන අම්මාද , රස්සා දෙක තුනක් කරමින් වැර වීර් යයෙන් මුදල් උපයන තාත්තාද ඔවුන්ට ආදරය සමග ජීවිතය පිළිබඳ හොඳ නරක කියා දෙන්නට උත්සහ කළෝය.


තමන් ගොඩ ගන්න දෙමාපියන් විඳින දුක දුටු ජනාත්‍රී කුඩා කල සිටම උත්සහ කලේ අල්පේච්ජ ජීවිතයක් ගත කරන්නටයි.  ඕනෑ නැති විච්චූරණ වටල මුදල් නාස්ති නොකොට අරපිරිමැස්මෙන් ජීවත් වෙන්නට දෙමාපියන් දරණ උත්සහයට මේ දරුවන්ද නොසෑහෙන්න උදව් උපකාර කලේ හොඳින් ඉගෙන ගනිමින් ඒ කල පාසැල් දරුවන් යොමු වන බාහිර අනවශ්‍ය නාස්තිකාර දෑ වලින් තම සිත මුදවා ගනිමින් ය.  ඉගෙනීමේ දස්කම් නිසා අගනුවර ඉහළ පාසැලක් ලැබ ඉගෙනුම ලැබුවත් බස් එකෙන් යන එන , සුදු ගවුම් දෙක සෝද සෝදා අඳිමින් සිටි ඇය තම ළඟම මිතුරියන්ටවත් තමන්ගේ අගහිඟකම් දුෂ්කරතා පෙන්නුවේ නැත.  අම්මාට අසනීප වී මාස 6 පමණ එක්තැන්වී සිටි කාලයේ , උසස් පෙළ ලියන අතර උදේ රැයින් නැගිට උයා පිහා ගෙදර වැඩ සේරම කරන්නට සිදු වුනේ ජනාත්‍රිටය. දූක ළඟට සැප ලැබෙනු ඇතැයි ඇය නිතර සිතුවාය. පාඩම් කළේ මහජන පුස්ථකාලයේ පාඩම් ශාලාවෙහිය. ඇතැම් දින වල උදේ 7 එහි ගොස් නැවත පැමිණෙන්නේ සවස 6 ටය. තමන්ගේ සහ සහෝදර සහෝදරියන්ගේ ටියුෂන් සහ අනෙකූත් වියදම් සේරම දරන්නට ඇත්තේ දෙමාපියන් දෙදෙනා උපයන පඩිය පමණි. ඔවුන් මේ හැටි වෙහෙසෙන්නේ තම දරුවන් වෙනුවෙන් බව කුඩා කල සිටම ජනාත්‍රි සහ සොයුරු සොයුරියන් මැනවින් වටහාගෙන සිටියෝය.

ඇතැම් විට තම මවගේ සොයුරා ඔහුගේ දරුවන් රැගෙන පැමිණෙන ඒ වාහනයෙන්ම ජනාත්‍රී සහ අනෙක් සොයුරු සොයුරියන්ද පැමිණ ගේ ළඟින් බස්සවාගෙන යයි. ඇතැම් විට ඒ පාරෙ ට්‍රැෆික් යැයි ගව්වක් දුරින් නවත්වා බස්සවයි. එවිට කට්ට අව්වේ, පයින්ම ඉතිරි දුර ගෙවා යන්නට සිදුවේ.  මාමාගේ දරුවන්ට KFC හෝ චයිනීස් කවන්නට සිතුනූ දිනක, සෙසු දරුවන් වාහනයේ සිටියදී ඔහුගේ දරුවන් පමණක් ගෙන ගොස් කවා පොවා රැගෙන එයි. එවිට අනෙක් අයට සිදු වන්නේ වාහනයට වී අර කඩවල වීදුරූ තුලින් ඔවුන් ආහාර ගන්නා අයුරු බලාගෙන වේලි වේලි සිටින්නටය. තම මව හෝ පියා සමග මේ ගැන එදා නොදොඩා සිටියේ ඔවුන්ට දැඩි දුකක් ඇතිවේයැයි සිතූනු නිසාය. උසස් පෙළ ළකුණු එන්නට ප්‍රථම "විශ්ව විද්‍යාල වලටනම් යන්න එපා රස්සාවක් කරන්න යැයි" බල කෙරුවේද එවැනි නෑයින් ය. හැබැයි ඒ සියලු නෑයින්ගේ දරුවන් උසස්පෙළ අසමත් වී අද කිසිවක් කරගත නොහැකිව සිටී.

ඒ සියලු දුෂ්කරතා මැඩ වෛද්‍යවරියක් ලෙස පත්වීම ගත් දා දෙමාපියන්ගේ සතුට ඉහ වහා ගිය අයුරු දුටු ඇයට තමන් විඳි දුක් කන්ද අවසන සැනසුම් සුසුම් හෙළීය. ඉගෙන ගන්න එකා නේ කියමින් දුප්පත් නෑයින් රුපියල් 100, 200 මිට මෙළවූ අයුරු ඇයට සිහිපත්‍ වේ. අද ඇය ජේෂ්ඨ වෛදවරියකි. දරුවන් ඉගෙනීමෙන් දස්කම් පාද්දී දෙමාපියන්ගේද ආර්ථික මට්ට්ම යහපත්වී නව නිවසක් තනා සාමකාමි පෙදෙසක වාසය කරන්නට ඔවුනට හැකියාව ලැබී ඇත.

දැඩි දුෂ්කරතා මධ්‍යයේ ඉගෙනුම ලැබූ ඒ අවදියේ ප්‍රේමාරාධනා වලින්ද අඩුවක් නොවීය. එකළ ඇය සා. පෙළ පන්තියේ සිටියාය. ඕවට පැටලුනොත් ඉගෙන ගන්න බැරිවෙයි. හොඳින් ඉගෙන ගෙන අපි ඉන්නා තත්වයෙන් පොඩ්ඩක් හරි ගොඩ එන්න ඕනේ ඇය අර ආරාධනාවට පැහැදිලි කර දී එය ප්‍රතික්ෂේප කළාය.

දෙමාපියන් උනාම දරුවන්ට සැප දෙන එක වැරැද්දක් නෙමෙයි. ඒත් දුකත් පෙන්වන්න ඕනේ. සමාජයේ පය ගහලා ඉන්න උගන්වන්න ඕනේ. අපි පොඩි කාලේ දුක් විඳිද්දී ... අපේ යහළුවෝ සැප විඳිද්දී ඇයි අපට මේ වගේ තිබුනේ නැත්තේ කියා දුක හිතුනු වාර අනන්තයි.යාළුවන්ගේ ගෙවල් වල ගිය විට, තනි කාමරයක් තමන්ගේම කියලා පොත් මේසයක් , පොත් රාක්ක අල්මාරි ඒ දේවල් දකිද්දී ඒකාලේ ඇති වුනේ කියා නීම කල නොහැකි දුකකි. දුක හා ගැටෙමින්, පොරබදමින්, අමාරුකම් මැද පාඩම් කරමින් ජීවිතය ජයගත් අද, එදා අපි දුක දැකපු නිසා සමාජය වඩා හොඳින් තේරුම් ගත්තා නේදැයි, ජනාත්‍රීට සිතුනාය. අද යාන වාහන නිවාස මෙන්ම හොඳ රැකියාවක්ද උරුම ඇය මෙන්ම ඇගේ සහෝදර සහෝදරියන් දෙස බලා දෙමාපියන් සැනසේ.

"ඩොක්ටර් අර poisoning patient ගේ saturation drop වෙනවා" මහ රෑ හෙදිය දුරකථන ඇමතුමක් දෙයි. ඇය ගත් බෙහෙත් වල සැර වැඩි කමට ශ්වසන පද්ධතිය අඩපන වී ඇත. යුහුසුළුවූ සැම නහයෙන් බට දමන්නට බැරි තැන ශ්වරාලය විද බටයක් දමා (tracheotomy ) ඇය කෘතිම ශ්වසන පද්ධතියට සවි කළෝය. දැන් එම තරුණිය නැවත හුස්ම ගනී. දැඩි සත්කාර ඒකකයේ දින 19 සිටි ඈ හොඳටම හොඳවී සිහිය ලැබ සිටියදී, ඇය පැවසුවේ " තමන්ගේ දෙමාපිය දෙදෙනා නපුරු බවත් ඔවුන් සමග නැවත ජීවත්විය නොහැකි බවත්‍ ය.
එතෙක් නිදි නොලැබ දින පතා ඇය අසළ සිටි මව කළ දුෂ්කර ක්‍රියා දැක්කේ අප පමණි.

තරුණියගේ හිත හැදීමට දොස්තර ජනාත්‍රී නිරන්තරයෙන් ඇය ළඟට වී ඇගේ ජීවිත කතාව ඇය හා පැවසුවාය. ඇයට අහිමි වූයේ මොනවාද ? පොඩි කාලේ ඉඳන් සැප සම්පත් පමණක්ම දී උස් මහත් කළ දෙමාපියන් ගේ අගය සහ ජීවිතය ජයගන්න ඇය කිසිම උත්සහයක් නොදැරූ හැටි , දෙමාපියන්ට සැනසෙන්නට කිසිවකකඑය නොකෙරූ සැටි, ඇයට වැටහෙන්නට විය.
පසූදින අම්මා තාත්තා පැමිණි පසු ඒ තරුණිය ඔවුන්ගෙන් සමාව ඉල්ලමින් ඔවුන් බදාගෙන හඬන්නට විය.

දරුවන්ට සැප දෙනවා වාගේම  දුකත් පෙන්නා දිය යුතුමය ජනාත්‍රීට සිතේ.
(සත්‍ය කතාවක් ඇසුරිනි)

Friday, August 12, 2011

සිංදූ කියන මල්ලී

ඒ මම තනිව වැඩ කළ සති අන්තයකි. සති අන්තයේ බොහෝ විට වාට්ටුව බාරව සිටින්නේ එක වෛද්‍යවරයෙකු පමණයි. කෙනෙක් ගෙදර යයි. එවිට සියලුම බර එක වෛද්‍යවරයෙක් මතය, නමුත් හැම රෝගී ඒකකයකම වාට්ටු දෙක බැගින් තිබෙන නිසා, සති අන්තයට රෝගීන් ඇතුලත් කරගන්නේ එක වාට්ටුවකට පමණි එවිට අනික් වාට්ටුවට නිදහසක් ලැබෙනවා. ඔන්න ඔය නිදහස ප්‍රයෝජනයට අරගෙන අපි කෙනෙක් නිවාඩු යනවා.
අනෙක් වෛද්‍යවරයාට නිවසේ වැඩකටයුත්තක් යෙදුන නිසා වැඩ අධික සති අන්තයේ ඇයට නිවාඩු දෙන්නට සිදුවුනා. ඒ සති අන්තයේ දවසක රාත්‍රී මට ඇමතුමක් ලැබුනේ අප වාට්ටුවට හදිසි සත්කාර ඒකකයෙන් රෝගියෙක් එවා ඇති බවත් ඔහු සිංදු කියමින් කෑ කෝ ගසමින් හැසිරෙන බවත් ය. විඩාව මොහොතකට හිතෙන් පිටමංකරගෙන මම වාට්ටුව වෙත ගියේ මානසික වාට්ටුවට යැවිය යුතු රෝගීන් මෙඩිකල්/ කායික රෝග වාට්ටුවට එව්වේ මොන එහෙකටදැයි සිතමිනි. මා යනවිට දුටුවේ වාට්ටුවේ කොරිඩෝවේ ඇඳක හිඳගෙන සිටි තරුණයෙක් කකුල් පද්දමින් සිංදු කියන අන්දමයි.
" මා ආදරණීය මගේ අම්මා වෙතටයි... මේ ලියන්නේ ආරක්ෂක කඳවුරේ සිටයි "
එකත් එකටම හමුදාවේ සිටිය අයෙක්...! මට එකපාරටම හිතුනා. ඔහු දෙස බලමින් මා ඇතුල් වෙත්ම හෙදියගේ මුහුණේ වූයේ නොසන්සුන් බවක්. "ආපු වෙලාවේ ඉඳන් සිංදු කියනවා. ඒක නවත්වන්න කිව්වම පිරිත් කියනවා " නර්ස් මිස් චෝදනා කළාය.

"සංජීව (අනවර්ථ නමකි ) මෙහෙ එන්න ...."
මගේ අණින් ඔහුගේ සිංදුව නැවතුනි. එහෙත් ආවේ නැත .

"අංගොඩ කාඩ් එකක් තියෙනවා පේෂන්ට් ළඟ " හෙදිය පැවසීය.

දෙතුන් වර කතා කර නොපැමිණියෙන් , මම සුළු සේවකයත් හෙදියත් සමග ඔහු සමීපයට ගියෙමි.
අපේ ප්‍රශ්ණ කිරීම් ඉදිරියේ ඔහු හෙමින් හෙමින් තම ආගිය තොරතුරු පවසන්නට වීය.

"මොකද මේ කියන දේ අහන්නේ නැත්තේ? "

"මට පිස්සුනේ ඩොක්ටර් ... මේං කාඩ් එක.... හැබැයි පිස්සු හැදුනේ මේ .. මෙන්න මෙතන ෂෙල් කෑල්ලක් වැදුනට පස්සෙ සිහි නැතිව මාස එකහමාරක් ඉස්පිරිතාලේ හිටියා. සිහිය ආවට පස්සෙ මම දන්නේ යුද්ධෙ ඉවරයි කියලා.. ෂෙල් කෑල්ල... මේ....  ඒක තාම ඇතුලේ. දොස්තරලා කීවා ගන්න බෑ කියලා. ඔපරේෂන් කරලා අයින් කරන්න බෑ කිව්වා. "

තම හිස් මුදුන පෙන්වමින් හේ පවසයි. අල්ලා බැලූ අපට ඉහළට එසැවී තිබූ තද යමක් අත ගැටිනි. ඔහු ළඟ තීබුනු X- Ray වලින් එය ඇත්ත බව පැහැදිලි විනි. කහ පැහැති ඩයග්නෝස් කාඩ් එකද අප වෙත දිගු කරයි. කීවා නිවැරදිය.
ඔහු B. A. D. හෙවත් Bipolar affective disorder  යන තත්වයෙන් පෙළේ.හැබැයි මේ තත්වය ඇති වෙන්නට, ජාන, රසායනික අසමතුලිතතාවය, මානසික ව්‍යාකූලතා සහ පාරිසරික සාධක වැනි බොහෝ දෑ හේතුවේ. (genetic, biochemical, psychodynamic, and environmental factors.) තමන්ගේ මොළයට කිඳා බැස ඇති ෂෙල් යකඩ කැබැල්ල නිසා මෙහෙම උනා යැයි ඔහු සිතාගෙන සිටී. නමුත් හේතු සාධක වූ දෑ බොහෝය.

යුද වාතාවරණය සහ ඒ ආශ්‍රිත මුහුණ දූන්නු අත්දෑකීම් නිසා මෙලෙස සිදුවන්නටද බොහෝ සෙයින් හැකියාව ඇත. එවැනි බොහෝ දෙනෙකු හෙවත් ආයුධ රැගෙන යුද්ධ කරන්නට සිදුවූ දෙපැත්තේම අය සහ මැදිවූ සාමාන්‍ය ජනයා  යන මේ සෑම කෙනෙකුම මුණ ගැසී ඇත. සියල්ලන් කෙරෙහි වූ පොදු මානුෂීය හැඟීමෙන් ප්‍රතිකාර කළ, අපට,  ඒ ගැන කියන්නට විස්තර බොහෝය.

" කවදා ඉඳන්ද මෙහෙම උනේ? "

" දෙදාස් නමයේ මැයි 18 තමයි මට ෂෙල් එක වැදුනේ. අපි තමයි ෆ්‍රන්ට් එකේ හිටියේ . මට දුක යුද්දෙ...අන්තිම වෙනකම් බලගන්ඩ ඉන්න බැරි වූන එකයි. තව දවසක් හිටියනම් මට ඒ ඇති. මම සිහි නැතිවෙලා මාව කොළඹ යැව්වා. ඔපරේෂන් කරාට පස්සෙ අංගොඩ දැම්මා. කලින් මෙහෙම තිබ්බෙ නෑ."

ඒ සියල්ල එලෙසින්ම අර කාඩ් එකේද සඳහන්ව ඇත. ඒ කතාව අසමින් සිටි අපට දුකද කණගාටුවද දැනෙන්නට විය.ඔහු පරීක්ෂා කර අවසානයේ, කඳුලු සමග හැඬුම්බර වූ අහිංසක හෙදි සොයුරිය නැවත ඔවුන්ගේ විවේක කාමරය වෙත දිව ගියාය.
"සංජීව බැඳලද ?"
"නෑ යාළුවෙලා හිටපු ළමයා තරහා වුනානේ , ඇයි මට පිස්සුනේ ..." එසේ කියමින් මහ හඬින් හිනාවෙයි.
යුද්ධය පැවති වකවානුවේ ඒ ආශ්‍රිත පළාත්වල සේවය කළ අප සැමගේ ජීවිත ආරක්ෂා වුන නිසා අද අපි අපේ අය එක්ක සුවසේ සිටින්නෙමු. ඒත් ජීවිත කැප කළ ඔවුන් අද මෙසේ නොයෙක් ආකාරයෙන් අසරණව සිටී. සංජීවගේ ගෙවල් මීට එහා පළාතක බව පවසයි.

"දැන් මේ කොහෙද යන්නේ?"

"තවම පඩිය හදලා නෑ. මට රස්සාව කරන්න බැහැනේ ඩොක්ටර් මේ අසනීපේ නිසා. ඒකට ලියුම් ගන්න ආවා" මූලස්ථානයට පැමිනෙමින් සිටින අතර පපුවේ සහ බඩේ දැවිල්ලක් ඇල්ලූ නිසා බස් එකේ කෑ ගසද්දී අවට සිටි අය ඔහුව මේ රෝහල වෙත ඇතුල් කර තිබිනි. යුද්ධය ඉවර වී අවුරුදු 2 පමණ වුවද තවම ඔවුන්ගේ ජීවිත එකලස් වී නොමැත.

"මට හොඳටම හොඳ වෙයිද ඩොක්ටර් .." 

මම හිතේ දුක තදකරගෙන ඔහුගේ ඉතිහාස දත්ත සමග පරීක්ෂණ තොරතුරු සටහන් කරන්නට අප මේසය වෙත ගියෙමි.

" සැනකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි... "  දැන් ඔහු ගයන්නේ ක්ලැරන්ස්ගේ ගීයකි. මුළු වාට්ටුවම ඔහුගේ ගී හඬින් පිරීයයි.
" මේ මොන කරදරයක්ද ! " සමහර ලෙඩුන් නර්ස් මිස්ලාට චෝදනා කරයි.

මේ මහ රෑ සිංදු කියන්න එපා කියා කීප වරක් පැවසූ සාත්තු සේවකයාද කොච්චර කියුවත් වැඩක් නෑ කියමින් , එපා වී පැමිණෙයි.  නින්ද යෑමට බෙහෙතක් දුන් පසු සිංදුව නැවතිනි, මද වෙලාවකින් හේ නිදන්නට විය. පසුදා පාන්දර සිට මහ හඬින් පිරිත් කියූ බව පසුදින හෙදිය මට පැවසුවාය.

පසුදින විශේෂඥ වෛද්‍යතුමිය සායනික වටය කරන අතරතුර එකපාරටම ඔහුගේ මහා ඝෝෂා සහගත සිංදු ඇසෙන්නට වීය.
 "ආ දැන් වාට්ටුවට රේඩියෝ එකක් තියෙනවා වගේ " ඇයද විහිළුවෙන් ඔහුගෙන් අපට ඇතිවූ කන්දොස්කිරියාව ඉවසුවාය.
දැන් ඔහුට "සිංදු කියන මල්ලී" කියා නමකුත් පට බැඳී ඇත. බැරෑරුම් කායික රෝග කිසිවක් නොවූ නිසා ඔහුගේ උදරගත ගැස්ට්‍රයිටිස් රෝගයට බෙහෙත් කළ අතර ඔහුගේ ඥාතීන් පැමිණි පසු ඔවුන් හා රෝහලෙන් පිටවී ගියේය.
_______________________

Saturday, August 6, 2011

ක්ලිනික්... ක්ලිනික්....ක්ලිනික් !

මම සිහිනයක් දකිමින් සිටියෙමි..... විඩා නොදැනෙන ක්ලිනික් දිනයක් ! කෑකෝ ගැසීම් නො ඇසෙන ක්ලිනික් දිනයක්. බොහොම සුව පහසුවෙන් ඇවිදින් හිඳගෙන සිනාපිරි මුහුණින් එකිනෙකා හා කතා බස් කරන දොස්තරලා සහ රෝගීන්...අමාරුවෙන් මග සොයා යා යුතු නොවන රෝගීන් පිරී ඉතිරී නොගිය කොරිඩෝ, ක්ලිනික් කාමර සහ බාහිර රෝගී අංශයක්. බොහොම සැනසිල්ලේ රෝහලට පැමිණ, උදෑසන සිට පෝළිම් වල රස්තියාදු නොවී, තමන්ගේ දොස්තර මුණ ගැහී කතා බස් කර සැනසිල්ලේ බෙහෙත් ගන්න පුළුවන් දවසක්  ! එහෙම දවසක් කවදා ඒවිදැයි මම මෙන්ම ඔවුන්ද සිහින දකිනවා ඇතැයි මට සිතේ.

ඕනෑම ඒකකයක වැඩ  කරද්දි ගොඩක්ම වෙහෙස දේ තමයි සතියට දෙතුන් පාරක් පවත්වන ක්ලිනික්. මේවට එන්නේ වාට්ටු වලින් රෝග නිර්ණය කලාට පසුව දිගු කාලීන ප්‍රතිකාර අවශ්‍ය රෝගීන්. ඔන්න ඉතින් මේවායේ වැඩ කරන අපටත්  , සුළු සේවකයොන්ටත් , සහභාගි වෙන රෝගීන්ටත් එදා දවසනම් ඉතාම වෙහෙසකර දිනයක් ඒ බව අපි අත්දැකීමෙන් දනිමු.
 
ක්ලිනික් පටන් ගන්නේ උදේ 8 උනත් මේ රෝගීන් පාන්දර 5 සිට රෝහල් පෝලිම් වල. සමහරු බස් අල්ලා ගන්න බැරි නිසා ඊට කලින් දිනයේ පැමින රෝහලේ කොරිඩෝ දිගට තැන තැන නිදා ගෙන. අනේ සමහර වේලාවට වාට්ටුවේ ඇඳන් වැඩිපුර තියේනම් කතා කරලා දෙන්න ගිහින් සේවකයින්ගෙන් නෝක්කාඩු අහගත්තු වෙලාවලුත් නැත්තේම නෑ. රෝහල කියන්නේ ඉතින් නවාතැන්පලක් නෙමෙයිලු නේ !.
ඔන්න ක්ලිනික් එකට අපි යනකොට, ඒ කාමරේ දොරත් අහුරගෙන ලෙඩ්ඩු පිරිලා..  ඉඩ දෙන්න ඉඩ දෙන්න කියාගෙන යද්දි ඉතින් වාසනාවකට ස්ටෙත් එක කරේ තියෙන්නේ නැත්නම් අපිවත් ඇදලා අරගෙන පෝලිමට දානවා සිකුරුයි.
ඊළඟට ඉතින් එක දිගට බලාගෙන බලාගෙන යනවා, ප්‍රෙෂර් බලලා කොහොමද අහලා, පරීක්ෂන කරලා නම් ඒවා බලලා, බෙහෙත් අඩු වැඩි කරලා, නැත්නම් ඒවම ලියලා ඔක්කොම කරලා කොහොම හරි අපි එක්කෙනෙක් ලෙඩ්ඩු 100 වඩා බලනවා.  ඒ අතරේ අපේ සුළු සේවකයින් මහා රෝගී ජන ගංගාව එහා මෙහා කරන්න සත්තම දාන එකත් ඇහෙනවා. පව්නේ ලෙඩ්ඩු. ඉතින් ඒකටත් මොනවා හරි කියනවා. කොහොම හරි පැය ගණන් පෝලිමේ ඉඳලා හිටගෙන ඉඳලා, බැණගෙන දොඩාගෙන අපි ළඟට එද්දි ප්‍රෙෂර් තියෙන අයගේ ප්‍රෙෂර් දෙගුණ තෙගුණ වෙලා.... ඊළඟට සමහරුන්ට කැරකිල්ල, උදේ ඉඳන් කාලා නෑනේ.

{හැබැයි අපේ විශේෂඥ වෛද්‍යතුමියටත් හිතා ගන්න බැරි අපි කොහොමද උදේ ඉඳන් හාමතේ ඉඳගෙනත් හිටගෙන වැඩ සේරම කරන්නේ කියලා . මේ  පළාතේ විශ්ව විද්‍යාලයේ ළමයි කෑම නොකා කලන්තේ දාලා නිරන්තරයෙන් ඇඩ්මිට් වෙන සිරිතක් තියෙනවා.
ඔහොම ආපු දරුවෙක් කීවේ උදේ ආහාර වේල මග ඇරුනු බවයි. අපේ මැඩම් ගත් කටටම " මේ මගේ ඩොක්ටර්ස්ලා රෑ පුරාම ඇහැරලා , උදේට කාලත් නෑ. ඒගොල්ලොන් ඔහොම කලන්තේ දාන්නේ නෑනේ. " කියලාඅපිව පෙන්වමින් කීවාය. අපිට හරිම සතුටක් දැනුනා. අඩු තරමේ අපි මැරීගෙන කරන වැඩ කන්දරාව මැඩම්ට තේරෙනවනේ කියලා. දැන්නම් වැඩ අඩු වෙලත් උදේ කෑම වෙලාවට කන අපි, අච්චර වැඩ කන්දරාවක් එක්ක කොහොම නොකා නොබී වැඩ කරාද කියලා හිතෙනවා. }


දැන් ඔන්න ආයෙත් ක්ලිනික් එක... ඉතින් සමහරුන්ගේ ප්‍රෙෂර් කොයි තරම්ද කියනවානම් එසැනින් ඇඩ්මිට් කරන්න වෙනවා. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ ඉතින් කාලා බෙහෙත් බොන මේ අය බස් එකට එන මහා පාන්දර ඉඳන් මේ වෙනකම් තේකක්වත් නොගෙන බෙහෙත් ගන්න පොර කන නිසා උදේ ප්‍රෙෂර් පෙති වඩිය මග හැරුනු නිසායි. ඔන්න ඊට පාස්සෙ එහෙම එන අයට රෝහල්ගත වෙන්න කියලා කිව්වම එතනත් ප්‍රශ්න " ගෙදරට කියලා ආවෙ නෑ. හෙට ඇවිත් ඇඩ්මිට් වෙන්න ද ?" 
"අදට බෙහෙත් ටීක දෙන්න ආයෙ පස්සෙ ඇවිත් ප්‍රෙෂර් බලාගන්නම්"
" ඇඩ්මිට් වෙන්න නම් බෑ. දුවට බබා ලැබිලා, පුතාට විභාග, අල්ලපු ගෙදර ඇන්ටිගේ පුතාගේ ළමයගේ මගුල්ගෙදර  "
ඔය වගේ නොයෙකුත් හේතු... හරියට අපි මේ ආසාවට ඇඩ්මිට් කරනවා වගේ. බැරිම නම් ඉතින් එවෙලෙම බෙහෙත් බීලා පැය බාගෙකින් පැයකින් ප්‍රෙෂර් බලලා, උපදෙස් දීලා තත්වයේ භයානක කම කියා දී ගෙදර යවනවා. සමහරුනම් අපිට බැන බැන ගෙදර යනවා.

 ඒ අතරේ මේ අයගේ පරණ බෙහෙත් පොත් ( ඒ අයට  වෙනම බෙහෙත් නීකුත් කරන පොතක් තියෙනවා, හරියට ඉස්සර කාලේ හාල්පොත වගේ, හැබැයි මේකනම් විකුණන්න උකස්තියන්න බෑ)

නිකුත් කරන කවුන්ටරයේ ඉන්න සුළු සේවකයොන්ට ඒ පොත් හොයාගන්න බැරි වුනොත් ඉතින් ඒ අයත් එක්ක රණ්ඩු, බේරගන්න බැරිම වෙනකොට අපි ළඟට එනවා , දෙගොල්ලොම, ඔන්න ඉතින් ලෙඩ බැලිල්ල පැත්තක තියලා රණ්ඩු බේරනවා. සමහරු දවල් වෙලා ඇවිත් පොත් නිකුත් කරන කවුන්ටරය වැහුවම ඒකටත් අපිව සොයන් එනවා. ඔක්කොම ඉතින් අපේ කර මත. රෝගින් දන්නවා අපිට කිව්වොත් ඉතින් කොහොම හරි වැඩේ කෙරෙන විත්තිය. අපි කොහොමද සායනයට එන අයව හිස් අතින් ගෙදර යවන්නේ.
ඔහොම ඉන්න අතරේ.... බැරිවෙලාවත් තමන්ට පුරුදු දිගු කලක් බොන පෙත්තක පාට මාරු වුනොත් ආයෙම හොයාගෙන එන්නේ අපිව. ඉතින් පාට බේරුමක් කරලා පෙති ටික හරි ගස්සලා හිතත් සනසලා දෙන්නත් වෙන්නේ අපිට.
 ඒ අතරේ අපි ලියන පොතක අතපසු වීමක් හරි වැරදීමක් හරි විශේෂඥ වෛද්‍ය තුමියට හරි තූමාට හරි ගියොත්.... ඒකටත් ආයෙත් අපව සොයා පණිවිඩ එවනවා. මහා රෝගී ගඟ මොහොතකට නවතා ඒ අය වෙත දුවලා ඒකත් බලනවා, බැනුම් අහනවා, වැරදි හදනවා කපනවා ලීයනවා.

කොහොම කොහොම හරි  රෝගීන් බලනවා. උපරිම කාලය එක්කෙනෙකුට මිනිත්තු 3 හෝ 4 යි. ආපු අලුත ඔන්න ඉතින් ගොඩක් වෙලා අරගෙන කොහොමද කියලත් අහලා නාඩි පෙණහළු හර්දය ඔය ඔක්කොම චෙක් කරපු නිසාත් මගේ පෝළිම ඉතා දිගට විහිදී එහි අඩුවක් ඇති වුනේ නැති නිසාත් සුළු සේවිකාවක් ඇවිත්, ඩොක්ටර් ඔහොම බෑ ඉක්මනින් බලන්න ... ඔන්න ඩොක්ටර්ගේ ලයින් එක විතරක් හොඳටම පිරිලා අද " යැයි කීවා මතකය.

ඉතින් ඔන්න අන්තිමට ක්ලිනික් එකේ සුළු සේවකයින් ඇවිත්, "හරි ඩොක්ටර් ඉවරයි ..." කියද්දී තමයි අපිට සැනසුම් සුසුම් හෙලෙන්නේ....

Tuesday, August 2, 2011

මේ මනූස්සයා මැරුනොත් හොඳයි ඩොක්ටර්....

ප්‍රාදේශිය රෝහලකින් අප වෙත එවා තිබුනු රෝගියෙක් වාට්ටුවා වෙත එවා තිබූනේ සිහිසුන්ව ඔක්සිජන් සිලීන්ඩරයකට සම්බන්ද කළ නල පද්දතිය මුහුණු වැස්ම සමගින්. හදිසියේ සිහිනැතිවීමක් නිසා රෝහල් ගත කල බවක් ඔහුගේ නෑයෝ පවසයි. රෝගියාගේ ඇස් පරීක්ෂා කළ අපිට මෙහි ඊට වඩා යමක් ඇති බව වැටහුනේ කළු ඉංගිරියාවට ටෝච් එක ඇල්ලූ විටයි. ඉතා කුඩා වෙච්චි කළු ඉංගිරියාව (pin point pupils )කුමක් හෝ opioid අඩංගු දෑ (මත්ද්‍රව්‍ය හෝ පෙති) ඕනැවට වඩා ගත් විට, හෝ organophosphate කෘමි නාශක ශරීර ගත වුනු විට ඇති වන ලක්ෂණයකි. වේලාව හවස 6 පමණ ඇත. ඔහූ හූස්ම ගන්නේද අමාරුවෙනි. පෙනුම අවලස්සනය. රැවුල වැවී ඇත. කඩිනමින් කළයුතු දෑ කරමින් සිටි මම විශේෂඥ වෛද්‍යතුමියගේ උපදෙස් පරිදි ඔහු මීට එහා ඇති මහ රෝහල වෙත සී. ටී. ස්කෑන් පරීක්ෂණයකට යොමු කරන්නට ට්‍රාන්සර් කිරීම සඳහා අවශ්‍ය ලිය කියවිලි සකස් කරමින් සීටියෙමි. ඔහු ගෙන ආ අයෙක් මා අසලට පැමිණෙයි.

"ඩෝක්ටර් ලෙඩා මැරෙයිද ?" එලෙස අසන බෝහෝ අයගේ කටහඬේ තිබෙන හැඬුම් ස්වභාවය ඔහුගේ හඬේ නොවීය.මා දෙස එක එල්ලේ බලාගෙන හිඳී.

"ලෙඩා ගේ තත්වය එතරම් හොඳ නෑ. මෝළයේ ලේ ගැලීමක් වෙලාද බලන්න වෙනවා. ඒකයි අපී ...ර යවන්නේ"

"මේ මනූස්සයා මැරුනොත් හොඳයි ඩොක්ටර්." මමද ඒ අසල ඇඳ ඉහපතක යමක් සටහන් කරමින් සිටි හෙදියද ගල් ගැහුණාක් මෙන් බලාගෙන සිටියෙමු. ලෙඩෙක් ඉස්පිරිතාලේ ගෙන එන්නේ ජීවිතය බේරා ගැනීමටයි. මොහූ කියා සිටින්නේ වෙන දෙයක්.

"ඇයි එහෙම කියන්නේ මේ ඥාතියේක් නෙමෙයිද ?"
සාමාන්‍යයෙන් රෝගියෙක් රෝහලට ගෙන ආ කෙනෙක්ම එසේ කීම අපට පුදුමය දනවන සුළු විය.

"මේ මිනිහා කරන්නේ ගංජා කසිප්පු විකුණන එක. මේ පැත්තෙම තරුණ ළමයි. ඉවරයි නෝනා" ඔහු කියයි.

" මේ මිනිහගේ ගෑණිත් ඒවට හවුල් . ඔය අද ඔහොම ඉන්නෙත් මේ මිනිහත් ගංජා ගහනවා. කාටවත් මූට ඉහළීන් යන්න බෑ.ඔක්කොම කරන්නේ ජරා වැඩ. මුළු ගමටම හෙණයක් වෙච්ච මූ මැරුනොත් හොඳයි නෝනා. දැන් ඔය සිහි නැති වෙලා ඇත්තෙත් ගංජා ගහලා වෙන්නැති. අපි උදව් වෙලා ගෙනාවේ ලතෝනිය අහං ඉන්න බැරුව. මේකා මැරෙනවනම් හොඳයි කිව්වේ ඒකයි නෝනා."

මට දෙන්නට පිළිතුරක් නැත. අපට සෑම රෝගියෙක්ම එකය. නමුත් ඔහු ගත කළ ජීවීතය ගැන ඇසූ විට මහ අප්‍රසාදයක් ඇති විය. ඔහූ කළ පාප කර්ම වලට දැන් ඇස් පනා පිට දුක් විඳිමින් ඉන්නා බව පැමිණි අය පවසයි. අපට ඔවුන් කියන ආකාරයෙන් කටයුතු කළ නොහැකියි. කුමන තරාතිරමක වුවත් කුමන ජාතියක වුනත් කවුරුන් පැමිණියත් ඔවුන් අපට රෝගීන්ම පමණකි.

මත් පැන් බී අවසිහියෙන් නගරයේ තැන තැන වැටී සීටින අය සේරම වරින් වර පොලිසිය හෝ යම් අයෙක් මෙහි ගෙන එයි. ඔවුන් සියල්ල අප දත්ත සටහන් කරගනිද්දී පරීක්ෂා කරද්දී සිටින්නේ වෙරි මතිනි. වෙරි හිඳුනු විට කිසිවකුට නොදන්වා ඔවුන් " missing "අතුරුදහන් වේ. සමහර විට අප දැක දැකම තම කැමත්තෙන් වාට්ටුවෙන් පිට වී යයි. එයට අපි යොදාගන්නා පදය ලාමා හෙවත් LAMA - leave against medical advice යනුවෙනී.

අර ගංජා මුදලාලිව නම් අපි සී.ටී. පරීක්ෂණය සහ වැඩිදුර සත්කාර සඳහා ඒවා තිබෙන තව නගරයක මහ රෝහල වෙත යැවූවා. නමුත් ආරංචිය ඔහු එහිදී මීය ගිය වගය. ඒ ගමට ආසන්න ගමක සිටින අපේ සුළු සේවකයෙක් පැවසුවේ අපට එදා ගමේ කෙනෙකුගෙන් අසන්නට ලැබුනු කතාව ඇත්ත බවය.
______________

තවත් දිනක අප මහ රෝහලේම පෙර කලෙක පරිපාලනයට සම්බන්ද රැකියාවක් කළ පුද්ගලයෙක් හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුල් වී තිබුනේ ලේ වමනේ යෑම නිසයි. අධික කාලයක් තිස්සේ මත්පැන් පානය කරමින් සිටි හේ අක්මා රෝගී තත්වයක් වන සිරෝසීස් සහ ඒ නිසා ඇතිවන අක්මාවෙන් රුධිරය ගෙන යන නාල වල පීඩනය වැඩිවීමේ තත්වයට ගොදුරු වී අන්නස්‍රෝතය අවට රුධිර ශිරා වල ඉඳිමී පිපිරීමේ තත්වයක් ඇතිවී ආහාර මාර්ග පද්ධතිය තුල ලේ වහනය වී සෑහෙන්න අමාරු තත්වයෙන් මෙහි ඇතුලත් කර සිටියදී ඔහු ගොඩ ගන්නට අප දැරූ වෙහෙස මතක් වේ.

එදා නම් මත් පැන් බොන මිනිසුන් ගැන ඇතිවූයේ කියා නිම කල නොහැකි කෝපයකී. ලේ පයින්ට් දෙක තුනක් දුන්නත් ඇතුලත ලේ ගැලීම් අධික වීම නිසා (අක්මාව අකර්මණ්‍ය වීම නිසා රුධිරය කැටි ගැසීමට අවැසි රසායනික දෑද සිරුරේ හීන වේ) අර පිපිරී ලේ ගලන ශිරා ගැට ගැසීම සඳහා කළයුතු හදිසි ශල්‍ය කර්මය කිරීමට මොහොතකට පෙර ඔහු මිය ගියේ බොහෝ දුක් විඳිමිනි. දැන් ඔහුගේ තරුණ බිරින්දෑද දරුවන්ද තනිවී ඇත. ඔවුන් සැමගේ ජීවිත අඳුරේ ය.රෝහලක සිටියත් ලෙඩ දුක් දකිමින් බොහෝ දැනුමක් ලැබුනත් මත්පැන් බීම නවතා ගන්නට බැරි තරම් ඔහු ඇබ්බැහී වී තිබූ හැටි !
_________________

මේ ළඟදී අප වාට්ටුව වෙත අපූරු ඇබ්බැහිවීමකට පුරුදු වෙච්චි දරුවෙක් ආවේය. වයස අවුරුදු 16 යි. ඔහු සිහිසුන්ව පසුවෙද්දී පවුලේ අය විසින් හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුල් කොට සුව ලැබුනු පසු අපේ වාට්ටුවට එවා තිබිනි. ඉතා කෙට්ටු ඔහු ගත් කටටම කීවේ " මම අහවල් බෙහෙත බිව්වා මාස 2 තිස්සේ " යන්නයි. දරුණු කැක්කුම් පෙත්තක නමක් ඔහු පවසයි. මෙවැනී ඇබ්බැහිවීම් ගැන ලිවීමේදී බෙහෙත් වල නම් මෙහි ලිවීම කෙතරම් උචිතදැයි මා නොදනිමි. එනිසා සඳහන් නොකරම ඉන්නට කල්පනා කෙරුවෙමි. මානසික රෝගීන් වෙත දෙන පෙත්තක නමක්ද පවසයි.

" මට ගොඩක් කල් ඉන්න වෙයිද ඩොක්ටර්. "

"තමන් විහින් කරගත්තු දේ නේ.තරුණ ළමයි මොකටද මේ වගේ කරගෙන එන්නේ. දැන් ඉතින් ඉන්න වෙයි දවස් කීපයක්."
ඔහු බය බිරාන්ත වී ඔබ මොබ හාත්පස බලයි. වාට්ටු තුල සිටින අසාධ්‍යය රෝගීන් දෙස බලයි.

"දැන් මේ හොඳට තියෙන අත පය, ශරීර ඉන්ද්‍රිය , මේ පොඩි වයසෙම නාස්ති කරගෙන අර වගේ තමයි ඉන්න වෙන්නේ. " නහයෙන් බට දමා හර්ද ස්පන්දනය මනින මැෂින් වලට වයර් මගින් සවිකළ රෝගීන්, කෘෂ ශරීර ඇතිව අමාරුවෙන් හුස්ම ගනිමින් සිටි රෝගීන් මම ඔහුට පෙන්වමින් පැවසීය.

"අනේ අම්මෝ මටනම් බෑ මෙහෙ ඉන්න"

ඒ දරුවාගේ පියා මෙවිට ඔහු පාවිච්චි කළ පෙති ඇති බෑග් එකක්ද සමග අප වෙත පැමිණේ. ඒවා පරීක්ෂා කළ අපිට ඔහු ගන්නා පෙති වර්ග පෙර සඳහන් කල ඒවාම බව වැටහුනි.
ඔහු මේ පෙති වර්ග ගැන දැනගෙන තිබෙන්නේ සා පෙල ලකුණු එන තෙක් නගරයේ පිහිටි පරිගණක පාසැලේ ඉගෙනූම ලබන කාලයේය. කථාවේ හැටියට ඒ වයසේ බොහෝ පිරිස් මේ පෙති වර්ග පාවිච්චියට් ඇබ්බැහි වී සිටිති.

"ඉස්සෙල්ලම එක එක පාවිච්චි කලේ. අන්තිමට සති දෙකකින් විතර ඒ පෙති නොගෙන සෙල්ලම්වත් කරන්න බැරි තත්වයක් ඇති වූනා. මට තේරුනා මම මේකට ඇබ්බැහි වෙනවා කියලා. ඒත් කුඩු ගහනවා ගංජා බොනවා වගේ නෙමෙයිනේ ඩොක්ටර්." ඔහු කළ ක්‍රියාව සාධාරණීකරනය කරන්නටත් සැරසේ.

" මත්ද්‍රවය පාවිච්චි නොකරනවා කියලා වැඩක් නෑ. දැන් ඔයා මෙහෙම මේ පෙති වලට ඇබ්බැහි උන එකත් පුතේ හරියට මත්ද්‍රව්‍ය ගන්නවා වගේ තමයි" ඉතා කෙට්ටූවී සූදු මැලි වී සීටි මේ දරුවා අප අවධානය යොමු නොකර පැත්තක් අපට විවෘත කළේය.

"පුතා දන්නවද මේ පෙති දෙන්නේ විශාල ඔපරේශන් කරලා ලොකු කැක්කුමකින් ඉන්න අයට. සාමන්‍යයෙන් ලෙඩක් නැතිව මේවා බොන්න හොඳ නෑ. කොහොමත් මේවා බිව්වොත් කැරකිල්ල එනවා. වමනේ යන්න එනවා. දැන් ඔයා බිව්ව අනිත් පෙත්ත මානසික රෝගීන් බොන එකක්. වඩා හොඳ මානසික රෝග වාට්ටුවේ හීටියනම් නේද ?" මම කියද්දී ඔහු බයවී මාදෙසද පියා දෙසද බලයි.

" අනේ මට ඉන්නේ එකම පුතා ඩෝක්ටර් මට කොහොම හරි දරුවා සනීප කරලා දෙන්න. මම මීට පස්සෙ පුතා එක්කම එයා පස්සෙන්ම ඉන්නවා." පියා කඳුළු පුරවාගෙන හඬා වැටෙයි.

"මට මේක නවත්තන්න ඕනේ. ඒකට මම මොනවද කරන්නේ ? " ඔහූ ඉතා ඕනැ කමින් වීමසයි.

මේ සටහන කියවන අම්මේ තාත්තේ, ඔබේ දරුවන් ගැන වඩා වීමසිලිමත් වෙන්න. ගෑණු දරුවන්ට වඩා සා පෙල උසස් පෙල අවධියේ පසුවන ඔබේ පිරිමි දරුවන් යන එන තැන් ඇසුරු කරන යහළුවන් ගැන වඩා සෙවිල්ලෙන් ඉන්න. ඔවුන්ට අනුන්ගෙන් දැන ගන්න කලින් මෙවැනි දේ සමාජයේ ඇති බවත් ඉන් සිදුවන හානියත් පැහැදිලි කර දෙන්න. විශ්වාස කරන්න, අපට හමුවෙන සියලූම දරුවන් මෙවැනි දේ සෑම පෙදෙසකම ව්‍යාප්ත වී ඇති බවට සාක්ෂි සපයයි.

" මට ආයෙ ඉස්කෝලේ යන්න ඕනේ හොඳින් උසස් පෙළ කරන්න ඕනේ" ඔහුගේ හිතේ බලාපොරොත්තු එකින් එක ඔහු පවසයි.

නගරයේ පීහීටි ෆාමසි සියල්ලක්ම පාහේ වෛද්‍ය නිර්දේශය අඩංගූ තුංඩුවක් (prescription)අනිවාර් යයෙන් ගන්නා බව ෆාමසි හීමියන්ගෙන් ඇසූ විට පවසයි. නමුත් මේ දරුවා එසේ නියමිත තුංඩුවක් නැතිව මෙවැනි බෙහෙත් වර්ග ඔහේ ඕනෑම ප්‍රමාණයක් දෙන ෆාමසි මොනවාදැයි අප හා කියයි. ගංජා සහ මත්කුඩු වලට ඇබ්බැහි වුන ඔහූගේම පන්තියේ යහළුවන් ගැන පවසයි. මේ බෙහෙත ගන්නට බැරි වුනොතින් එදිනෙදා කරනා වැඩ කරගන්නට සවියක් ශක්තියක් ඇඟට දැනෙන්නේ නැති බවද පවසයි.

ගංජා මත් කුඩු , මත්පැන් සහ හෙරොයින් යන මේවාට ඇබ්බැහි වුනු පිරිස් බොහෝමයක් අප වාට්ටුවට ඇතුල් කරයි. බෙහෙත් සමගම උපදේශනය මගින්ද ඔවුන් ඉන් ගලවා ගැනීමට අප උත්සහ ගන්නෙමු. අර ගංජා කසිප්පු විකුණන ජාවාරම් කාරයා මිය ගියත් කවුරුන් හෝ ඔහුගේ තැන ගෙන යළිත් ඒ වෙළදාම ජයටම පවත්වාගෙන යනවා ඇති. සාමාජයේ යථාර්තය ඒකයි. නරක මුලිනුපුටා දමන්නත් වලක්වන්නත් හැකි අපිටමයි, එහෙම නැත්නම් කර්මය අනුව සමාජයට අවැඩ කරන්නන්ට පව පල දේවියැයි අත් බැඳගෙන සිටින එකනම් කරන්න බැරිම වැඩකි.

පාසැල් වල ඉගෙනුම ලබන දරුවන්ට උපදේශන මාලාවක් කරන්නට යැයි පළාත් සෞඛ්‍ය කාර්යාලයෙන් අප රෝහල් ඒකකයෙන් කළ ඉල්ලීම හැකි ඉක්මනින් නුදුරු දිනකම ඉටු කරමින් එම දේශන මාලාව පටන් ගත යුතුයැයි අපි අදිටන් කර ගත්තෙමු.

Tuesday, July 26, 2011

ජීවිතය සොයා ....

"මේ ඩක්ටර් තමයි මුල්ලි වයික්කාල් වලදී මගෙ වම් උරහිසට වෙඩි වැදුනම බෙහෙත් කළේ..." ගීතාගේ(අනවර්ථ නමකි) සුපුරුදු කච කචය හැමදාම. කිහිප ගමනක්ම මම, සිංහල බවත් මා එකළ කොළඹ වාසය කළ බවත් එවිට ශිෂ්‍ය අවදියේ සිටි බවත් මේ පැත්තකට විනෝදෙට හෝ පැමිණ නැති බවත් පැහැදිලි කළෙමි. ඇය එවෙලෙට එය පිළිගන්නා නමුත් ඊළඟ දවසේ මා දුටු ගමන් පෙර වාදනය වූනු තැටිය නැවත වාදනය වෙයි.
ඔවුන් යුද්ධ කළ කාලයේ මා වැනිම පෙනුම ඇති වෛද්‍යවරයෙක් ඔවුන්ටද බෙහෙත් කරන්න ඇතැයි මම සිතුවෙමි. මෙහි සිටින අනිත් වෛද්‍යවරයා පෙන්වමින් ඔහු පුදුකුඩියිරිප්පු රෝහලේ සේවය කළ බවද ඇය සඳහන් කරයි. අප දෙදෙනාටම මෙය හැමදාම දවසේ විහිළුව විය. මන්ද ඒ සඳහන් කළ කාලය වන විට සීමාවාසික වෛද්‍යය කාලය බලාපොරොත්තුවෙන් කොළඹ සිටි හෙයිනි හෙයිනි.
ඩක්ටර් ලෙස අපව අමතන අමුතුව නිසා කොතෙක් ඩොක්ටර් කියා ඇගේ උච්චාරණය හැදුවත් හැමදාම ඩක්ටර් ඩක්ටර් යන්න නම් වෙනස් වෙන්නේ නැත.

අද පුනුරුත්ථාපන කඳවුරු වල සිටින්නන් නිරන්තරයෙන් ගෙනෙන්නේ අප මහ රෝහල වෙතය. ඒ අය බොහෝමයකට සිංහල හොඳින් හසුරුවන්න්ට පුළුවනි. ඇතැම් දිනවල රැඳවියන් 5-10 ප්‍රමාණයක් දින 1, 2 උණ කැස්සට පැමිණ රෝහල්ගත වෙති. අමාරු ලෙඩුන් සිටින දිනවල ඔවුන්ගේ මේ රෝහල්ගතවීම් ඇඳන් සීමිත අප වාට්ටු වලට ඇතැම්විට දරාගත නොහැකි තරම්‍ ය.

ගීතා මට මුලින් මුණ ගැසුනේ කායික රෝග වාට්ටුවේය. ඒ වේදනා නාශක පෙති ගොන්නක් බී දිවි නසා ගන්නට හැදූ නිසාය. තනියම කිවන ගමන් විටක දෙවියන් ඇය හා කතා කරන බව නාට්‍යානුසාරයෙන් රඟ දක්වයි.

ගීතා ඈත කෙළවර තිබෙන බංකුවක වාඩිවී ඔහේ බලාගත්තු අත බලාගෙන සිටී. ඇය ඒ ලෙවල් සඳහා ඉතිහාසය, භූගෝල විද්‍යාව සහ දමිල බස ඉගෙන ගෙන ඇත. හොඳට රටේ ඉතිහාසය ගැන කියයි. රජවරු සහ කාල වකවානූ ඉතා හොඳින් පැහැදිලි කර දෙයි. "සිංහයාගේ සිද්ධිය විශ්වාස කරන්න අමාරුයි නේද ඩක්ටර්?" ඇය විටෙක අසයි. ඒ ගැන මා හා වාද කරයි.

"පව් නේද ගීතා" මට කියැවෙයි.
මා හවස් කාලයේ වාට්ටුවේ හෙද සොයුරියන් සිටින තැනට ගොස් ඔවුන් හා කදේ දාගෙන ඉන්න අතර අපේ සාත්තු සේවිකාවක් වන මාලිනීද(අනවර්ථ නමකි) අපේ කතා බහට විඩෙන් විඩ එකතු වෙයි.

" අනේ ඩොක්ටර් කොච්චරනම් පව් කියලා හිතුවත් මට තාම මතක් වෙන්නේ අපේ ගමේ එක ගොන්නේ මරලා දාපු හැටි. මයෙ මේ අවුරුදු 34 ජිවිතේට දැන් තමයි සැනසීමෙන් ඉන්නේ ඕං"

" බොරු නෙමෙයි ඩොක්ටර් උයාගන්න ගත්තු බත් එක කන්න නෑ. රෑට කැලෑවට වැදිලා ඉන්නේ හැබැයි දෙයියනේ කියලා සතෙක් සර්පයෙක්ගෙන් කවදාවත් කරදරයක් නම් උනේ නෑ ඩොක්ටර් ඔච්චර අපි කැලේ ඉඳලත්."මාලනී ඇගේ යුධ කාලයේ වාර්ථාව ගෙන හැර පායි.

"ඇත්තට..... මාලිනීලටත් කරදර වුනාද? " කතා අහන්න මම උපන්ගෙයි රුසියෙක්මි. මාත් පලිප්පු දමමින් ඇගේ කතාව අහන්නට හරි බරි ගැහුනාය.

"අපේ අම්මාට මං ලැබිලා මාස 3 , මේං මේ වගේ සයිස් මම හරහට වඩාගෙන කැලේට දුවලා තියෙන්නේ.අපිට හරියකට ඉගෙන ගන්නවත් ලැබුනේ නෑනේ. ඩොක්ටර්ට කියන්නේ.. අපේ මහත්තයත් ග්‍රාමාරක්ෂක වැඩ කලානේ. එයා නිවාඩු දවසේ රෑ ඒ බංකරේම හිටපු තුන්දෙනෙක්ම මැරුවනේ. මයෙ අම්මෝ හිටියනම් මහත්තයත් ඉවරයි. ඒ පවුලේ අය එක දිගට එක ගෙදර අයියා මල්ලි තියලා තිබ්බේ. මට දැනුත් මතක් වෙද්දී පපුව හෝස් ගාලා යනවා " මේ ඇගේම වචනයි. අපි අගනුවර ඉගෙනුම ලැබ එහිම සිට යුද්ධයේ එක පැතිකඩක් දකිද්දි. රෑට වන වැද දිවි රැකගත් මේ කොණේ මිනිස්සුන්ගේ කතා අසද්දී අනේ අපිට දැනුනේ මොනවාදැයි මට සිතේ. සිංහල දෙමළ මුස්ලිම් සෑම ජාතියකම සීයලූම මිනිසුන් මෙන්ම සත්වයින්ද මේ අවාසනාවන්ත කාලපරිච්ඡේදයේ උපරිම දුකක් වින්දෝය. අද ඔවුන් සියල්ලන් සැනසීමෙනි.

පේරා මෙඩීකල් ෆැකල්ටියට තේරී පටන් ගන්නා තුරු ගෙදර හිඳි කාලේ බලෙන් අල්ලාගෙන ගොස් මාස 2, 3 පසු පුදුකුඩුඉරිප්පු සටන අතර තුර දිවි ගලවාගත් මතීෂ්වරන් (අනවර්ථ නමකි) තවම ඉන්නේ රැඳවුම් කඳවුරේය. ඔහුට ඉගෙන ගැනීමට නිරවුල් මනසක් නැත. " එදා ගෙදර ඉන්නෙ නැතුව මම වෙන කොහේ හරි හිටියනම්... මම අද ඔයාලා වගේ ඩොක්ටර් වෙන්න ඉගෙන ගන්නවනේ" ඔහූ දුක්බරව පවසයි. අද ඔහු PTSD (post traumatic stress disorder) යන රෝගී තත්වයට පත්වී ඇත. ඒ ඔවුන් මුහුණදුන් කරදරකාරි ඛේදජනක අත්දැකීම් නිසාවෙනි. බංකර් වල රැය පහන් කරමින් තමන්ට නුහුරු දෑ කරමින් අනාගතය විනාශ වී යන අයුරු දරාගෙන සිටි ඔහුට අද යන්නට මගක් නැති සෙයකි. "තනියම ඉන්නකොට ගොඩක් බය දැනෙනවා " සායනයට පැමිණෙන ඔහු පවසයි.

වැසි සමයේ එළි බට වෛරස් උණ හෙම්බිරිස්සා කැස්ස ආදිය නිසා කඳවුරු වල සිටි ඔවුන් නිරන්තරයෙන් රෝහල් ගත වේ. එසේ පැමිණි හැමෝම වගේ අප සමග හොඳින් කතා බස් කරයි. හැමෝගෙම කතාව එක වගේය. ඒ එකල ඔවුන් විඳි දූක අපේක්ෂා භංගත්වය රැගත් හෙටක් නැති අවිනිශ්චිත ජීවිතයද , අද නිදහස හිමි වුවත් තම සමීපතයින් අහිමි ජීවිතය සමග ඔවුන් තනිවී ඇත. ඔවුන් බොහෝ දෙනෙක් ළඟ එන උසස් පෙළ විභාගයට හරි හරීයට පාඩම් කරති.

පසුගිය දිනක හවස් වරුවේ අපට නිවාඩු වේලාව තිබුනු නිසා ඔවුන් බලන්නට ගියෙමු. අම්මෙක් තාත්තෙක් නැත. ඔවුන් පාසැල් ඇරී පැමිණ සිටියේ අප එන බව අසා නිල ඇඳුම්වත් මාරු නොකරය. අප එහි ගියේ අප විශේෂඥ වෛද්‍ය තුමාගේ මිතුරෙක් වන ප්‍රසිද්ධ ක්‍රීඩා ශූරයෙක් සමගය. සර් මුණ ගැසීමට පැමිණි ඔහු අප සමග යෑමටම ලකලැහැස්තිවූයේ ඉතා කැමැත්තෙනි. ඔහු ගැන ඔවුන්ගේ පාසැල් පොත පතේ සඳහන් වන නිසා ඔවුන්ට ඔහූ සජීවීව දකින්න ලැබීම අපූරු අත්දැකීමක් වේවියැයි අපටද සිතුනි.

මේ දරුවෝ දැන් පාසැල් යති. ඉගෙනීමේ වැඩ වල යෙදෙති. බොහෝමයක් දෙනා සාපෙල සහ උසස්පෙල කරති. මුල් කාලයේ ඔවුන් සිටියේ බය බිරාන්තවය. අවශ්‍ය මොනවාදැයි ඇසූ විට කිසිවක් ඉල්ලුවේ නැත. නමුත් දැන් ඔවුන් ඔවුනට අවශ්‍ය දෑ පවසයි. පොඩි උන් ටික මෙවර ඉල්ලා සිටියේ ෆුට් බෝලයකි. ෆුට් බෝලයක් (පා පන්දුවක්) පමණක් නොවේ, දැල් පන්දු බැඩ්මින්ටන් කැරම් සහ චෙස් බෝඩ් ද ඔවුන්ට මිලදීගෙන පැමිණෙන බව ක්‍රීඩා තරුව පවසයි.

මේ ළඟදී පැවති ක්‍රීඩා උත්සව වලින් ජය ලැබ ගත් කුසලාන සහ සහතික අපට පෙන්වීම සඳහා ඔසවාගෙන පැමිණෙයි. ක්‍රීඩා තරුව දෙස දෑස් දල්වා බලා සිටී. ඔහුගේ හපන්කම් සහ කුඩා කාලය ගැන විමසයි. ඔහුත් උස්මහත් වුනේ මේ කොණේ දිළිඳු ගමක බව ඔහූ කියයි ඔහු දුක් විඳ ජීවිතය ජය ගත් අයුරු කියද්දී ඔවුන්ගේ බලාපොරොත්තු සහගත දෑස් දීප්තිමත්වේ. ඔවුනට ඔවුන්ගේ ළමා කාලය හිමි වීම තරම් භාග්‍යයක් තවත් කොහින් ද ?
......................
(නම් ගම් සියල්ල අනවර්ථ නාමයන්‍ ය)

Sunday, July 24, 2011

මහසෝනා, සූනියම් අප්පච්චී සහ වැරදුනූ ගුරුකම්

උදෑසන සායනික වටය අවසානයේ මානසික වෛද්‍ය ඒකකයේ වෛද්‍ය කාමරයේ අප සාකච්ඡා කරමින් සිටියේ එදින යන්නට නියමිතව සිටි ප්‍රාදේශීය රෝහලක සායනක් පිළිබඳවය. වැසුනු රෝහල් අලුතින් ඇරීම කෙසේ වෙතත් පවතින රෝහල් වලද වෛද්‍යවරු හිඟය බොහෝ සෙයින් වේ. එනිසා අප මහ රෝහලේ වෛද්‍යවරුන් සැරෙන් සැරේ මාසිකව අවට ප්‍රාදේශීය රෝහල් බොහෝමයක සායන පවත්වන්නේ රෝහලේ වැඩකටයුතු වලට අමතරවය.

ගැහැණියකගේ විලාපයක් ඇසුනේ මෙවිටය. මෝචරිය මේ අසල නිසා එහි ගෙන ආ මළ රෝගියෙකුගේ පිරිස මෙලෙස වැලපෙද්දී ඒ හඬ මෙදෙසට ඇසේ එනිසා අප කළබල වුනේ නෑ. නමුත් ටික වේලාවකින් අපි දුටුවේ ට්‍රොලියක තියාගෙන හතර පස් දෙනෙක් අත පය අල්ලා ගත් කාන්තාවක් කෑ ගසමින් ට්‍රොලිය වේගයෙන් කොරිඩෝව දිගේ මෙදෙසට ඇදී එන බවයි. සිංහල භාෂාවේ නරකම වචන ඇගේ කටින් පිටවේ.
.... මගේ මොළය පුච්චන්න නේද යන්නේ... යනුවෙන් ඈ කෑ ගසයි. මා සමග සිටි අනෙක් වෛද්‍යවරයා දමිල නිසා ඔහුට එතරම් ඈ ආවේගශීලී ලෙස කියූ දෑ නොතේරුණ අතර ඇය ගෙන ආ ඇගේ සැමියා පැවසුවේ ඇයට මල ගිය පෙරේත දිෂ්ඨියක් ඇති බවය.
එවිටම ඕ පී. ඩී. එකෙන් කෝල් එකක් ආවේ එහි සිටි රෝගීන් ඇතුලත් කිරීමේ කාමරයේ වෛද්‍යවරයාටද ඇය පහරදුන් බව කියමිනි.
ආවේගයත් කෝපයත් එක සේ ඇවිස්සුනු ඒ වෙලාවේ ඇයට කතා කිරීම අපහසුය. සන්සුන් වීමට නින්ද යෑමට එන්නත් විද ඇය ඇඳට දමා අත පය ගැට ගැසූ සාත්තු සේවකයින් පිරිස යන්නට සැරසේ.
ඇයට අපී සුනීතා කියමු. 29 හැවිරිදි වියේ වූ ඇයගේ මුහුණින් කියා පෑවේ ඉතා දුෂ්කර ජීවිතයක සලකුණුය. අපි .... අහවල් පළාතෙන් ඇගේ සැමියා ඔවුන්ගේ තොරතුරු හෙළි කරන්නට විය. මම සහ අපේ ඒකකයේ උපදේශන සේවයේ නියුතු උපදේශකතුමිය , ඇගේ ස්වාමිපුරුෂයා සමග කතා බහ කළෙමු.
"මෙයාට පේන කියන්න පුළුවන්න් වරමක් තියෙනවා කිව්වා. ආවේසයකුත් එනවා. ගෙවල් වටේම ඉන්න නෑයෝ ඉරිසියයි. ඒකනිසා ගුරුකම් කරනවා. මම රැකියාව කරන්නේ මෙහෙ , මෙයා මාව හොයාගෙන ඇවිත් තිබූනා. අපට දරුවන් දෙන්නෙක් ඉන්නවා"

"ගමේ ඉන්න බෑ වටේම නෑයෝ අපට කරදර කරනවා, ගූරුකම් කරනවා. මෙයාගේ මොලේ අවුල් වුනෙත් ඒ අය ගුරුකම් කරලා.. ඒ ගුරුකම් කපන්න මම වරින් වර රු. 50 000 සහ ලක්ෂ දෙකක විතර මුදලක් වියදම් කරා."

"ඉතින් ඊට පස්සේ හරි ගියාද ?" මම ඇසුවෙමි.

"ටික දවසක් හොඳින් හිටියා, ඊට පස්සෙ ආයෙම මෙහෙම කියවන්න ගත්තා.මෙයාට පෙරේතයෙක් වැහෙනවා. හොඳ තොවිලයක් කරලා මිසක් ඒක අහක් කරන්න බැරිවෙනවා කියලා ගුරුකම කපපු අය කිව්වේ "

මුලින්ම ඇගේ ස්වාමි පුරුෂයාගේ මනසේ තිබෙන වැරදි වැටහීම් ඉවත් කළ යුතු බවයි අපට වැටහුනේ. ඇය, එක්සර්සයිස් පොත් දෙකක් පිරෙන්නට ඇගේ ජීවිත කතාව ලියා තිබී ස්වාමි පුරුෂයා විසින් අප අතට පත් කළාය. ඒ කතාව කියවූ අපට පසක් වූයේ ඔවුන් සීටින මුළු ගම්මානයම හදි හූනියම් ගුරූකම් පිළිබඳව විශ්වාසයෙන් සිටින බවය. මගුලක් වැරදුනත් කිසිවෙක් මියගියත් ඒ කාගේ හෝ හූනියමක් ගුරුකමක් නිසාලු, රෝගී වුනත් ඔවුන් දුවන්නේ තොවිල්පලට මිසක් රෝහල්වලට නොවේ.

"රෑට සූනියං අප්පච්චි මගේ ළඟට එනවා දරුවෝ. එයා ඇවිදින් ඔය හැමෝම කරන දේවල් මට කියනවා. මගේ මේ.... වෙන්න හේතුවත් අපේ අයියගේ පවුලයි අම්මයි එකතුවෙලා මට කරන හූනියම් නිසා"

ගුරුකම් කියන දේවල් දකින්නවත් දැනෙන්නවත් තියෙන දෙයක් නොවන බව අපි මුලින්ම ඔහුට සහ ඇයට පැහැදිලි කළෙමු. කවරෙක් හෝ කියූ පළියට, කරා යැයි කියූ පළියට ගුරුකම් පළ දරනවානම් එහෙනම් මේ ලොකේ මේ තරම් පොළිසි හමුදා හෝ අධිකරණ අවශ්‍ය නැහැ නේද ? අපි ඔහුට පැහැදිලි කර දුන්නෙමු. ගුරුකම් කියලා අන්තිමට තමන් විසින්මයි තමන්ට අවැඩ කරගෙන තියෙන්නේ.

"ඔය කියන නෑයෝ කවුරුවත් රු. ලක්ෂ ගණන් වියදම් කරලා ලෝකෙට ණය වුනාද ?
ඒ නෑයෝ යාලුවෝ කවුරුවත් මෙහෙම ඔළුව අවුල් කරගෙන රෝහල් ගත වුනාද ?
ඒ අය කාගෙවත් ගෙවල් වල ප්‍රශ්න වෙලා තියෙනවද ?
දරුවන්ට ඉස්කෝලෙ යන්න බැරි වෙලා , ගේදොර වතු පිටි පාළු වෙලා අම්මා කෙනෙක් මෙහෙම හැසිරෙනකොට ගුරූකම කරගෙන තියෙන්නේ කවූද ? තමන්ම තමන්ටම . ඒ කියන්නේ තමන්ගේම හිත නේද ? "

අපේ ප්‍රශ්ණ ඉදිරියේ ඔහු මෙන්ම ඇයත් මෙතෙක් ඔවුන් මුලා වී සිටි අන්දම වටහා ගේන මෙහි යථාර්තය තේරුම් ගත්තේය. මානසික අවපීඩනයකට ලක්වී සිටි ඇය මානසික රෝගියෙක් කියා ලේබල් අලවන්නට අපි උත්සුක නොවූයේ වටින් පිටින් පැමිණෙන කරදර බාධක දරාගැන්මට නොහැකි වූ තැන තද හිත් නැත්තෝ, යතාර්ථය වටහා ගත නොහැකි අය මෙලෙස තමන්ගේ කරදර සිදුවන්නේ අනුන් නිසා යැයි කියති. ගුරුකම් අණවින කොඩි වින නොයෙක් දෑ පසු පස දුවති.

මීට ටික කලකට කලින් මහසෝනා වැහී මෙහි ආ අනෝමා මට සිහිවේ. මුලින් ඇය කායික රෝග වාට්ටුවට ඇතුලත් කරද්දී තනියම දොඩවන එකට අමතරව කෑ ගසමින් හූ තියමින් වාට්ටුව වටේ සහ අනෙක් වාට්ටු වලට දිවීමද, කෙස් බුරුතු පිටින් කඩා ඇද දත්මිටි කෑවායි ඒ වාට්ටුවල මිස්ලා මා හා කියුවා මතකය. ඇඳට බැඳ තබා තිබුනු ඇය අප වාට්ටුවට ගෙනාවේද අත් පා බැඳ සතෙකු විලසිනි. ඇයට නිතර නිතර වැහෙන්නේ මහසෝනා බවට ගමේ කට්ටඬි මහතා හඳුනාගෙන තිබුනාලු තෝවිල්ද නැටුවාලු, කොහොම හරි අල්ලපු වැටේ ඉඩම් ප්‍රශ්නෙකට ගුරුකම් කරගෙන නඩු කියාගෙන කරදර විඳගෙන හිටිය ඇය එකපාරට මෙහෙම වෙද්දී ගමේ අයෙක් මෙහි ගෙන ඒමට කටයුතු කරලා තියෙනවා.

මෙහි ගෙන එද්දී දත කට තද කර පියාගෙන අමුතු භයංකාර බැල්මෙන් අප දෙස බල බලා දිව එළියට දමමින් හූ තියමින් වෙව්ලමින් සිටි ඇයද එක බෙහෙත් වඩියකින්ම සුව වී අත් වැඳගෙන පැවසූවේ. " අනේ මට දැන් හොඳයි සහනයයි නෝනා මේ වාට්ටුවේ දවස් දෙකක් තුනක් ඉන්න දෙන්න " කියාය. ඇගේ කතාවද ඉහත කතාව වගේමය. ඇයත් කරලා තියෙන්නේ දේවාල කිහිපයකට ගොස් මුදල් සම්බාරයක් වියදම් කර තමන්ගේ හතුරු අය වෙත ගුරුකම් කරන එකයි. මෛත්‍රී , උපේක්ෂා වැනි ගුණාංග වෙනුවට ඔවුන්ගේ හිත් වල පැල පදියම් වෙලා ඇත්තේ අනුන් තමන් වෙනුවෙන් නරක කරද්දී තමුන්ද එකටෙක කිරීම කල යුතුය යන වැරදි අගතියට මුල පුරන දෑය.
දින කිහිපයක් නොකඩවා බෙහෙත් ගත් අතර මහසෝනා ආයෙත් ඇය සොයා ආවේද නැත. අප උපදේශන සේවයේ නියුතු නිළදාරීන් විසින් මොවුන්ට නිසි උපදෙස් දී හරි මගට යොමු කරන්නේ හිත් වල ඇති වැරදි වැටහීම් තේරුම් බේරුම් කර දෙමිනි. ගෙදර ගිය විටක මේ විස්තර කියද්දී මගේ අම්මා පවා බිය වී " අනේ පුතේ බලාගෙන ඔය යක්කු වැහෙන අය ළඟට යන්නේ හොඳට බුදු ගුණ සිහි කරගන්න "කියා කීවාය.

රෑ 12 වාට්ටූවේ සිට අපේ නිල නිවාස වෙත තනියම යන අපිට නම් තවම කිසිම යකෙක් මූණට මුණ ගැසී නැත. සොහොන් පොළවල් අසලින් රාත්‍රියේ ගමන් කර ඇත්තෙමි. වාට්ටුවේ මහ රෑ පාන්දර මිය ඇදෙන රෝගීන් අසළ හිඳ නැවත නිල නිවාසයට පැමිණෙන්නේ තනියමයි. මොන මළ යකෙක්වත් මුන ගැසුනේ නැත. සියල්ල තියෙන්නේ හිත් වලයි.
දැන් අනෝමා තනියම ඇවිත් අප සායනයෙන් බෙහෙත් රැගෙන යයි. මූණත් එළිය වී ඇත. දුව සමග සිටින ඇගේ සිතට ශාන්තිය ගෙන දුන්නේ අපේ මානසික සායනය මගිනි. ඒ ගුරුකම්. යක්ෂ ප්‍රේත වැනී බාහීර බලවේගයන්හි ඇත්ත ඔවුන්ට තේරූම් කර දීමෙනි.
දැනට මහසෝනා , මල ප්‍රේත දීෂ්ඨි කීපයක් මෙන්ම ෆැකල්ටි කාලයේදී මානසික වාට්ටු තුල , රීරි යකාගේ සිට කඩවර දෙයියෝ දක්වාද පත්තිනි අම්මා, ජේසු තූමන්, මරිය තුමී , බුදුන් වැනි ලෝක පූජිත චරිත තමන් යැයි කියාගන්නා අය මෙන්ම මේ ලෝකේ විනාස නොවී බේරාගැනීම සඳහා මෙහි පැමිණී අයද දැක ඇත්තෙමි.ඒ සියල්ලන් සිටියේ මානසික රෝගී වාට්ටු තුලය.

මනස සියල්ලටම පෙරටු වේ ! දුර්වල වුන හිත නිසා හිතේ ඕනෑ එපාකම් පිරිමහගන්න අන් අය වෙත දුෂ්ඨ කම් කරමින් අවසානේ තමන්ම නැසෙන මිනිසුන් මේ ලෝකේ කොයි තරම්ද ? හානියක් වුනානම් වුනේ ඒ නපුරුකම් දුෂ්ඨකම් කරපු අයටම මිසක් ඒවා දරාගත් අයට නොවන බව ඉහත කතා වලින් ඔබට වැටහෙන්නට ඇති. එනිසා හිතේ වහලෙක් නොවී අපි හරි වැටහීමකින් අනාගතයට පිය නගමු.

ප.ලි - මේ ලිපියෙහි සඳහන් වෙන්නේ මනසින් රෝගී වූවන් පිළිබඳවය. රෝග සුව කිරීම් ගැන නොවේ.

Tuesday, July 19, 2011

රාත්‍රී වැඩ මුර සහ බාප්පාගේ රෝහල

මහ වැසි ඇද හැලෙන සමයට උණ වසංගතය හැම අතම බෝවේ. මාසයක පමණ උණ ඇති අයගේ ඉඳන් දවස් 2 උණ තිබෙන පුද්ගලයින්ද බුරුතු පිටින් රෝහල් ගත වේ. දිනකට රෝගීන් 60 පමණ වාට්ටුවට පැමිණේ. ඇඳන් උඩත් බිමත් යටත් ලෙඩ්ඩුන්ය. සැරින් සැරේ ලයිට් කපන හෙයින් රාත්රී සායනික වටය කරගැනීම ඉතා අපහසුය. මුතු බණ්ඩා (අනවර්ථ නමකි) රෝහල් ගත වෙන්නේ මේ කාලයේය. ඇදුම රෝගය උත්සන්න වී හදිසි ප්‍රතිකාර අංශයටත් ඉන් පසු අප වාට්ටුවටත් ඔහු සමග තව කිහිප දෙනෙක් එවා තිබිනි.
තිත් පොළඟකු දෂ්ඨ කිරීම නිසා රෝහල් ගත වූ මහළු රෝගියෙක් සහ තරුණ අයෙකුගේ මූත්‍රා පිටවීමට සවි කර තිබූ බෑගය දෙසම විමසිලිමත් වෙන්නට අපට සිදුවී තිබුනි. ඒ ඔවුන්ගේ තත්වය තවත් අසාධ්‍ය කරමින් මූත්‍රා සමග ලේ පිටවෙමින් තිබූ නිසාය. උස්සා කෙළින් කල හැකි ඇඳන් තිබුනේ කීහිපයකි. ප්‍රථම ඇඳන් දෙකේ ඇඳුම රෝගීන් දෙදෙනෙකුම අමාරුවෙන් හුස්ම ගනිමින් පසුවෙති. මුතු බණ්ඩා ඉන් අයෙකි. මාස 8 කට වැඩි කාලයක් සායනයට නොපැමිණි ඔහුගේ ඇදුම රෝගය උච්චතම අවස්ථාවේ තිබේ. රුධිරගත ඔක්සිජන් සහ හර්ද ස්පන්දනය මැනෙන මිනුම් උපකරණයට ( pulse-oxymeter ) ඔහුගේ ඇඟිල්ලකට සම්බන්ද කර තිබේ. ඔහුගේ පැරණි සායනික පොත් කියවද්දී මගේ කෝපයේ රතු කට්ට පනී. මාස 8 පමණ බෙහෙත් ගැනීමට ඇවිත් නැතිවා මදිවට දැන් ඇවිත් තියෙන්නේත් සති දෙකක සිට හුස්ම ගැනීමේ අපහසුවෙන් හිඳ එයද බොහෝ අසාධ්‍යය වූ විටයි.

ඇදුම රෝගය ඇති අය නොකඩවා බෙහෙත් ගත යුතුය. වාතය ගෙන යන නාල හැකිලීම කොයි මොහොතේ සිදුවෙයිද කිව නොහැක. ඇතැම් විට මේ රෝගය දරුණු වුවහොත් මරණය පවා සුළු මොහොතකින් උරුම වේ. මුතුබණ්ඩා හුස්ම ගන්නේ ඉතා අපහසුවෙනි. ඉහලට ගන්නා හුස්ම පිට කරන්නට වඩා අපහසු වේ. ඒ ඇදුම රෝගයේ ලක්ෂණයකි. දැන් ඔහුට ඔක්සිජන් සම්බන්ද කර මුහුණු වැස්මක්ද පළඳවා තිබේ. විඩෙන් විඩේ සැල්බියුටමෝල් සහ ඉප්රාවෙන්ට් නමින් හඳුන්වන සංකෝචනය වුන වායු නාල ප්‍රසාරණය කරන බෙහෙත්ද ඒ ඔස්සේම පෙණහළු වලට ලබාදෙමින් මහ රෑ වන තුරු අප සියලු දෙනා පසුවූයේ ඉතා දැඩි අවිනිශ්චිත බවකිනි.

මේ වාට්ටුවල සෑම දිනක්ම මේ වාගේය. තව ඇඳන් දෙකක හෙපරින් ශරීරගත කෙරෙන හර්ද රෝගීන් දෙතුන් දෙනෙකි. අමාරුම ලෙඩුන්ගෙන් අඩු නැත. අපට අමාරු දෙන අමාරු මවා ගන්නන්ගෙන්ද අඩු නැත. මොකුත් ලෙඩක් නැතුව ඉන්න හිටින්න තැනක් නැති නිසා රෝහල් ගත වෙන්නන්ද අඩු නැත.

අනෙක් ඇදුම රෝගියා මෙහි පැමිණ තිබුනේ කොළඹ සිටය. ඔහුගේ සහෝදරියගේ ගෙදර ආ වෙලේ යා ගත නොහැකිව ඇදුම රෝගය උත්සන්නව අප වාට්ටුවේ ප්රතිකාර ලබයි. යන්තම් ඔවුන්ගේ රුධිරගත ඔක්සිජන් අගය 95 % සහ ඊට වැඩි ප්‍රතිශත පෙන්වන්නට විය. ඔවුන් හුස්ම ගනිද්දී පවා අමාරුවක් දැන් පෙන්වන්නේ නැත.

මහ හඬින් ඇස්බැස්ටොස් වහලය මත ඇද හැලෙන වර්ශාව නිසා අප ද කෑ ගසා කථා කළ යුතුය. පොළොං විෂ ශරීර ගතවූ මහළු ගොවියාගේ දැසද අඩවන්ව ඇත. ඇස් පිය ඇරීමට නොහැකි ලෙස එසේ සිදුවන්නේ විෂ නිසාය.(මේ සර්ප විෂ ගැන සාවිස්තරාත්මක ලිපියක් සහෘද බ්ලොග් සටහනක පලවී තිබුනා මතකය). රාත්‍රී 11.30 පමණ රුධිර කැටි ගැසීමේ පරීක්ෂණය කළ හෙදි සොයුරිය මට පැවසුවේ එය කැටි නොගැසෙන බවය. එසේනම් නැවත වරක් එය කර බලනා අතරතුරේ AVS ( Anti venom serum ) නමින් හැඳින්වෙන පොළොං විෂට එරෙහිව නිපදවා ඇති ඒ ප්‍රති විෂ එන්නත් කළ යුතුය. පැය භාගයක් පමණ වෙලා හෙමින් ශරීරගත කළ යුතු ඒ විෂ හරණය කරන දියරය ශරීර ගත වෙන විට ඇතැම් විට ප්‍රතික්‍රියාවක් allergic reaction ආවොතින් රෝගියා මිය යා හැකියි. ඊට ප්‍රථම එන්නත් කළ යුතු ඇඩ්‍රිනලින් , හයිඩ්‍රොකෝටිසෝන් , කෘතිම ස්වසනය දිය යූතු වායු බෑග සහ මුඛය මගින් ඇතුල් කල හැකි බට වැනි දෑ සහිත ට්‍රොලිය සූදානමින් රෝගියා අසල තිබේ. දිනකට සර්ප දෂ්ඨ කිරීම් නිසා පස් දෙනෙකුවත් අවම වශයෙන් රෝහල් ගත වේ.
හොඳ හෙද පුහුණුවක් ලැබූ මිස්ලා වාට්ටුවේ ඉන්න නිසා තනියම සේවය කරන්න සිදුවූ දිනක වුනත් බය වෙන්න නම් කිසිම හේතුවක් නැත. ඒ ඔවුන් ඉතා හොඳින් අවධානයෙන් ඉන්න නිසාය. මිස් ඒ. වී. එස් හෙවත් විෂ නසන බෙහෙත සකස් කරමින් සිටියදී මාස දෙකකින් ගෙදර නොගිය බව සිහි විනි. අලුතින් බැච් එකක් එනකම් වෛද්ය පුරප්පාඩු තිබෙන මේ කාලයේ ගෙදර යන්න අපිට දෙන්නේත් දවස් 1 ½ නිවාඩුවකි. කොළඹ ගොස් පැමිණෙද්දි එය මගටම ඉවරයි. යන්තම් ඒ මහළු රෝගියාට කිසිදු කරදරයකින් තොරව සර්ප ප්රති විෂ එන්නත දි ගත හැකි විය. හර්ද ස්පන්දන වේගයේ හෝ රිද්මයේ වෙනසකුත් නැත. ඇදුම රෝගීන් දෙදෙනාම නින්දේය. මම සැහැල්ලුවෙන් පාන්දර 2 පමණ අපේ නිල නිවාසය වෙත පැමිණියෙමි.

නින්ද ආවා මතකය උදෑසන 5.00 පමණ යළි කාමරයේ දුරකථනය නාද වෙයි. කොළඹ සිට මෙහි පැමිණ රොහල් ගත වී සිටින අසිස් (අනවර්ථ නමකි) මහතාගේ ඇදුම රෝගය උත්සන්න වී ඔහුට හුස්ම ගැනීම දැඩි සේ අපහසු වී ඇත. මා කඩි මුඩියේ මුහුණ කට හෝදාගෙන වාට්ටුවට දිව්වෙමි. ඒ වනවිටත් අපේ මිස්ලා ඔක්සිජන් සහ ඖෂධ රැගත් ස්වසන උපකරණයට ඔහු සම්බන්ද කර නෙබියුලයිස් කරමින් සිටියෝය. ඔක්කෝටම වඩා ඔහු භය බිරාන්ත වී සිටී. ඒ ඔක්කෝටම වඩා අපට තරහ ආයේ අධික ලෙස වැසි වැටෙන ඉතා සීතල මේ සමයේ ඔහු බැනියමක්වත් නො ඇඳ උඩු කය නිරාවරණය කරගෙන සිටීමය. ඒ කාලයේදී අපත් වාට්ටුවට යන්නේ ජර්සියක් ඇඳගෙනය. යන්තම් උදෑසන හිරු එළිය වැටෙද්දී ඔහුගේ තත්වය සුව අතට හැරුණි. අනෙක් වෛද්‍යවරිය පැමිණියෙන් මම මුහුණ කට සෝදා ඇඳුම් මාරු කරගෙන එන්න පිටත් වුනෙමි.

ඊළඟට උදෑසන 7 පමණ අප සායනික වටය ආරම්භ කළෙමු. ඇඳන් පේළි දෙක බෙදාගෙන අප දෙදෙන එක පැත්තක සිට රෝගීන් බැලීම පටන් ගත්තෙමු. මුලින්ම සිටියේ මුතු බණ්ඩාය. දැන් පහසුවෙන් හුස්ම ගනිමින්. ඇඳේ ඉඳගෙන සිටීන හේ සුවයෙන් පසුවන හෙයින් මගේ දේශනාව දැන් දිය යුතුයැයි සිතිනි. මෙතෙක් කල් සායන වලට නොපැමිණ බෙහෙත් නොගෙන හිඳ දැන් අසාධ්‍යය වී පැමිණි ඔහුට රෝගයේ භයානක කම කියා දුනිමි. එනමුදු තරහ නොගෙන සිටීමද අපහසුය. සමහර වෙලාවට මෙසේ රෝගීන්ගේ නොසැලකිලිමත් කම නිසා ඔවුන්ගේ රෝගය උත්සන්න වී පැමිණි විට තරහ යන්නේ අපටය. එලෙස තරහ අරගෙන දෝස්මුර තබන විට අපට පව් සිදු වේද කියා නොයෙක්වර එකළ එකිනෙකාගෙන් විමසනවා මට මතකය.

“ අනේ මම මැරෙයිද නෝනා” මුතුබණ්ඩා අසරණව විමසයි. ඔහුට නොසැලකිලිමත් කම ගැන දොස් නැගීම ගැන මට දැන් දැනෙන්නේ දුකකි.

“කුඹුරු වැඩ තිබුනා . දරු පවුල රැකෙන්නේ ඒකෙන් . අනික පහු ගිය දවස් වල කලබල නිසා අපිට මෙහෙ එන්න බයේ හිටියේ. හුඟක් වෙලාවල හිටියේ ගස් උඩ , හැංගිලා, ඒකයි එන්න බැරි වුනේ නෝනා. අමාරුවක් නැති නිසා ඊට පස්සේ මතක් උනේම නෑ. දැන් තමයි තේරෙන්නේ භයානක කම.අනේ මම මැරෙයිද නෝනා ” කුසගිනි හා සටනේදී රෝගය ගැනවත් ඔහු සිතා නැත. මේ පැතිවල සිටින හැමෝගෙම ප්‍රධාන නිදහසට කාරණය වන යුධ කාලය (එකල ගැන ලියැවූනු පෙර සටහනක් ) නැවත මොහු මතක් කරයි.

“දැන්නම් තත්වය එතරම් භයානක නෑ. නමුත් ඕනෙම මොහොතක උත්සන්න වුනොතින් භයානක වෙන්න පුළුවනි” මම ඔහුට රූප සටහන් මාර්ගයෙන් අපට ශිෂ්‍යය කාලයේ කියා දී ඇති පරිදි ගත යුතු උරණ බෙහෙත් හෙවත් ඉන්හේලර් වර්ගය සහ පාවිච්චි කළයුතු කැප්ෂූල්/කරල් වර්ගයේ පාට සහ වැදගත්කම කියා දුන්නෙමි.

වාට්ටුවේ දින 4 පමණ ප්රතිකාර ගත් ඔහු සම්පූර්ණ සුවය ලබා, පිටව යන දවසේ අප අර ඩිස්චාජ් කාඩ් ලියමින් සිටි මොහොතක අපේ කාමරය වෙත පැමිණියේය.
“ගිහින් එන්නම් නෝනා.” කියූ ඔහු අප පුදුමයට පත් කරමින් අප ඉදිරියේ දණ ගසා වැඳ වැටුනේය. “අනේ තාත්තේ අපට පවු නැගිටින්න ඇයි මේ වඳින්නේ කියමින් අපි දෙදෙන පුටු පෙරළාගෙන නැගිට්ටෙමු. “ මගේ පණ බේරලා දුන්නේ නෝනලා.” ඇස් වල කඳුළු පුරවාගෙන ඔහු කීවේය. ඔහු අප ඈත සිට මෙහි පැමිණ කරනා සේවය මහත් සෙයින් අගය කරයි.

අප දෙන උපදෙස් හමුවේ අප හා උරණ වෙන අපේ සේවය ඩිමාන්ඩ් කරන, අපගේ සුළු කාල ප්‍රමාදයක් හෝ නුරුස්සන අගනුවර සිටින උසස් පන්තියේ උගතුන් රජයේ රෝහල් වලට පැමිණ ඔවුන්ගේ සිතැඟි ඉටු කරගන්න අප වෙත දමනා ගෝරනාඩු මතක් වේ.

මෑතකදී මා රෝහලේ ලෙඩුන් ඇතුලත් කරගන්නා ( admission ) කාමරයේ සේවය කරද්දී චාරිකාවක් යමින් සිටියදී පැජරෝ රථයක් පෙරලී මෙහි ගෙන ආ අතපය කැඩුනු සීරුනු ලේ ගලන තුවාල සහිත රෝගී කාන්තාවන් සහ පිරිමින් ,

“ අපිට මේ රෝහලට ඇතුල්වෙන්න බෑ දැන්ම අපිට ඇම්බියුලන්ස් එකක් දෙන්න කොළඹ යන්න “ යනුවෙන් නියෝග කරද්දී හිතට ආ සිතුවිලි ගොන්න තද කරගෙන ඉවසගෙන සියල්ලන්ගේම තත්වය විමසා බලා හදිසි අනතුරු වාට්ටුව වෙත පිටත් කළේ

“ තත්වය භයානක නිසා ඔයාලගේ ජීවිත බේරගන්න කටයුතු කරන්න මට ඉඩ දෙන්න” යැයි කියමිනි.
ඔවුන්ට ප්‍රතිකාර කරන අතර තුර , නිතර නිතර කෙරෙන ඒ නියෝග හමුවේ වෙහෙසට පත් වූ අපේ කාර් යය මණ්ඩලයේ අයෙක්,
“ඕනෙ ඕනෙ අයට ඕනෙ ඕනේ තැන්වලට ඇම්බියුලන්ස් ලෑස්ති කරන්න, මේ ඕගොල්ලොන්ගේ බාප්පගේ රෝහල නෙමෙයි. දොස්තරලට ඒගොල්ලොන්ගේ වැඩේ කරන්න ඉඩ දෙන්න නැත්නම් ටිකට් කපාගෙන යන්ඩ” යැයි කියනු මට ඇසිනි. ඒ සම්පත් කළමණාකරනය ඉතා දුර්වල මෙවැනි තැන් වල, අසාධ්‍ය රෝගියෙකු මේ රෝහලට පසුව ඇති මහා රෝහලක් වෙත යවා ගන්නත් ඇම්බියුලන්ස් එකක් ලෑස්ති කරගන්න විඳින අමාරුව දන්නේ අප විතරක්ම බැවිනි.